SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට වසා තිබෙන තත්වය තුළත් ක්ෂුද්‍ර මුල්‍ය නියෝජිතයන් කාන්තාවන්ට හිරිහැර කරමින් ණය ගෙවා දමන ලෙස

බලකරමින් සිටින බව ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ පවසයි.
මේ බව ප්‍රකාශ කෙරුණේ ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න කළ අදහස් දැක්වීමේදීය.

ඇය පළ කළ අදහස්වල සාරාංශයක් මේ සමග පළ වේ.

පළවෙනි සහ දෙවැනි කොවිඩ් රැල්ල අවස්ථාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවෝ පීඩාවට පත්වුණා. ඒ වගේම මේ වසංගත අවස්ථාවේත් ගොවියන් ධීවරයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් වගේම අඩු ආදායම් මාර්ග අවිනිශ්චිත ආදායම් මාර්ග තිබුණු ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිස පීඩාවට පත්ව සිටිනවා. ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නයට එරෙහිව අපි දිගින් දිගටම අරගලයක ඉන්නවා. නමුත් පාලකයන් සහ බලධාරීන් මේ ප්‍රශ්නය නොසළකා හැර තිබෙන ප්‍රශ්නයක්. ඒ වෙනුවට ආණ්ඩුව මේ මූල්‍ය සමාගම් ශක්තිමත් කරමින් ඉන්නවා.

දැන් ආණ්ඩුව කියන විදිහට රට වසා දමා තිබෙනවා. නමුත් මූල්‍ය ආයතනවල නියෝජිතයන් ණය අයකරගැනීමේ ක්‍රියාවලියක නියැලී ඉන්නවා. එකපැත්තකින් හරියාකාරව කන්න බොන්නවත් නැතුව පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නයට මේ රටේ පාලකයන්ට උත්තරයක් දෙන්න බැරිවෙලා තියෙනවා. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගෙන තියෙන්නේ මේ රටේ අන්ත අසරණ ජනතාව. රටේ හැමතැනම මූල්‍ය ආයතන නියෝජිතයෝ ණය අයකරගන්නා ගෙවල්වලට එනවා. මහියංගනයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන්ගේ ගෙවල්වලට ණය ලබා ගැනීම සඳහා ඇවිල්ලා තියෙනවා. ඇටම්පිටියේ වතු යායේ කරත්ත පාර වතු නිවාසවල සිටින වතු කම්කරු ජනතාවගෙන් ණය අයකරගන්නා අගෝස්තු මාසෙ සිට මේ මාසෙ 20 දක්වා මූල්‍ය සමාගම් නියෝජිතයෝ ඇවිත් තියෙනවා. මේ නියෝජිතයෝ ගෙවල්වලට ඇවිත් ණය ඉල්ලලා කරදර කරනවා.

 

කාන්තාවෝ 2

 

මොණරාගල කාන්තාවක් ලබාගෙන තිබෙන ණය මුදල රු 30,000ක්. ඇයට මේ සමාගම් නියෝජිතයෝ ඇවිත් රු 10ක් හරි ගෙවන්න කියලා කරදර කරනවා. ඇය පාර අයිනේ බුලත්විට සහ ධාන්‍ය විකුණලා ජීවත්වෙන කෙනෙක්. ඇඳිරි නීතිය නිසා මේ වෙලාවෙ ඇයට ඒ ආදායම් මාර්ගයත් ඇණ හිටලා. එහෙම තත්ත්වයක් ඇතුලේ තමයි මේ මූල්‍ය ආයතන නියෝජිතයෝ ණය ඉල්ලලා කරදර කරන්නෙ.

නමුත් කිසිම තැනක ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා විපතට පත්ව සිටින කාන්තාවන්ගේ ප්‍රශ්නය සාකච්ඡා වෙන්නෙ නැහැ. එක පැත්තකින් තමන්ගේ රැකියා නැතිවෙලා, ආදායම් මාර්ග අහිමිවෙලා. අනිත් පැත්තෙන් තමන් වගා කරපු ඉඩම් රජය විසින් මහා පරිමාණ සමාගම්වලට ලබාදීලා. ඒ වගේම සමාගම් සහ ආණ්ඩුව ගොවියාගේ බෙල්ල හිරකරනවා. නිතිය අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ බෙල්ල හිර කරනවා.

බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ණය ගත්තොත් ණය ගෙවන්න ඕනා කියන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නෙ මේ මූල්‍ය ආයතන අයකරන්නේ උහුලගන්න බැරි තරම් පොළියක්. සියයට 35, 40, 60 අසාධාරණ පොලිය තමයි මේ අයකරන්නෙ. LOLC එකට කෝටි ගණන් ලාභ ඉහළ නන්වගන්න පුළුවන් වෙන්නෙ දරිද්‍රතාවයේ පතුලේ ඉන්න මේ සියයට 40ක් මිනිස්සු තමන්ට ලැබෙන සොච්චම් ආදායමත් මේ මූල්‍ය සමාගම්වලට පූජා කරාට පස්සෙ.

පසුගිය දිනවල සාකච්ඡාවක් ඇතිවුණා මැති ඇමතිවරු වසංගතයෙන් පීඩාවට පත්වෙලා සිටි මිනිස්සුන්ට සහන දෙන්න වැටුප් පරිත්‍යාග කිරීම ගැන. එතැනදී සමහර මැති ඇමතිවරු කිව්වා අපිටනම් වැටුප් පරිත්‍යාග කරන්න බැහැ අපිට ලබාගත් ණය ගෙවන්න තියෙනවා කියලා. නමුත් මේ කිසිම ඇමතිකෙනෙක් ණය ලබාගැනීම නිසා පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සු ගැන කතා කළේ නැහැ. ලීසිං සමාගම්වලින් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලින් ණය ගත්ත කොච්චර මිනිස්සු ඉන්නවද? ලක්ෂ 24ක් වෙච්ච කාන්තාවෝ සහ සමස්ථය ලක්ෂ 28ක් වෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඉන්න පිරිස කොච්චර පීඩාවට පත්වෙලාද කියන එක ඔය එක ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක්ට හිතුනද?

මේ මූල්‍ය සමාගම් නියෝජිතයෝ ගෙවල්වලට ගිහින් කරදර කරනවා, ලිංගික හිංසන කරනවා, කායික වාචික හිංසන කරනවා. ඒවාට විරුද්ධව පොලීසිය හෝ අධිකරණය හරි ආණ්ඩු හරි මැදිහත්වෙන්නෙ නැහැ.

කාන්තා සංවිධානයක් ලෙස අපි කියන්නෙ “ගෙවන්න බෑ – ගෙවන්නෙ නෑ” කියන එක. මොකද මේ කාන්තාවෝ ගෙවමින් ඉන්නෙ අසාධාරණ පොළියක්. ආණ්ඩුව මේ මොහොතේ අඩුම වශයෙන් මේ මිනිස්සුන්ට යම් සහනයක් හරි ලබාදෙන ලෙස මූල්‍ය සමාගම් සමාගම්වලට යෝජනා කළ යුතුයි. නමුත් ආණ්ඩුව එහෙම යෝජනාවක්වත් කරන්නේ නැහැ. මේ මූල්‍ය සමාගම් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබද්දී ආණ්ඩුව සද්ද නැතුව ඉන්නවා. මිනිස්සු මේ ණය ගෙවාගන්න බැරුව මැරි මැරී යද්දී ආණ්ඩුව සද්ද නැතිව ඉන්නවා. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් හැම සහෝදරයෙකුටම හැම සහෝදරයෙකුටම අපි කියනවා මේ ණය ගෙවන්න ඕනා නෑ. ණය නෙමෙයි අසාධාරණ පොළිය මේ ගෙවමින් ඉන්නේ. ගෙවන්න බෑ – ගෙවන්නෙ නෑ කියන සටන් පාඨය අපි ඉදිරියට ගෙනියන්න ඕනා. මුල්‍ය සමාගම්වල වංචාව දුප්පත් මිනිහව හූරගෙන කෑම නවත්තන්න ආණ්ඩුව මැදිහත්වෙන්න ඕනා.

යහපාලන ආණ්ඩුව මේ මිනිස්සුන්ට බොරු පොරොන්දු දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ මිනිස්සුන්ට බොරු පොරොන්දු දුන්නා. පොරොන්දු වෙනුවට මේ ණය අහෝසි කරන වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව හදන්න ඕනා. විශේෂයෙන් කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ රට, සමාජය, ලෝකය අර්බුදයට ගිහිල්ලා තියෙන්නේ. ඒක ඇතුලේ ලක්ෂ 28ක් පමණ වෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ණය ලබාගත් පිරිස අර්බුදයක ඉන්නෙ. ඒගොල්ලෝ ඒ ප්‍රශ්නයෙන් ගලවගන්න ආණ්ඩුව මැදිහත්වෙන්න ඕන. ආණ්ඩුව මැදිහත් නොවුනොත් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ ලෙස ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි පෙලගැහෙනවා. මේ කාන්තාවන් සූදානම් සටන් කරන්න.”

 

@ www.lankaviews.com

නවතම ලිපි