SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැරෙන්න ටික දවසකට කලින් මංගල කතාවක් කිව්වා.

ඒ කතාවට මුල්වුනේ මිනිස්සු බහුතරයක් ඡන්දෙ දීලා තෝරගත්ත ඉරණම අවබෝධය ලැබෙන තුරු විඳිය යුතුයි, ඒක ඔවුන‍ගේ අයිතියක් කියල මං ඉදිරිපත් කරපු අදහස.

mangi 1

"මිනිස්සු ගොඩක් අමාරුවෙන් ඉඳිද්දි වඩාත් නරක තෝරාගැනීමට යනවා. මීටත් වඩා අන්තගාමීත්වයක් තෝරගන්න ඉඩ තියෙනවා. රාජපක්ෂලා හරියට සිංහල බෞධ එක කරන්නෙ නෑ කියමින් හරියට කරන කෙනෙක් ඉස්සරහට එන්න ඉඩ තියෙනවා. ලෝකෙ සිද්ද වෙලා තියෙන්නෙ එහෙමයි"

මංගලගෙ අදහස වුනේ ඒක.

මේ වෙද්දි චම්පික රණවක මංගල ඒ කියපු නරක තැන නිර්මාණය කරමින් ඉන්නවා. එයා ක්‍රමයෙන් ලංකාවෙ පිවිතුරු දක්ෂිණාංශික බලවේගය බවට පැහැදිලි ස්ථාවරයක් ගනිමින් ඉන්නවා.

patalee 2

චම්පික එයාගෙ ව්‍යාපෘතිය පටන් ගන්නෙ 43 සේනාංකය කියන නමෙන්. 43 කියන්නෙ නිදහස් අධ්‍යාපනයේ පරපුර කියල එයා කියනවා. මේ නිදහස් අධ්‍යාපනයේ පරපුර තමයි ලංකාව විනාශ කලෙත් කියන එක ගොඩක් අයට අමතක වෙනවා. 56 බලවේගය පිටිපස්සෙ හිටියෙත් 43ම තමයි. ලංකාවෙ ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කරපු, මේ රටේ බෙදීම ඇති කරපු පරපුර තමයි 43 කියන්නෙ. අපිට තිබුනු ද්විභාෂික අධ්‍යාපනය අහිමි කරලා අපි සිංහලට කොටුවුනු දූපත්වාසීන් පිරිසක් බවට පත්කරපු දේශපාලනය තමයි 43 කියන්නෙ.

සිංහල බෞද්ධ කියන කොටළු සම්ප්‍රදාය බිහිවුනේ 43 පරපු‍ර හරහා. වික්ටෝරියානු සදාචාරය සුදු සරම් පිටින් බැස්සුවෙ මේ පිරිස. සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන නව වැඩවසම් කුල ක්‍රමයේ නිර්මාතෘවරු තමයි මේ අය.

මත්පැන් විරෝධය, ලිංගික දේ යටපත් කිරීම, කාන්තාවන් වික්ටෝරියානු සදාචාරයේ කුරුසියට තබා ඇනගැසීම, පැරණි සංස්කෘතියක් රකින්න යැයි නූතන ජීවිතයට විවිධාකාර මුග්ධ වාරණ පැනවීම සහ කුහකත්වය කියන්නෙ මේ පරම්පරාවේ ජාන ලක්ෂන. මේ ලක්ෂණ නැවත උත්ථානය කරන්නයි චම්පිකගේ අලුත් බලවේගය නිර්මාණය වෙන්නෙ.

patalee 3

චම්පික රණවක කියන්නෙ අද ලංකාව මේ වැටිලා ඉන්න තත්වයට රාජපක්ෂලාට වඩා වගකිව යුතු චරිතය. සෝම කියන ජාතිවාදී භික්ෂුවගේ මරණය කරපිටින් අරගෙන ලංකාවෙ කරලියට ජාතිවාදය උස්සලා තිබ්බෙ චම්පික සහ රතන. මහින්දව ජනඝාතක යුද්ධයට තල්ලු කලේත්, සුළු ජාතීන්ට අවාසනාවන්ත ඉරණමක් රටේ නිර්මාණය කලේත් චම්පික විසින් බලය සඳහා පාවිච්චි කරපු දේශපාලනය විසින්. රාජපක්ෂ කියන්නෙ ඒකෙ ගොදුරක් විතරයි.

හාමුදුරුවරු දේශපාලනයට ගෙනාවෙත් චම්පික. හෙළ උරුමය කියල එකක් අටවගෙන රාජ්‍ය සහ ආගම වෙන්ව පැවතීමේ වැදගත්ම සිද්ධාන්තය මේ වලපල්ලට යැවීමේ පුරෝගාමියෙක්. අද කන්න නැති‍ තත්වෙට රට ඇදලා දාපු කාබනික මිත්‍යාවෙන් රාජපක්ෂලා ඇන්දුවෙත් වෙන කවුරුවත් නෙමෙයි චම්පිකගෙ අතිජාත සගයා රතන.

චම්පික අද සඟ වෙද ගුරු ගොවි පංච බලවේගයේ ඊලග ප්‍රවේශය නිර්මාණය කරමින් ඉන්නවා. ඒකෙ ප්‍රධාන බලවේගයක් වෙන්නෙ ලංකාවෙ දොස්තරලා. පාදෙනියලා වගේ චරිත බිහිකරන දොස්තර සම්ප්‍රදායක් ඇතිවෙන්න මුල්වුනෙත් චම්පිකලා පතුරවපු මුග්ධ ජාතිකවාදී අදහස්. ඒ වගේම ඉස්කෝලවල පවා ජාතිවාදය අකුරු කරවන ගුරු පරපුරක් බිහිකලෙත් චම්පිකලා විසින්. ලංකාවෙ මිනිස්සුන්ට ලිංගික අධ්‍යාපනය අහිමි කරන්න පෙරමුණ ගන්න මැදගොඩ අබේතිස්සලා එලියට ආවෙත්, සාෆිලා හිරේ දාන තත්වයට ජනතා මනස සකස් කලෙත් මේ චම්පිකයානු ගර්භාෂය.

චම්පික අයියා

2024 වෙනුවෙන් චම්පික කංසා ගැහුවම පිස්සු හැදෙනවා, නයිට් ක්ලබ් සංස්කෘතියක් විසින් ලංකාවෙ මිනිස්සු අනතුරේ වැටෙනවා, ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් මාෆියා බිහිවෙනවා වගේ දහම් පාසැල් අදහස් බරසාර විදිහට කියන්න පටන් අරගෙන තියෙනවා. හරියට ලෝකෙ මේ දේවල් නීතිගත කරන එකම රට ලංකාව වගේ. කංසා නීතිගත කරපු රටවල පිස්සන්කොටු පිරෙන්න අරන් ඇති මේ වෙද්දි.

ඒ ගැන සාකච්ඡාවකදි චම්පික කියන එක අදහසකින් එයාගෙ සිතීමේ සීමාව තේරුම් ගන්න පුළුවන් . කංසා ලොකු ආර්තිකයක් තමයි, ඒත් ලෝකෙ අනිත් රටවල් මේ වෙද්දි ඒ යටිතලයන් නිර්මාණය කරගෙන ඉවරයි කියල එතුමා කියනවා. ඒක හින්ද අපි ඒක තහනම් කරගෙනම ඉමු කියන එකයි යෝජනාව. ලෝකෙ අනිත් රටවල් ඒ දේවල් කරන කාලෙදි අපිට කරන්න බැරි වුනේ චම්පිකලා අදත් ඔය කියන දහම්පාසැල් අදහස් නිසා කියලා එයා කියන්නෙ නෑ.

මේ හැමදෙයක්ම යටින් තියෙන්නෙ එක ධාරාවක්. ඒ තමයි මිනිස් නිදහස සහ අයිතීන් සීමා කිරීම. ඒකට රජයකට බලයක් තියෙනවා කියන පිලිගැනීම. මේ ස්ථාවරය සුළු ජාතීන්, ආගම්, ලිංගිකත්වයන් සහ සියලු නව අදහස්, ජීවිත විලාසයන් මර්දනය පිණිස යොමුවීම අනිවාර්යයක්.

තමන් පාවිච්චි කල යුතු නොකල යුතු දේ තෝරගන්න පුළුවන් පුරවැසියෙක් ලංකාවේ ඉන්නවා කියල චම්පික විශ්වාස කරන්නෙ නෑ. එයා යෝජනා කරන්නෙ තාත්තා වගේ ළමා රටක් පාලනය කරන ආණ්ඩුවක් .

මිනිස්සුන්ගෙ ඉල්ලුමක් තියෙන නමුත් රජයෙන් තහනම් කළ හැමදේකම මාෆියාවක් ඇතිවීම අනිවාර්යයක්. චම්පිකගේ දේශපාලනය වෙන්නෙ මාෆියාවන් නිර්මාණය කිරීම සහ කාටවත් හිංසාවක් නැති තහනම් රසයන් විඳින මිනිසුන් හිරේ දැමීම වග පැහැදිලියි. ඒකාධිපතියෙකු නිර්මාණය වීම හැර ඒ දේශපාලනය ගමන් කළ හැකි වෙන මගක් නෑ.

චම්පික මේ ස්ථාවරය ගන්නෙ හොඳ කිරා බැලීමකින් පස්සෙ. ගෝටාබය බලයට එද්දි ජනතාව ඒකාධිපතියෙක් ඉල්ලා සිටියා. එයාට ඒක දෙන්න බැරි වුනා. ඒ ජනතා ඉල්ලීම වෙනුවෙන් තමයි චම්පික රණවක කියන ප්‍රතිරූපය නිර්මාණය වෙන්නෙ.

ගෝටාබය ජයග්‍රහණය කරද්දි ලංකාවෙ සුවිශේෂ චන්ද ඇදහිල්ලක් බිඳ වැටුනා. ඒ තමයි සිංහල බෞද්ධ චන්ද වලින් විතරක් රටේ පාලකයෙක් බිහි කරන්න බෑ කියල තිබුනු මතය. අනෙක් සියල්ලන් මතවාද අනුව කොටස් වෙද්දි රාජපක්ෂලා ජාතිය මත තනි බහුතරයක් හැදුවා. මෙන්න මේ පිරිස තමයි චම්පිකගේ දැනුවත් ඉලක්කය. ඒ අය නිදහසට අකමැතියි. ලිබරල් වටිනාකම්වලට එරෙහියි. මහ ජාතිය කියන ආඩම්බරය විතරක් ඇති අතීතෙට ඇරුනු නාකි පරපුරක්. හැබැයි එතන ඔලුගෙඩි ගාන නිශ්චිතයි.

අනූ

මේ වෙද්දි ලිබරල් මිනිස් වටිනාකම් සහ නූතනවාදී අගයන් වෙනුවෙන් යම් පමනකින් හෝ පෙනී ඉන්න දේශපාලනය බවට පත්ව ඉන්නෙ අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ. ලිංගිකත්වය අයිතීන් පිළිබඳ වගන්තියක් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් කිරීම දක්වා ප්‍රගතිශීලි වෙන්න කොහොම හරි අනුරලට පුළුවන් වෙලා තියෙනවා. සියල්ල කතිකා සහ සාකච්ඡා මගින් තීන්දු කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් ඒ අය අරන් තියෙනවා.

ඒක ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ. තව අවුරුදු දෙකක් තියෙනවා. මේ දෙක අතර සිදුවීම් විසින් සියලු දේශපාලන චරිත තමන්ගේ සැබෑ රාමු වෙත ගාල් කරනවා. ඒ හින්ද තමන්ගේ පිල තෝරගන්න හදිස්සි වෙන්න දෙයක් නෑ.

එක දෙයක් නිශ්චිතයි. ඒ ප්‍රතිගාමීත්වය පැරදවිය යුතුයි කියන එක. දැන් එතන ඉන්නෙ චම්පික.

නවතම ලිපි