SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගුවන් විදුලි සංස්ථාව යනු පාඩු පිට පාඩු ලබමින් මහජන බදු මුදලින් නඩත්තු වන ආයතනයකි.

මෙම ආයතනයට වර්තමාන රජය බලයට පත්වූ පසු  වසර දෙකක කාලසීමාව තුළ මේ වන විට සභාපතිවරුන් හයකට අධික සංඛ්‍යාවක් පත්කර ඇත. සෑම සභාපතිවරයෙකුටම පත්වූ පසු සිදු කරන්නට සිදුව ඇති ප්‍රධානම කාර්යය වී ඇත්තේ දේශපාලන පත්වීම් සහ උසස්වීම් ලිපි ගසමින් හෝ ඒවාට විරුද්ධ වෙමින් හෝ දින සති මාස ගෙවා ආපසු ගෙදර යන්නට යෑමය.

වර්තමාන සභාපතිවරයා ලෙස පත්වීම ලබා පැමිණියේ ගුවන් විදුලියේ හතර සීමාවන් හොඳින් හඳුනන මෙන්ම සෑම වැලිකැටයක්, ගල් කැටයක් ගැනම මනා දැනුවත් බවක් ඇති, ගුවන් විදුලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් මෙන්ම වැඩිම කාලයක් සභාපති වශයෙන් කටයුතු කළ ප්‍රවීන මාධ්‍යවේදියෙකු වූ හඩ්සන් සමරසිංහ මහතාය. ඔහු පත්වීම් ලැබ පැමිණෙන විට ගුවන් විදුලියේ සිදුවූ අක්‍රමිකතාවන් ගණනාවක් පිළිබඳව තම වැඩසටහනකදී නිර්ධය ලෙස විවේචනය කරන ලදී. 

සංස්ථාව තුල සිදුව ඇති බරපතළ අක්‍රමිකතාවයන් ගණනාවක් ම හඩ්සන් සමරසිංහ සභාපතිවරයා ඒ වැඩසටහනේ දී හෙළිදරව් කරන ලදී. සංස්ථාවේ නුසුදුස්සන් ගණනාවකටම දේශපාලන හා පුද්ගලික හිතවත් කම් මත උසස්වීම් ලබා දී ඇති බවත් පැවසූ ඔහු ගොළුවන්ට පවා නිවේදක තනතුරු ලබාදී ඇතිබව පවසා ඇත. නමුත් විරුද්ධ දේශපාලන මත දරන දක්ෂ සේවකයින් කිසිම කෙනෙකුට උසස්වීම් ලබා දී නැති බව කියන සභාපතිතුමා  ඔවුන්ගේ සේවය ස්ථිර කිරීම පවා කර නැති  බවට ද චෝදනා කරයි.

මේ  තත්ත්වය මත ගුවන්විදුලි සංස්ථාව පාඩු පිට පාඩු ලබමින් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත්,  තමා  අලුතින් වැඩබාරගත්  දිනට පෙරදින රාත්‍රී 12 ටත් කිහිප දෙනෙකුටම පත්වීම් ලිපි ලබාදී ඇති බවත් හඩ්සන් සභාපතිවරයා පවසන ලදී. මෙසේ ලබාදී ඇති නව පත්වීම් හා උසස්වීම් ප්‍රමාණය 300කට අධිකය.

මෙසේ ගුවන් විදුලියේ වර්තමාන ඛේදවාචකය පිළිබඳව හෙළිදරව් කිරීමෙන් පසුදිනම ජනමාධ්‍ය අමාත්‍යවරයා ගුවන් විදුලියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත රැස්වීමක් කැඳවා ඇති අතර එම රැස්වීමේදී මෙම උසස්වීම් හා පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙස කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසා ඇතැයි ගුවන් විදුලියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ගුවන් 1

ගුවන් විදුලියේ මෙම පත්වීම් නිත්‍යනුකූලද?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මහා භාණ්ඩාගාරය යටතේ වැටුප් ලබාගන්නා ආයතනයක් වන බැවින් එහි සේවක සංයුතිය සහ බඳවාගැනීම් පරිපාටිය සකස් වී ඇත්තේ කළමණාකරන සේවා දෙපාර්තමේන්තුව යටතේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ මූලධර්ම වලට අනුකූලවය. ඒ අනුව නිසි සේවක සංයුතියක් සකස් කර අනුමත කිරීම සිදුකර ඇති අතර බඳවාගැනීම් පරිපාටිය සකස්කර රාජ්‍ය සේවයේ ක්‍රමවේදයන් අනුගමනය කිරීමට උපදෙස් ලබාදී ඇත. එහිදී සිංහල, දමිළ, ඉංග්‍රීසි නාලිකා සඳහා අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් ඇතුළුව ඒ යටතේ වූ ක්ෂේත්‍රගතවූ සෑම නාලිකාවක් සඳහාම සහකාර අධ්‍යක්ෂවරයෙක් මගින්  පාලනය වීමට සකස් කර ඇත.

පසුගිය කාලය තුළ මෙම නාලිකා සඳහා නව පත්වීම් හා උසස්වීම් ලබාදීමේදී එක් නාලිකාවකට සහකාර අධ්‍යක්ෂවරුන් එක් තනතුර වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂවරුන් පහකට අධික ප්‍රමාණයකට පත්වීම් ලබාදී ඇති බවත් සඳහන්ය. මෙහිදී කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නීති සියල්ල පසෙකලා සිදු කර ඇත්තේ කැලෑ නීතිය රජකරවීමයි. දුර්වල පරිපාලන ක්‍රමවේදයන් මත පිහිටා ආයතනයේ ගැටළු තවත් දශක ගණනාවකට නිවැරදි කරන්නට බැරි තරමට වියවුල් කර ඇති බව ආයතනයේ දැනුම්වත් සේවකයෝ පවසන්නේ ඒ අනුවය.

එසේම මෙසේ පත්කර ඇති බොහෝ තනතුරුවලට අදාළ බඳවාගැනීමේ පරිපාටියේ වූ සුදුසුකම් සම්පූර්ණයෙන්ම නොසලකා කටයුතු කර ඇති බවද වාර්තාවේ.

බලයට පත්ව ඇති ආණ්ඩුවට සම්බන්ධ අපොස සාමාන්‍ය පෙළත් අසමත් වෘත්තීය සමිති නායකයෙකුට අධ්‍යක්ෂ තනතුරක් ලබාදී ඇති අතර, අධ්‍යක්ෂවරයෙක් සඳහාවන සුදුසුකම් වන්නේ පිළිගත් විශ්ව විද්‍යාලයක මූලික උපාධියක් සහ පශ්චාත් උපාධියක් සහිතව මධ්‍යම කළමණාකරන සේවා ගණයේ තනතුරක වසර පහක සේවා පළපුරුද්දකි. එමෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරකට පත්වීම් ලබාදී ඇති තවත් වෘත්තීය සමිති සාමාජිකයා ව්‍යාජ සාමාන්‍ය පෙළ සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් අල්ලස් හා දූෂණ කොමිසන් සභාවේ විභාගවන පරීක්ෂනයක චූදිතයෙකි. විභාග දොර්තමේන්තුව මෙය ව්‍යාජ සහතිකයක් බව සනාථ කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සංස්ථාවට යොමු කරන ලද්දකි.

 

රාජ්‍ය ආයතනවලට අලුතින් සේවකයින් බඳවා ගැනීම සහ උසස්වීම් ලබාදීම නතර කිරීමට නියෝගයක්.

මේ අතර වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ඇතිවී තිබෙන මූල්‍යමය අර්බූධයන් හේතුවෙන් පසුගිය වසරේ දී ගත් ප්‍රධාන තීරණයක් වූයේ රාජ්‍ය ආයතනවල වියදම් දැඩි ලෙස සීමා කිරීමයි.

ඒ අනුව රාජ්‍ය ආයතනවල අතිරේක වියදම් දැරීම වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත. මේ අතර රාජ්‍ය ආයතනවලට අලුතින් සේවකයින් බඳවා ගැනීම ද නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබේ. කොරෝනා ව්‍යාප්තියත් සමග රජයේ ආදායම විශාල ලෙස අඩු වීම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත .

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඉකුත් සතියේ කොළඹ අරලියගහ මන්දිරයට කැඳවා, වියදම් සීමා කරන ලෙසද  දැනුම් දී ඇත. එසේම රජයේ ආයතනවල අතිරේක වියදම් කපා හරින ලෙසත් සේවකයින් වැඩි නොකරන ලෙසත් මුදල් ඇමතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී ඇත. (පුවත-ලංකාදීප පුවත්පත)

එසේම 2020.12.18 දිනැතිව සහ 2021.06.22 දිනැතිව අමාත්‍ය මණ්ඩල සටහන් අනුව මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂන සටහන් පෙන්වාදෙමින්, ආයතනයන්හි ආර්ථික වශයෙන් වාසිදායක නොවන සියළු වියදම් පාලනය කිරීම, අවිධිමත් පත්වීම් පාලනය කිරීම නවතා, බඳවා ගැනීම් වහාම නැවතීම උපුටාදක්වමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගුවන් විදුලි සංස්ථාවේ අයථා පත්වීම්, උසස්වීම් නොකළ යුතු බව 2021.07.05 දිනැතිව ගුවන් විදුලි සංස්ථාව වෙත ලිඛිතව දන්වා ඇත.

 

ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නියෝගය යට ඇත්තේ කාගේ බලයක්ද?

මෙවන් පසුබිමක සිදුව ඇති අක්‍රමිකතාවන් පිළිබඳ ආයතන ප්‍රධානියා විසින්ම ප්‍රසිද්ධියේ හෙළිදරව් කර ඇති පසුබිමක ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ මේ තීරණයට බලපෑ සත්‍ය හේතුව කුමක්ද? ගුවන් විදුලි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි එම රැස්වීම අවස්ථාවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට ඇමතුමක් ලබාදෙමින් තමාගේ දේශපාලන වැඩකටයුතු සඳහා උදව් කරන ලද තම ප්‍රදේශයේ කිහිප දෙනෙකුට පත්වීම් කිහිපයක් ලබාදීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවසර ඉල්ලා ඇති බවත් සඳහන්ය. ඒ අනුව ඒ මොහොතේ ගුවන් විදුලි සභාපතිවරයා වෙත අමාත්‍යවරයා දන්වා ඇත්තේ මෙම පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසයි. මෙය වර්තමාන සභාපතිවරයාගේ අධික කළකිිිිිරීමට හේතු වී ඇති බවත් ඒ නිසාම ඔහු ගුවන් විදුලිය හැර යෑමට ඉඩ ඇති බවත් ගුවන් විදුලි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.  

මෙම අත්තනෝමතික තීරණ හා කැළෑ නීතිය පිළිබඳව ඉතා කලකිරීමෙන් යුතුව අදහස් දැක්වූ ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරන පළපුරුදු නිළධාරියෙකු, 2004 වර්ෂයේ ජාතික පුස්තකාලයේ පැවති සංවාදයකදී හිටපු අමාත්‍ය චම්පික රණවක පැවසූ කාරණයක් මතක් කර සිටින ලදී. චම්පික රණවක, දීප්ති කුමාර ගුණරත්න සහ නිර්මාල් රංජිත් දේවසිරි සහභාගී වූ එම සංවාදයේදී චම්පික රණවක පවසා ඇත්තේ ලෝක ඉතිහාසයේ බලය යන කාරණය ‌හේතු තුනක් මත රඳා පැවත ඇති බවයි. එනම් ධනය, දේශපාලනය, ලිංගිකත්වයයි. එම නිළධාරියා පවසන්නේ ගුවන් විදුලියේ එය ක්‍රියාවට නැංවෙන්නේ හුදෙක් ලිංගිකත්වය මතම බවයි. එනම් මෙම කැළෑ නීතිය පසුපස ලිංගිකත්වය බලපාන්නේද?

කෙහෙලිය ඇමතිතුමා තවත් හත්පොලේ ගාගැනීමකට සූදානම් මේ මොහොතේ, මේ පිළිබඳව පසුගියදා ලීඩර් ටී වී නාලිකාව මගින් සඳහන් කළ පුවත නැවත ඇසීම දැකීම සඳහා මෙසේ පලකරන්නෙමු.

“රාජ්‍ය මාධ්‍යවල හැමදාමත් පත්වීම් උසස්වීම් දුන්නේ මේ විදියට.. කෙහෙළියලා විතරක් නෙමෙයි මංගලලාත් කලේ ඔය ටිකම තමයි..

අපේ මැති ඇමතිවරු දේශපාලනේ කියල හිතන් ඉන්නේ තමන්ගේ ගම් පළාතේ කොල්ලෝ කෙල්ලෝ තම තමන්ගේ ආයතනවල රැකියාවලට දාන එක..

ගුවන් විදුලිය විතරක් නෙමෙයි, රුපවාහිනිය, ITN එක, ලේක්හවුස් එකේ සිද්ධවෙලා තියන්නෙත් මේකම තමයි..

කොහොම වුණත් සභාපතිකමත්  අවදානමක දාගෙන මේ විදියට කෙලින් කතා කරන්න කොන්දක් තියන හඩ්සන්ලා වගේ අයත් ඉන්නවා කියන එකත් අද වගේ දවසක ලොකු දෙයක්..

හැබැයි ඉතිං ප්‍රශ්නය තියෙන්නේ තව කී දවසක් ඔය කතා කියන්න ලැබෙයිද කියලා. පරණ සිස්ටම් අප්සෙට් කියලා, අලුත් සිස්ටම් හදන්න කියලා ආපු "ස" තවම ඒ වැඩේට අත තියලාවත් නෑ.  අඩුම ගානේ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් පත්කරන කොට, ඉන්ටර්විව් කරලා, සුදුසුකම් පරීක්ෂා කරන කමිටුවක් හරහා නේද ඒ දේවල් කරනවා කිව්වේ. දැන් එහෙමද පත්වීම් දෙන්නේ. ඒ කියන්නේ මේ ගුවන් විදුලියට සීමා වුනු ප්‍රශ්නයක් නෙවෙයි, රටටම අත්වුණු පොදු ඉරණමක්.

අන්න ඒ නිසා හඩ්සන් මහත්තයා ටිකක් පරිස්සමෙන්. කියන කතා සේරම ගුවන් විදුලියට සීමා කරලා තියාගන්න. එතකල් නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හැබැයි ඔයාගේ කට  ගුවන් විදුලියේ වැට පැන්නොත් තමයි ප්‍රශ්නය”

 

ඔබගේ අදහස් පලකිරීමටද ‌ Ladyleader.lk හි ඉඩකඩ වෙන්කර ඇත.

නවතම ලිපි