SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමානයේ ශ්‍රී ලංකාවට අත් වී තිබෙන විපත පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 

බලයට පත් කළ භික්ෂූන් වහන්සේත් දැන් පසුතැවිලි වනු ඇතැයි මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නාහිමියෝ පවසති.


වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම පිණිස බොහෝ භික්ෂූන් වහන්සේ දැක්වූ දායකත්වය 'අගතිගාමී ක්‍රියාවක්' වශයෙන් විග්‍රහ කරන උන්වහන්සේ පවසන්නේ, එසේ අගතිගාමී ක්‍රියාවක නිරත වූ භික්ෂූන් වහන්සේ ද ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයට වගකිව යුතු බවය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක, රාජකීය පණ්ඩිත අත්තන්ගනේ රතනපාල නාහිමියෝ  ඒ බව සඳහන් කළේ, රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන වාතාවරණය පිළිබඳව 'සරෝජ් සමග සංදේශය' (Sandeshaya by Saroj) යූටියුබ් නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

වර්තමානයේ ශ්‍රී ලංකාව බරපතල අනතුරකට මුහුණ දී සිටින බව පවසන එහිමියෝ, මේ 'දැඩි විපතෙන්' රට ගලවා ගැනීම උදෙසා උගතුන්, බුද්ධිමතුන් පෙරමුණට පැමිණිය යුතු බව ද අවධාරණය කළහ.

"වර්ගවාදයෙන් ගිනිගත්" ශ්‍රී ලංකාව

"වර්ගවාදයෙන් ගිනිගත්" ශ්‍රී ලංකාව වැනි සමාජයක භික්ෂූන් වහන්සේ බුද්ධ දේශනාව අනුගමනය කළ යුතු බව මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නාහිමියෝ අවධාරණය කරති.

"වර්තමාන භික්ෂු සමාජය තමන්ගේ කාර්යභාරයෙන් බැහැර කළා. ඔවුන්ගේ කාර්යභාරය කල්‍යාණමිත්‍ර භූමිකාවක් සමාජගත කිරීම," යනුවෙන් සඳහන් කල එහිමියෝ, කෙසේ වුවත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ "ආණ්ඩුව තමන්ගේ පැවැත්ම සඳහා භික්ෂූන් වහන්සේ පාවිච්චි කිරීම," බව ද කියා සිටියහ.

කිසිදු ලෙසකින් භික්ෂූන් වහන්සේට පක්ෂ දේශපාලනයේ නිරතවිය නොහැකි බව අවධාරණය කරන රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක හිමියන් පවසන්නේ භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය විය යුත්තේ පවතින ආණ්ඩුවේ අනුගාමිකයින් වීම නොව මහජනතාවගේ ගැටළු සහ ඔවුන් විඳින වේදනා පිළිබඳව පාලකයන්ට උපදෙස් දීම බවය.

රට බරපතල ආර්ථික සහ සමාජයීය අර්බුදයකට මුහුණ දී සිටියදී පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින් විශේෂ සම්මානයක් ප්‍රදානය කිරීම පිළිබඳව මාධ්‍යවේදී සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ එහිමියන් කියා සිටියේ, "රට විනාශයට යමින් තිබෙන වෙලාවක එහෙම සම්මාන දුන්නම හෑල්ලුවට ලක්වෙන," බවය.

බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ බවට කිසියම් පිරිසක් ගෙනයන ප්‍රචාරය "පදනමක් නැති, අත්තනෝමතික වැඩක්" බව නායක හිමියන්ගේ අදහසය.

@Theleader.lk

නවතම ලිපි