බන්ධනාගාරගතව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තමාගේ
සහ සිය බිරිඳ වන බුෂ්රා බිබීගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහෙමින් පවතින බව පවසමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා පාකිස්තානයේ ඉහළම අධිකරණ විනිසුරුවරුන් වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
ඔහුගේ නීතිඥ බැරිස්ටර් සෆ්දාර් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන ලද මෙම ලිපිය, දැනටමත් නොසන්සුන් වී ඇති පාකිස්තාන දේශපාලන කරළිය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව ඇත.
"මෙය මානුෂීය පදනමක් මත වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස කෙරෙන ආයාචනයක්"
යැයි නීතිඥ සල්මන් සෆ්දාර් X (ට්විටර්) පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර තිබුණි.
පසුගිය නොවැම්බර් 11 වැනිදා රාවල්පින්ඩිහි පිහිටි අඩියාලා (Adiala) බන්ධනාගාරයේදී පැය තුනක කාලයක් ඉම්රාන් ඛාන් හමුවී ඔහු ලබාදුන් උපදෙස් සහ සටහන් මත පදනම්ව මෙම ලිපිය සකස් කළ බව නීතිඥවරයා පවසයි.

අදියාලා බන්ධනාගාරයේ රඳවා සිටින 74 හැවිරිදි ඉම්රාන් ඛාන්, පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ, ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ සහ ඉස්ලාමාබාද් මහාධිකරණයේ අගවිනිසුරුවරුන්ගෙන් මෙම ලිපිය හරහා මානුෂීය මැදිහත්වීමක් ඉල්ලා සිටියි.
"2025 දෙසැම්බර් 20 වැනිදා මට සහ මගේ බිරිඳට වසර 17ක සිරදඬුවමක් නියම වූ දා සිට, දිනකට පැය විසිදෙකක් දක්වා වූ කාලයක් මාව රඳවා තබාගෙන සිටින්නේ හුදකලා සිරමැදිරියකයි."
ඉම්රාන් ඛාන් සිය ලිපියේ එලෙස සඳහන් කර තිබේ.
තවදුරටත් කරුණු දක්වන හිටපු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, තමන්ගේ දකුණු ඇසේ පෙනීමෙන් සියයට 85ක්ම මේ වන විට අහිමි වී ඇති බවයි. එසේම තමන්ට මොළයේ රුධිර වහනයක් (brain haemorrhage) හෝ හෘදයාබාධයක් (cardiac arrest) ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවට වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇති බවද ඔහු පවසයි.
"මම කවදාවත් වෛද්‍ය හේතූන් මත සහනයක් ඉල්ලා නැහැ. අසනීප තත්ත්වයන් උපක්‍රමයක් ලෙස භාවිතා කරලත් නැහැ. මම නීතිය ඉදිරියේ සටන් කළේ විශ්වාසයෙන් යුතුවයි. අදටත් මම එහෙමයි. මම ඔබතුමන්ලාගෙන් කිසිම විශේෂ වරප්‍රසාදයක් ඉල්ලන්නේ නැහැ."
යැයි ඛාන් ලිපියේ සඳහන් කර තිබේ.
පසුගිය අගෝස්තු 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබුණේ දින දෙකක් ඇතුළත ඉම්රාන් ඛාන්ව ඉස්ලාමාබාද්හි ෂිෆා ජාත්‍යන්තර රෝහල වෙත මාරු කර වෛද්‍ය මණ්ඩලයක් ලවා පරීක්ෂා කරවන ලෙසයි.
"නමුත් ඒ අධිකරණ නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ."
යැයි ඛාන් චෝදනා කරයි. ඒ වෙනුවට ඔහුව රජයේ රෝහලක් වෙත ගෙන ගොස් පැය කිහිපයකින් නැවත සිරගෙට ගෙනැවිත් තිබේ.
නොවැම්බර් 10 වැනිදා රාත්‍රියේ ඉම්රාන් ඛාන්ව ඇසේ එන්නතක් ලබාදීම සඳහා රෝහලකට රැගෙන ගිය අතර, රජයේ වෛද්‍යවරුන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය තාරික් ෆසාල් චෞද්රි ප්‍රකාශ කර ඇත්තේ ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බවත් ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර බන්ධනාගාරය තුළදීම ලැබෙන බවත්ය.
මේ අතර, සිය බිරිඳ වන බුෂ්රා බිබීගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද ඛාන් දැඩි කනස්සල්ලක් පළ කර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී ඇයගේ ඇසේ දෘෂ්ටි විතානය ගැලවී යාමේ තත්ත්වයක් හේතුවෙන් රහසිගතව සංකීර්ණ ශල්‍යකර්මයකට භාජනය කළ බව පවසන ඛාන්, තවත් ශල්‍යකර්මයක් කඩිනමින් සිදු නොකළහොත් ඇයට ස්ථිරවම පෙනීම අහිමි වීමේ අවදානමක් පවතින බව පවසයි.
බුෂ්රා බිබීගේ සම්පූර්ණ වෛද්‍ය වාර්තා ලබාදෙන ලෙසත්, ඇයව කඩිනමින් විශේෂිත රෝහලක් වෙත මාරු කරන ලෙසත් ඉල්ලමින් ඇයගේ නීතිඥවරුන්ද ඉස්ලාමාබාද් මහාධිකරණයට ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත.
ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් දෙදෙනෙකු වන උස්මා ඛාන් සහ නොරීන් නියාසි පසුගිය නොවැම්බර් 12 වැනිදා ලාහෝර් සිරගෙදරින් නිදහස් කෙරුණද, ඔහුගේ තෙවැනි සහෝදරිය වන අලීමා ඛාන් තවමත් පසුවන්නේ බන්ධනාගාරගතවය.
පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සයිඩ් සුල්ෆි බුහාරි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ හිටපු අග්‍රාමාත්‍යවරයාට නීතිමය මැදිහත් වීමක් පැතීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව නොතිබූ බවයි.
"වසර තුනකට වැඩි කාලයක් සිරගතව සහ හුදකලාව සිටින ඔහුට යුක්තිය ඉටු වන බවක් පෙනුණේ ඉතාම කලාතුරකිනුයි. ඉන්පසු එයත් නැතිවී ගියා. මේ විවෘත ලිපිය ලියන්න ඔහුට සිදුවුණේ ඒ නිසයි."
බුහාරි වැඩිදුරටත් අවධාරණය කළේ ඛාන් කිසිසේත් පසුබැස නොමැති බවයි.
"ඔහු කිසිම වරප්‍රසාදයක් ඉල්ලන්නේ නැහැ. කිසිදු ගනුදෙනුවකට යන්නේ නැහැ. ඔහු ඉල්ලන්නේ යුක්තිය සහ පාකිස්තානයේ නීති පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම පමණයි. මේ ලිපියෙන් පෙනෙන්නේ යුක්තිය සහ මානුෂීය වෛද්‍ය ප්‍රතිකාර පතන මිනිසෙකුගේ නිහතමානී ආයාචනයක් පමණයි. අපි උසාවියෙන් ඉල්ලන්නේ මේ නඩු විභාගයන් කල් නොදමා සාධාරණව අහන්න කියලයි. ඒ වගේම ඔහුගේ ජීවිතයට හෝ පෙනීමට හානියක් නොවෙන්න සැබෑ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න කියලා රජයට බලපෑම් කරන්න කියලයි."
දේශපාලන විශ්ලේෂක මෙහ්මල් සර්ෆ්රාස් පවසන්නේ මෙම ලිපියෙන් ඛාන් සිය බිරිඳගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් දක්වන දැඩි සංවේදීතාව පැහැදිලි වන බවයි.
"ඔහු තමන්ගේ බිරිඳගේ පිරිහෙන සෞඛ්‍ය තත්ත්වය ගැන දැඩි ලෙස කනස්සල්ලෙන් පසුවන්නේ. ඇයට කෙසේ හෝ සහනයක් ලබාගැනීම ඔහුගේ ප්‍රධානම බලාපොරොත්තුවක් වී තිබෙනවා."
තවත් දේශපාලන විශ්ලේෂකයෙකු වන හබීබ් අක්රම් පවසන්නේ මෙය කිසිසේත්ම සමාව අයැදීමක් නොවන බවයි.
"ඔහු සමාව ඉල්ලනවා නම් මේ වගේ ලිපියක් ලියන්න අවශ්‍ය නැහැ. ඔහු ලියා තිබෙන්නේ උසාවියට මිස වෙනත් කාටවත් නෙවෙයි. ඔහු ඉල්ලන්නේ බන්ධනාගාර නීති සංග්‍රහයට අනුව තමන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් පමණයි."
කෙසේ වෙතත්, මෙම ලිපියෙන් ඛාන්ගේ ඉරණම වෙනස් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද අක්රම් සඳහන් කළේය.
"දැන් ඉම්රාන් ඛාන්ට සිදුවන දේවල් පිටුපස කිසිදු නීතිමය පදනමක් නැහැ. ඉස්ලාමාබාද් මහාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග කිසිවක් ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙම බලද්දී මේ ලිපිය නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක වෙයි කියා මම සිතන්නේ නැහැ. මෙය දැන් නීතිමය ප්‍රශ්නයක් නෙවෙයි, දේශපාලනමය තත්ත්වයක්."
ඉම්රාන් ඛාන්ගේ මෙම හදිසි ආයාචනයත් සමඟ ඉස්ලාමාබාද් මහාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි දින කිහිපය තුළ ගනු ලබන තීන්දු තීරණ, 74 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතයට පමණක් නොව, පාකිස්තානයේ ඉදිරි දේශපාලන ස්ථාවරත්වයටද තීරණාත්මක වනු ඇත.
(අල්ජසීරා ඇසුරිනි.)

