SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක් වූ රොබින් හෝසර් කොවිඩ් වෛරසයට ගොදුරු වූයේ පසුගිය පෙබරවාරියේ දී ය.

 

එහෙත් ඇගේ කතාව කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්වූ මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ කතාන්දරවලට වඩා වෙනස් ය. ඊට හේතුව නම් Pfizer-BioNTech වැක්සීනයේ දෙවෙනි මාත්‍රාව ලබාගෙන සති හතක් ගිය තැන මෙසේ යළි කොරෝනා වෛරසයට ගොදුරු වීමයි.

සැබවින්ම මෙය අපූරු තොරතුරු රැසකට මඟ පෑදීමකි. තවම එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ගත් ශ්‍රී ලාංකිකයන් සතුව ද ඇත්තේ මේ පැනයම ය. එන්නත ලබාගත් බැවින් යළිත් නො වැළඳෙන්නේද, ඔවුන්ගෙන් තවත් අයට වෛරසය සම්ප්‍රේෂණය නොවෙන්නේද යන ප්‍රශ්නය බොහෝ විට ඉස්මතු වෙයි.



ඒත් ඊට පිළිතුරු වශයෙන් බොහෝ වෛද්‍යවරු පවසන්නේ එන්නත ලබා ගැනීම යනු නිදහස් නොසැලකිලිමත් ජීවන රටාවක ට මග පෑදීම නොවන බවයි. ඔවුන් පවසන්නේ යළි වෛරසය ශරීර ගත වන්නට ද (වඩා වෙනස් ප්‍රභේධයක් සමාජයේ පැතිර තිබුනොත් ) ඔවුන්ගෙන් වෙනත් කෙනෙකුට බෝවන්නට ද ඉඩ තිබෙන බවය. එබැවින් වෛරසයට එරෙහිව එන්නත ලබා ගත්තේ වුවද මේ වසංගත අවස්ථාවේදී සාමාන්‍ය පරිදි ආරක්ෂා විය යුතු බව ය.


" මං පුදුමෙනුත් පුදුමයට පත් වුණා " රොබින් පවසන්නී ය. " මොන මල හත්තිලව්වක්ද, එහෙමත් වෙන්න පුලුවන්ද ? ඒත් දැන් නං මං මුණගැහෙන කාට උනත් කියන්නේ එන්නත විද්දත් අර පුරුදු විදිහටම බොහොම ප්‍රවේශමෙන් ඉන්න කියලයි."


ද වොෂින්ටන් පෝස්ට් පුවත්පත උපුටා දක්වන අන්දමට එන්නත්කරණයෙන් පසුවත් යළි කොවිඩ් වෛරසයට ගොදුරු වන මේ කුඩා පිරිස ක්‍රමයෙන් වැඩිවෙමින් තිබෙන බවය. ඇතැම් එක් එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන සිටින අතර යළි දෙවනවර වෛරසයට ගොදුරු වන අනෙක් පිරිස මාත්‍රා දෙකම ලබාගත් අයයි.

රෝග පාලන හා වැළක්වීම පිළිබඳ මධ්‍යස්ථාන ( Centres for Disease Control and Prevention ) මේ වන විට රැස්කර ඇති රැස්කර ඇති දත්ත අනුව Pfizer-BioNTech හෝ Moderna වැක්සීනයේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් සති දෙකකට පසුව යළි වෛරසයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව හය දසකට ආසන්න ය. ඔවුන්ගෙන් සියයට 40 ක පමණ පිරිස අවුරුදු 60 හෝ ඊට වැඩි අයයි. මේ ප්‍රමාණයෙන්  65% ක් ම කාන්තාවන් . 29% ක් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වා නැහැ. ඉන් සියයට හතක් පමණ අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරන්නට සිදු වූ අතර 1% ක ප්‍රමාණයක් නම් හැත්තෑ හතර දෙනෙක් මියගිය බව CDC පවසයි.

ඊට හේතු වූයේ කුමක්ද ? පැහැදිලිවම එන්නත් නිෂ්පාදනය කළ සමාගම් පවසා ඇත්තේ තවමත් ඔවුන්ට මේ පිළිබඳව 100% ක සහතිකයක් දෙන්නට නොහැකි බව ය. Pfizer-BioNTech හා Moderna සමාගම් දෙකම පවසන්නේ ඔවුන්ගේ එන්නත් සියයට 90% ක සාර්ථකත්වයක් උසුලන බවයි. එහෙත් ඊට එකම හේතුව වන්නේ ද එය නොවේ.

ඒ පිළිබඳව CDCය ඉදිරිපත් කර ඇති අදහස් දැක්වීම හුදෙක් ඇමරිකානුවන්ට පමණක් නොව එන්නත පිළිබඳව බොහෝ කුකුසෙන් පසුවන අපට ද වැදගත් ය. ඔවුන් පවසන්නේ එන්නත ලබා ගත් සැනෙන් සිරුරේ ප්‍රතිශක්තිය ඇති නොවන බවයි. සිරුර ඊට යම් කාලයක් අපේක්ෂා කරයි. කවර එන්නතක් වුව මාත්‍රා දෙකකින් යුතු වන්නේ ඊට ක්‍රමයෙන් සිරුර හුරු කිරීම පිණිසය. එන්නත ලබා ගැනීමට පෙර මෙන්ම එන්නත ලබා ගත් සැනින් පවා යමෙකු මේ වෛරසයට ගොදුරු වන්නට ඉඩ තිබේ.මන්දයත් ඒ වන විටත් අදාල ප්‍රතිශක්තියට හුරුවී නොසිටින්නට ඉඩ ඇති බැවිනි. රෝග පාලන හා වැළක්වීම පිළිබඳ මධ්‍යස්ථාන ( Centres for Disease Control and Prevention ) පවසන්නේ මේ කාර්යය සඳහා සති කීපයක් ගතවන බවය.

අනෙක් අතට එන්නත ලබාගන්නා අවස්ථාවේ පවා යමෙකු වෛරසයට ගොදුරු වී සිටින්නට ද ඉඩ තිබේ. එබඳු අවස්ථාවක ද එන්නතින් අර කී රැකවරණය බලාපොරොත්තු නොවිය හැකි බව CDCය සඳහන් කර තිබේ.

එ පමණක්ද නොව පුද්ගලයන් සතු ප්‍රතිශක්තිය අනුව මේ එන්නතේ බලය කෙමෙන් අඩුව යන්නටත් ඉඩ තිබේ. එබැවින් මේ කවරක් වුව ද එන්නත ලබා ගත් සැනින් සැණින් සියල්ල අහවරයැයි කල්පනා කිරීම නොයුතු බව ඇමරිකා එක්සත් ජනපද වෛද්‍ය නිලධාරියකු හා ජනපති ජෝ බයිඩන්ගේ කොරෝනා වෛරසය පිළිබඳ උපදේශකයා ද වන ආචාර්ය ඇන්තනි ෆෝසි පවසයි. " එන්නත් විද්දාය කියලා කිසි කෙනෙකුට බැහැ ආවරණය පැත්තකට දාලා , සමාජ දුරස්ථභාවය සත පහකට ගනන් නොගෙන ඉන්න. මොකද ඔවුන් අතිනුත් වෛරසය සම්ප්‍රේෂණ වන්න ඉඩ තියෙනවා."

ඒ කාරණය පිළිබඳ CNN වෛද්‍ය විශ්ලේෂකයෙකු වන ආචාර්ය ලියානා වෙන් ද මෙසේ පවසා තිබුණි. " එන්නත ලබාගත් කෙනෙක් වුණත් තවදුරටත් රෝග ලක්ෂණ නොපෙන්වන සම්ප්‍රේෂකයෙක් වන්නට ඉඩ තියෙනවා. ඔවුන්ගේ සිරුරේ රෝග ලක්ෂණ නොපෙන්වන වන්න පුළුවන්. ඔවුන්ගෙන් නාසා මාර්ගයේ වෛරසය රැඳී තිබෙන්න පුළුවන්. බඳු තැනැත්තෙක් කතා කිරීමේදී හුස්ම ගැනීමේදී කිවිසුම් පිටකිරීමේදී තව කෙනෙකුට ඒ වෛරසය ලබා දෙනවා වෙන්නත් පුළුවන්."

මේ වෛරසය ක්‍රියාත්මක වන ආකාරය බොහෝ අමුතු ස්වභාවයක් උසුලන අතර එය සමග දැන් අවුරුදු එකහමාරක් පමණ ම සටන් කරමින් සිටින නමුත් හරිහැටි තේරුම් ගන්නට අප තවමත් අසමත්ය. අධි ආරක්ෂිත ජීවන රටාවකට හුරු වූවෙකු අනපේක්ෂිත ලෙස ඊට ගොදුරු වන හැටි ද රෝගීන් රැසක් මැද සිටියද පුදුමාකාර ලෙස එයින් එරෙහි ගත් අය ගැන ද අසන්නට ලැබේ. එබැවින් කොරෝනාවයිරස යනු පහසුවෙන් තේරුම් ගන්නට හැකි සෙල්ලමක් නොවේ.

නිර්දේශිත සෞඛ්‍ය විධිවිධාන පිළිනොපදින සමාජයකට අත්වන ඉරණම ගැන හොඳම උදාහරණය ඉන්දියාවෙනි. බොහෝ දෙනා ප්‍රභේධ සම්බන්ධව කතා කරමින් එය ඒ හැටි බය වෙන්නට වෙන්නට දෙයක් නැතැයි තවමත් පවසනු අසන්නට ලැබුනද පරිස්සම කිසිවිටෙකත් කිව්වත් දැමිය යුතු නොවේ.
කොරෝනාවයිරසයේ අනපේක්ෂිත හැඩය පෙන්වන උදාහරණ රාශියක් ලොව නන් දෙසින් අපට අසන්නට ලැබේ.



New Yorker හි මාණ්ඩලික ලේඛිකාවක වන මාෂා ගෙසන් ඇයගේ එන්නත් මාත්‍රාව 2 සම්පූර්ණ කර තිබුණේ පෙබරවාරියේ මැදය. එහෙත් තවත් මසක් ගත වෙද්දී මාෂා යළි වෛරසයට ගොදුරු වූ අතර ඇයගේ පුත්‍රයාද , සහායිකාව ජූලියාද වෛරසයට ගොදුරු වී තිබුණි. නිදහස් ඡායාරූප මාධ්‍යවේදී හැට හැවිරිදි ලෙස්ලි ෆ්රැට්කින් ඇගේ දෙවන එන්නත් මාත්‍රාව ලබා ගත්තේ මාර්තු 12 වැනිදා ය. ඒත් මාර්තු 24 වැනිදා වෙද්දි යළි රෝග ලක්ෂණ පහළ වූ අතර , ඉනික්බිති දැඩි ලෙස රෝගාතුර වූවාය. " ඒ වෙලාවෙ නම් මට හිතුණු දේවල්, කියවනු දේවල් පත්තරේකට නම් ලියන්න බෑ " ලෙස්ලි පවසා තුබුණි.

 

එන්නත විද්දා හෝ නොවිද්දා හෝ අප මෙතෙක් පවත්වාගෙන ආ සෞඛ්‍ය පුරුදු එලෙසින්ම පවත්වාගෙන යා යුතු බව අපට බටහිරින් අසන්නට ලැබෙන මේ කතාන්දර හා තොරතුරු යම් ඉඟියක් ලබා දෙයි. එකම හා ස්ථිරසාර විසඳුම වන්නේ එන්නත නමුත් එහි යම් හිඩැස් තිබෙන්නට පුළුවන. එබැවින් අප කළ යුත්තේ එන්නතේ පිහිට ලැබෙන තෙක්, කිහිප ගුණයකින් අපේ ආරක්ෂක වැඩ පිළිවෙළ තව තවත් තර කර ගැනීම පමණකි.

 


පාලිත ජයකොඩි | ඉරිදා අරුණ

නවතම ලිපි