SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ගත යුතු ද, නැද්ද? මේ, මේ වන විට රට තුළ පවතින සංවාදයකි.

විදෙස් සංචිත දැඩි ලෙස පහත වැටීම හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට පවා ඩොලර් හිඟවී ඇති අවස්ථාවක, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බව ආර්ථික විශේෂඥයින් ඇතුළු ඇතැම් පාර්ශවයන් පෙන්වා දෙන කාරණයකි.

කෙසේ වෙතත් රජයේ මැති ඇමතිවරුන් අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමෙන් ඔවුන්ගේ කොන්දේසිවලට යටත්වීමට, හා ජනතාවට ලබා දෙන සහනාධාර කප්පාදු කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව යි.

ඇත්තෙන්ම අපේ රටට කොන්දේසි දමන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හැකි ද? මේ විමසා බැලීම ඒ පිළිබඳව යි.

සංචිත පහත වැටෙයි

අපනයන ආදායම අඩුවීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ අඩුවීම හා, සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම් පහත වැටීම හමුවේ ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟයකට මුහුණ පා සිටියි.

ණය වාරික ගෙවීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව සතු නිල විදේශීය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.5ක් පමණ අගයක් දක්වා පහත වැටී ඇත.

ශ්‍රී ලංකාව මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.7ක් විය. දළ නිල සංචිත සහ බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත වන මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2021 වසරේ සැප්තැම්බර් අවසානය වන විට ඩොලර් බිලියන 6.1ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

 

IMF 1

IMF approves Immediate Debt Relief for 25 countries: Sri Lanka not in the list

 

කෙසේ නමුත් 2021 වසරේ ඔක්තෝබර් මාසය අවසානය වන විට නිල විදේශීය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.3 දක්වා තවදුරටත් පහත වැටිණි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසන්නේ, මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇත්තේ, ඩොලර් බිලියන 1.5 සංචිත පමණක් බව යි.

"මේ විදේශ වත්කමට අප රැවටිය යුතු නැහැ. ඒ මොකද අද මේ රටේ මහ බැංකුවෙත්, සෙසු බැංකු පද්ධතියෙත් ශුද්ධ විදේශ වත්කම සෘණ අගයක්. ඒක ඉතාම බරපතල අගයක්. සෘණ ඩොලර් මිලියන 3,600 ඉක්මවලා තියෙනවා. දැන් පවතින ඩොලර් මිලියන 1500න් 350ක් විතරම තියෙන්නේ රත්‍රං. ඒ අනුව 1,150ක් විතරයි මුදල් වශයෙන් තියෙන්නේ," මන්ත්‍රීවරයා පැවසිය.

"රටේ විදේශ මූල්‍ය අර්බුදය අතිශය දරුණු තත්ත්වයකට මේ වසර අග භාගය වන විට පත් වෙමින්, ලබන වසර ඇත්ත වශයෙන් ශ්‍රී ලංකා ද්වීපයේ ආර්ථිකය අතිශයින්ම තීරණාත්මක, එහි ඉතිහාසයේ තිබ්බ ඉතා බලගතුම මූල්‍ය ආගාධයකට වැටෙමින් තිබෙන බව පැහැදිලි යි," පැවසූ මන්ත්‍රීවරයා, එළඹෙන වසර, ඇතැම් විට ජනවාරි මාසය අතිශය තීරණාත්මක මාසයක් බවට පරිවර්ථනය වනු ඇතැ යි ද අනතුරු අඟවා සිටියේ ය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රී රණවක පැවසුවේ 2022 වසරේ රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 7,000කට අධික බව යි.

  • ද්වීපාර්ශවිය ණය සඳහා ඩොලර් මිලියන 550ක්
  • බහු පර්ශවීය ණය සඳහා ඩොලර් මිලියන 604ක්
  • අපනයන ණය සඳහා ඩොලර් මිලියන 514ක්
  • ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 1500ක්
  • පොලී ගෙවීම් සඳහා ඩොලර් මිලියන 1,083ක්
  • වෙනත් ගෙවීම් සඳහා ඩොලර් මිලියන 1,200ක්
  • බංග්ලාදේශයට ණය පියවීම සඳහා ඩොලර් මිලියන 150ක්

IMF 2

IMF Provides $ 2.75 Bn To Pakistan Under SDR Programme Amid COVID-19 Crisis

 

2022 ජනවාරි මාසයේ දී පමණක් ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 900කට අධික මුදලක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වනු ඇතැ යි ද ඔහු පැවසිය.

ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර සඳහා ගෙවීම් කිරීමට ඩොලර් මිලියන 500ක්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 242ක්, බහුපාර්ශවික සහ ද්වී පර්ශවීය ණය වාරික ගෙවීමට ඩොලර් මිලියන 200ක් අවශ්‍යවනු ඇතැ යි ද තවදුරත් මන්ත්‍රීවරයා අනාවරණය කළේ ය.

මොකද්ද මේ IMF?

IMF 3

1930 ගණන්වල ඇතිවූ ලෝක ආර්ථීක අවපාතය නිසා ලෝකයේ සෑම රටකටම පාහේ ජාත්‍යන්තර වෙළඳාමෙන් වාසිදායක තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා ආරක්‍ෂක තීරු බදු ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම, මුදල් අවප්‍රමාණය කිරීම හා වෙනත් වෙළඳ බාධක පනවනු ලැබුණි.

සෑම රටක්ම මෙම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නිසා විදේශ වෙළඳාම බිද වැටීම, සේවා නියුත්තිය පහත වැටීම, අකාර්යක්ෂම ලෙස සම්පත් බෙදීයාම යන අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සෑම රටකටම සිදුවිය.

මේ නිසා විදේශිය වෙළදාම හා ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු හැසිරවීම සඳහා සම්මත නීතිමාලාවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීමේ අපේක්ෂාවෙන්, එක්සත් ජනපදයේ බ්‍රේට්න්වුඩ් නගරයේ දී 1944 පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මූල්‍ය සම්මේලනයේ දී ඇතිකරගත් බ්‍රේට්න්වුඩ් ගිවිසුමට යටතේ 1947 මාර්තු 01 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සාමාජිකයන්ට ගෙවුම් ශේෂ හිඟයන් පියවා ගැනීමට තාවකාලික ණය දෙනු ලබයි.

සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ අසමතුලිතතා තුලනය කරගැනීමට අවශ්‍ය කෙටිකාලීන ණය සැපයීම අරමුදලේ ප්‍රධාන කර්යය යි. එසේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් සාමාජිකයන්ට අවශ්‍ය උපදෙස් හා සහයෝගය දැක්වීම, විනිමය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම, ක්‍රමාණුකූල විනිමය වැඩපිළිවලක් සැකසීම සිදුකරනු ලබයි.

මෙහිදී ලබාගත හැකි වන්නේ ගෙවුම් ශේෂ තුලනයට වර්තන ගෙවීම් හිඟය පියවීම සඳහා කෙටිකාලීන ණය යි. එසේම සාමාජික රටවලට අරමුදලේ සිය දායකත්ව පංගුවෙන් වර්ෂයකට 25%කට වඩා ණය ලබාගත නොහැකි ය.

අරමුදලෙන් ණයට ගන්නා මුදල් රටකින් රටකට සිදුවන ප්‍රාග්ධන පැවරුම් සඳහා භාවිතා කළ නොහැකි ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය අරමුදල් ගන්නේ සාමාජික රටවල් විසින් ගෙවනු ලබන සාමාජික මුදල් සංවර්ධිත රටවලින් ලබාගන්නා ණය ආධාර හා දියුණු රටවල මුදල් වෙළඳපොලට සුරැකුම්පත් හා ණයකර නිකුතුව මඟිනි.

මෙසේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටකට අරමුදල් සැපයීමේදී එම රටේ මුල්‍ය ස්ථාවරත්වය ඇති කිරිමට් අවශ්‍ය පියවරයන් එරට ක්‍රියාත්මක කිරිමට පියවර වනු ලබයි.

ශ්‍රී ලංකාව මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුත්තේ ඇයි?

ආර්ථික විශේලේශක සහ වෙරිටේ රිසර්ච් ආයතයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පැවසුවේ ශ්‍රී ලංකාව ණය ගෙවන සෑම අවස්ථාවකම රටේ සංචිත පහත වැටෙන බව යි.

2019 දෙසැම්බර් සිට මේ දක්වා තෙවරක් ශ්‍රේණිගතකිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට වැටී ඇති බව ඔහු පෙන්වා දෙයි.

"සංචිත ගොඩ නැගිලා, විශ්වාසය ගොඩනගලා, ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළ යාම තමා ප්‍රධාන අරමුණ විය යුත්තේ. ඒකට IMF වගේ ආයතනයකට අපිට තාක්ෂණික දැනුමත්, විශ්වාසවන්ත වාතාවරණයත් සාදාගනීමට උපකාරයක් කරන්න හැකියාව තියෙනවා," යනුවෙන් ඔහු පැවසිය.

චීන ණය මතම යැපිය යුතු ද? IMF සහාය ගන්න බැරි ද?

අමාත්‍ය විමල් වීරවංශ මෑතක දී කියා සිටියේ IMF සහාය ගැනීමේ දී ඔවුන් මෙරටට අහිතකර කොන්දේසි පනවන බව යි.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියලා කියන්නේ ඒගොල්ලෝ කියනවා මහ බැංකුව ස්වාධීන කරන්න කියලා, රාජ්‍ය සේවය කප්පාදු කරන්න කියලා, රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කරන්න කියලා, රාජ්‍ය වියදම් අවම කරන්න කියලා," පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පසුගියදා පැවසිය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, "දැනට තියෙන සුබසාධන අවශ්‍යතා, සමෘද්ධිය වෙන්න පුළුවන්, වෙන වෙන දේවල් වෙන්න පුළුවන්, නවත්තන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඔය සේරම දේවල්වලට මේ රටේ ජනතාව කැමැති නම් අපිට පුළුවන් IMF එකට යන්න. මේ IMF එකට යන්න කියන එක ලේසියි. ගියාට පස්සේ IMF එක කියන කොන්දේසි ඉටු කරන්න ගියාම තමයි තේරෙන්නේ තමන් තමන්ටම යි වළ කපාගත්තේ කියලා."

ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළේ, "කොන්දේසි මොකුත් නැහැ. එහි තියෙන්නෙ රාජ්‍ය මූල්‍ය විනය පිළිබඳ කොන්දේසිය පමණ යි. ඒකට යි ආණ්ඩුව එකඟ වෙන්න ඕනේ," යනුවෙනි.

"ඇයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න බැහැ කියලා කියන්නේ? ඒගොල්ලො කියන්නේ නොයෙකුත් කොන්දේසි දායිලු. කොන්දේසි දැම්මම ජනතාවට අපහසුවක් වෙයිලු. සහනාධාර කපන්න වෙයිලු. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා මොකද්ද වහෙන් ඔරෝ කරේ? පොහොර සහනාධාරය කපපු එක නෙවෙයි ද කරේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරනවයි කියන දේ නොවෙයි ද, ඔය කියන විදිහට බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා කළේ?" ආචාර්ය ද සිල්වා මන්ත්‍රීවරයා පර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ ය.

රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය ගුණතිලක හේරත් ද අවධාරණය කළේ වෙනත් රටකින් ණය ලබා ගැනීමට වඩා IMF ණය ලබා දීමේ දී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කරන බව යි.

"ලංකාවේ අද තියෙන තත්ත්වය බැලුවොත්, අපි අපේ ආදායමට වඩා ඉහළ පරිභෝජනට අවුරුදු 15ක් විතර ඉදලා ණයට අරන් කාලා, දැන් ගෙවා ගන්න බැරුව නේ ඉන්නේ. ඒ වගේ තත්ත්වයක දී අපේ අදායම් මට්ටමේ සහ පරිභෝජන මට්ටමේ පහළ වැටීමක් වෙනවා. මේක වේදනාකාරී දෙයක්. මේක කල් දමමින් තමා රජය ඉන්නේ. IMF එක ආවොත්, මේක කල්දමා හිටියොත් මේක දරුණු වෙනවා කියලා දන්නවා ඒගොල්ලෝ. ඒ නිසා IMF එක ඉදිරිපත් කරන දෙවල් ජනප්‍රිය නොවෙන්න පුළුවන්. රජයකට ආවාසිදායක වෙන්න පුළුවන්. ජනතාවට කෙටිකාලීනව සෘණ බලපෑම් ආවත්, ලෙඩෙන් ගොඩ එන්න ඕනේ නේ," මහචාර්යවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය කුමුදුනී ශ්‍රියාලතා පැවසුවේ, අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට යාමේ දී එම ණය මුදල භාවිත කරන්නේ කෙසේදැ යි අප විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් විය යුතු බව යි.

ණය මුදල සාර්ථකව, කාර්යක්ෂමව භාවිත කරනු ඇතැ යි යන එකඟතාව මත පමණක් IMF ආයතනය විසින් එම ණය ලබා දෙනු ඇතැ යි ද ඇය පැවසිය.

ආචාර්යවරිය පෙන්වා දුන්නේ, විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් මිලියන 60.000ක අලාභයක් ලබන බව යි. මෙවැනි ආයතන ප්‍රතිසංස්කරණය කළ යුතු බව ද ඇය පැවසිය. IMF ආයතනය ගෙනෙන කොන්දේසි තමයි මේවා මේ වගේ පාඩු ලබන ආයත රජයේ භාණ්ඩාගාරයේ බරින් නිදහස් කරන්න කියන එක යනුවෙන් ඇය පැවසිය.

රජය විසින් සමෘද්ධිය ලබා දෙනු ලැබුව ද ඉන් රටේ දරිද්‍රතාවය අඩුවී ඇත්දැ යි සොයා බැලිය යුතුබව ද ඇය තවදුරත් පැවසිය.

රජයේ ස්ථාවරය

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් ඇතැම්විට බරපතල කොන්දේසිවලට යටත්වීමට සිදුවිය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරාල් ද පැවසිය.

රූපවාහනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ එසේ නොයා යුතු යි කියන ස්ථාවරයේ තමා සිටින බව යි.

"IMF එකේ ප්‍රෝග්‍රෑම්ස්වලට ගිය සමහර රටවල්වලට කරන්න සිදුවෙච්ච දේවල් බලන්න. රාජ්‍ය සේවය කපන්න වෙලා තියෙනවා. ඒ අයගේ සම්පත් විකුණන්නන් වෙලා තියෙනවා. පෙන්ෂන් කපන්න වෙලා තියෙනවා," මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යම් රටකට අරමුදල් සැපයීමේදී ඔවුන් සපයන අරමුදල් වල සුරක්ෂිත තාවය පිළිබඳව තම සාමාජිකයින්ට වගකිව යුතු බැවින් එමණය ලබාදෙන රටවල් වල මුල්‍ය විනය පිළිබඳව කොන්දේසි පැනවීම සිදුකරන බවයි.

එවැනි කොන්දේසි මගින් එම රටේ මුල්‍ය විනය පවත්වාගැනීම එම ණය ලබාගන්නා රටට දීර්ඝකාලීනව වාසිසහගත බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග යම් එකඟතාවයක් පවතින අවස්තාවලදී අනෙකුත් ආයෝජකයින්ගේ විශ්වාසය ද දිනාගැනීමට එම ටරවලට හැකි බවට ඔවුන් පැවසිය.

ආර්ථික විශේෂඥයින් තවදුරත් පවසන්නේ එවැනි මුල්‍ය විනයක් පවත්වාගැනීම හරහා එම රටවලට ණය ශ්‍රේණිගත කීරීමේ අගයන්ද ඉහල මට්ටමකට තබාගත හැකි බවත් එය එවැනි රටවලට වාසිසහගත බවයි.

ඔවුන් තවදුරත් පවසන්නේ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බැවින් අඩු ආදායම් ලබන රටවල් වල තත්ත්වයට වඩා මෙය බෙහෙවින් වෙනස් බැවින් ද්විපාර්ශවික ණය ලබාගැනීම ශ්‍රී ලංකාව වැනි රටවලට මේ වන විට අපහසු බැවින් ජාත්‍යන්තර මුල්‍ය වෙලඳපලෙන් ණය ලබාගැනීමට නම් තම ශ්‍රේණිගත කිරීම ඉහල අගයක තගත යුතු බවයි. එම නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය අවශ්‍ය බවයි.

 

@ BBC sinhala

නවතම ලිපි