SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(ද ලීඩර් හි ජනවාරි 29 දා පළවූ 'බැසිල්ගේ අවසන් පිම්ම IMF ද? -රටේ රාළ' විශේෂාංග ලිපිය සම්බන්ධයෙන් ඉෂාන් ජයසූරිය විසින් යොමුකර ඇති ප්‍රතිචාරය)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පිළිබඳව ලීඩර් වෙබ් අඩවියට රටේ රාළ ලියූ හාස්‍යජනක වූත්, අසත්‍යයෙන් පිරුනු වූත් ලිපිය කියව්වෙමි.

එම ලිපිය හාසයයට කරුණක් පමණක් නමුත්, හුදෙක් මෙම අසත්‍ය නිවැරදි කිරීම රටේ පුරවැසියෙකු ලෙස වගකීම නිසා මෙම ලිපිය ලියන්නට සිත් විය.

ප්‍රථමයෙන්ම බැසිල් රාජපක්ෂට අමුතුවෙන් ඇමතිධූර ලබාගෙන රටේ දේශපාලනයට රිංගිය යුතු නැත. ඇමතිධූර නැතත්, බලතල නැතත් මේ වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම, බලවන්තම මෙන්ම ප්‍රබලම දේශපාලන පක්ෂයේ මහමොළකරු මෙන්ම ඔටුන්න හිමි කුමරුද බැසිල් රාජපක්ෂය.

බැසිල් රාජපක්ෂට ඇමතිධූරයක් ලබා ගෙන රට වෙනුවෙන්, සිය පක්ෂය හා රජය වෙනුවෙන් ඉටු කිරීමට වගකීමක් විනා ලබා ගැනීමට වරප්‍රසාදයක් නොමැහ. මෛත්‍රිපාල - රනිල් රට කෑ යහපාලන රජයට පිංසිදු වන්නට රටේ විදේශ සංචිත ලෙල්ලටම හිඳී ඩොලර් අර්බුධයක් පවතින මොහොතක, යහපාලන පාස්කු බෝම්බ ප්‍රහාරයත් ඉන්පසුව පැමිණි කොරෝනා වසංගතය නිසාත් දරුණු ආර්ථික අර්බුධයක් පවතින සමයක් බැසිල් පාර්ලිමේන්තුවට ආවේ තීරණාත්මක, වගකීම් වැඩිම, මුදල් ඇමතිධූරය ලබා ගෙනය.

නව පක්ෂයක් සාදා වසර තුනකින් රටේ බලය ඇල්ලූ ශූර බැසිල්ගේ තරම පක්ෂය මෙන්ම රජයද හොඳින් දනියි. මේ තීරණාත්මක මොහොතේ මේ ආර්ථික අර්බුධයෙන් රට ගොඩ දැමීමට බැසිල්ට මුදල් ඇමතිධූරය භාර කෙරෙන්නේ ඒ අනුවය. මේ අසීරු වගකීමෙන් බැසිල් අසමත් වූවහොත් බැසිල් මෙන්ම රටම අසමත් වේ. ඒ බව දැන දැනම බැසිල් තීරණාත්මක අමාත්‍යධූරය භාර ගත්තේය. එහි ප්‍රතිඵල දැන් රටම දකියි. පසුගිය දෙසැම්බර් බිඳ වැටෙනවා යැයි රටේ රාළලා පාරම් බෑ රට, තවමත් හැල්මේ දුවමින් තිබේ. විදේශ සංචිත ක්‍රමක්‍රමයෙන් යළිත් ඉහළට එමින් තිබේ.

කළණ මිතුරු චීනය, අසල්වැසි ඉන්දියාව, යුරෝපය සහ ඇමෙරිකාව එකම තුලාවක තබා ගනිමින් බැසිල් ගේම ගසමින් සිටියි. මේ මහා වගකීම ඉටු කළ හැකි වෙනත් ජගතෙක් පක්ෂයේ හෝ විපක්ෂයේ සිටියි නම් පෙන්වන ලෙසද රටේ පුරවැසියන් ලෙසට අපි රටේ රාළට අභියෝග කරමු.

රටේ රාළගේ ලිපියේ අඩංගු සෙසු අසත්‍ය නම් බැසිල් මේ සැලසුම් කරන්නේ IMF යාමට බවය. මෙයත් තවත් ගල් පැළෙන බොරුවකි. පවතින ආර්ථික අර්බුධයට තමන් සතුව ඇති විසඳුම බැසිල් රටට කීවේය. බැසිල් හෝ රජය IMF නොයන බව පැහැදිලිවම එහිදි ඔහු ප්‍රත්‍යක්ෂ කළේය.

IMF නොයා මෙම අර්බුධය විසඳීමට අවශ්‍ය දැක්ම, ශක්තිය සහ විදෙස් සබදතා පවතින්නේ බැසිල්ටය. චීනයෙන් මෙන්ම ඉන්දියාවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට සහන පැකේජ එන්නේ ඒ අනුවය. මැදපෙරදිගින් බොර තෙල් මිලට ගනිද්දි ඒ වෙනුවට තේ හුවමාරු කරගන්නා ගිවිසුම් කරළියට පැමිණෙන්නේ බැසිල්ගේ නිර්මාණශීලි චින්තනයෙනි.

ක්‍රම ක්‍රමයෙන් රටේ අපනයන ආදායම ඉහළට ගොස් ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම් වාර්තා කරන්නේ අහම්බෙන් නොවේ. මේ පසුපස තීරණාත්මක මහ මොළකරුවෙක් සිටියි. ඒ බැසිල් ය. තවත් වසර කිහිපයකින් කෙටිකාලීනව හා දිගු කාලීනව මෙරට විදෙස් සංචිතනය අපනයන ආදායමින් සීග්‍රයෙන් ඉහළ දැමීමේ සැලසුම් බැසිල් දැනටමත් ඇඳ අවසන්ය.

අනෙක් අතට රටේ ආනයනය සීමා කරමින් පිටරටට මුදල් ගලා යෑම සීමා කිරීමටත් බැසිල්ගේ සැලසුම් ක්‍රියාත්මකය. රට වටකර මුහුදක් තිබෙන රටක විදේශයන්ගෙන් මත්ස්‍ය ආනයනය කළ යුගයක් අවසන් කිරීමට අවශ්‍ය පසුබිම සැකසුවේ බැසිල්ය. දැන් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර තමන්ට පැවරූ ඒ වගකීම ඉතා හොඳින් ඉටු කරමින් සිටියි.

තවද පසුගිය මෙරට ප්‍රධාන විදේශ මුදල් ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය මේ වනවිට හැල්මේ දුවමින් රටට ආදායම් උපයමින් තිබේ. කටුනායක ගුවන් තොටුපළේ සිට වැලිගම මුහුදු තීරය, ඇල්ලේ සිට ආරුගම්බේ දක්වා රටේ සංචාරක මර්මස්ථාන සංචාරකයන්ගෙන් පිරී තිබේ. මේ ගලා එන්නේ ඩොලර් ය, මේ ගලා එන්නේ යූරෝ ය. ඉතින් බැසිල් IMF යන්නේ මක්කටද ?

විපක්ෂය උද්ඝෝෂණ, කොරෝනා රැලි පුස් බිය මවද්දි එන්නත් වෙනුවෙන් යහමින් මුදල් වැය කරමින් ඒ ආයෝජනය සිදු කළේ බැසිල් ය. අද රටේ කොරොනා මාරයා අඩපණය. සංචාරක ව්‍යාපාරය උපරිමයේය. ඉතින් එන්නත් වෙනුවෙන් වැය කළ ආයෝජනයේ වටිනාකම මැනිය හැකිද ? බැසිල් ප්‍රමුඛ රජයේ මූල්‍ය කළමණාකරනය සිදුවන්නේ එහෙමය. ප්‍රයෝරිටීස් හඳුනාගන්නේ එලෙසය.

මුදල් ඇමති ලෙස IMF සමග පමණක් නොව ඕනෑම ගෝලීය මූල්‍ය සංවිධානයක් සමග සාකච්ඡා කිරීම බැසිල්ගේ වගකීමය. එනමුත් බැසිල් IMF යනවා යැයි එයින් කියවෙන්නේ නැත. යුද්ධය සමයේ ජනපති මහින්ද යුරෝපා විදේශ ඇමතිවරු සමග සාකච්ඡා කරද්දී මෙන්න මහින්ද යුද්ධය නතර කරන්න යනවා යැයි කෑගැසුවේ මේ රටේ රාළලාමය. එනමුත් මහින්ද යුද්ධය නතර කළේ නැත. හුදෙක් සාකච්ඡාවක් සිදුවූ පළියට තීරණයක් පුරෝකථනය කරන්නේ විපක්ෂයේ අමනෝඥ තකතිරූවන්ය.

කෙසේ වෙතත් බැසිල්ගේ අවසන් පිම්ම පිළිබඳ ඉඟියක් රටේ රාලලට ලබා දීමට මම කැමතිය. බැසිල් IMF යන්නේ නැත. ඔහුගේ ඊළග පිම්ම ඉදිරි වසර තුන තුල මේ යහපාලන ආර්ථික උගුලෙන් රට ගොඩ ගැනීමය. ඉන්පසු කවදත් ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීම විශ්වාස කළ බැසිල් මහා සංවර්ධනයක් ගමට ගෙනියනු ඇත. බැසිල්ගේ ඊළග පිම්ම නම් යළිත් 2025 දී අකාර්කෂම විපක්ෂයට අන්තපරාජයක් අත් කරදී යළිත් පොහොට්ටුවෙන් ජනපතිවරයෙක් සහ රජයක් පත්කිරීමය. බැසිල් ඒ පිම්ම පනින බව නම් සිකුරුය.

@Theleader.lk

නවතම ලිපි