SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

— NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකරගේ විත්තිවාචකය හෙළි කරන බාල බෙහෙත් නඩුවේ සැඟවුණු ඇත්ත!

 

 

රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක බිඳවැටීමක් හෝ දැවැන්ත ජාතික ව්‍යසනයක් හමුවේ

ගනු ලබන සාමූහික තීන්දු තීරණ, අවසානයේ නීතියේ තරාදිය ඉදිරියට පැමිණි විට එහි සැබෑ බර පැටවෙන්නේ කාගේ කර මතද යන්න මෙරට අධිකරණ ඉතිහාසය තුළ නිරන්තරයෙන් මතුවන ප්‍රබලතම සංවාදයකි.

 

 

ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැප් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් වන මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය සහ මහාධිකරණ විනිසුරු පී.එම්.ටී. බණ්ඩාර යන විනිසුරුවන් ඉදිරියේ විභාග වන නඩුවේදී පසුගියදා සටහන් වූයේ එවැනි අතිශය සංවේදී මෙන්ම ගැඹුරු පරිපාලනමය පැතිකඩක් විවර කරන තවත් විත්තිවාචකයකි.

 

 

 Judge cautions DSG against pressuring prosecution witnesses in  immunoglobulin fraud trial – The Island

 

 

මෙම නඩුවේ 12 වන චූදිත ලෙස නම් කර සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු ප්‍රධාන විධායක නිලධාරී, විශේෂඥ වෛද්‍ය විජිත රණසිංහ ගුණසේකර විත්තිකූඩුවේ සිට සිය වචනවලින්ම ඉදිරිපත් කළ පිටු විසිදෙකකින් සමන්විත දීර්ඝ ප්‍රකාශය, හුදු නීතිමය නිදහසට කරුණු දැක්වීමකට එහා ගිය මෙරට සෞඛ්‍ය පද්ධතියේ කඩාවැටීම සහ නිලධාරිවාදයේ ඛේදවාචකය පිළිබඳ ජීවමාන කැඩපතක් බඳුය.

 

 

 

යුද බිමේ ශල්‍යාගාරයේ සිට වොරික් සරසවිය දක්වා දිව ගිය නිහඬ වෛද්‍යවරයෙකුගේ ගමන්මඟ

අධිචෝදනා පත්‍රයේ 1 සහ 13 යන චෝදනාවලට තමා මුළුමනින්ම නිවැරදිකරු වන බව ප්‍රකාශ කරමින් සිය කතාව අරඹන විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර, තමා කවරෙක්ද යන්න අධිකරණය හමුවේ දිගහරින්නේ දශක තුනකට ආසන්න සිය වෘත්තීය ජීවිතයේ කැපකිරීම් එකින් එක සිහිපත් කරමිනි.

 

ගාල්ලේ උපත ලබා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පළමු වසරේ සිට දොළහ වසර දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු, 1993-1994 වසරවල රටේ පැවති කලබලකාරී වාතාවරණය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ප්‍රමාද වූ කෙටි කාලයේදී සම්පත් බැංකුවේ මණ්ඩලික නොවන නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය අත්දැකීම් අරඹා පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විය. 1998 වසරේදී වෛද්‍ය උපාධිය අවසන් කිරීමෙන් පසුවද සීමාවාසික පුහුණුව ලැබෙන තෙක් නිවසට වී නොසිටි ඔහු, යුද්ධය ඇවිළෙමින් පැවති සමයේ සිය කැමැත්තෙන්ම හමුදා රෝහලට බැඳී සේවය කළේය.

 

“ඒ කාලේ අපිට සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබා ගැනීමටත් යම්කිසි කාලයක් ගත කරන්න සිද්ධ වුණා. ඒ නිසා මම තීරණය කළා හමුදා රෝහලේ ටික කාලයක් සේවය කරන්න. ඒක මම ආසාවෙන් කළේ. ඒ හමුදා රෝහලේ සේවය කරන අතරේ සීමාවාසික වෛද්‍ය පුහුණුවට අපිට යන්න අවස්ථාව ලැබුනහම මම ස්වේච්ඡාවෙන්ම මම තෝරාගත්ත අනුරාධපුර දිස්ත්‍රික්කය, අනුරාධපුර රෝහල. මගේ පළවන වෛද්‍යවරයෙක් හැටියට පළමුවන පත්වීම මට ලැබුණේ කුරුලුවැව කියන ඉතාම ග්‍රාමීය රෝහලකට. කුරුලුවැව කියන්නේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ. එතන ටික කාලයක් මම සේවය කළා ඉතාමත්ම දුෂ්කර පළාතක්.”

 

 

යුද සමයේ හමුදා වාට්ටුවලත්, අනුරාධපුර හා රාගම රෝහල්වලත් ශල්‍ය වෛද්‍ය අංශයේ අඛණ්ඩව සේවය කළ ඔහු, 2004 වසරේ අග භාගයේදී වෛද්‍ය පරිපාලන විභාගය සමත්ව පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයෙන් පුහුණුව ලබා 2007 වසරේදී මාතර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සිය පරිපාලන දිවිය ඇරඹීය. එතැන් සිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, 2015 පනතට පෙර පැවති විලවුන්, උපකරණ හා ඖෂධ අධිකාරියේ (CDDA) නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අධ්‍යක්ෂ ලෙස ඔහු පියවරෙන් පියවර ඉහළට පැමිණියේය.

 

 

2015 වසරේදී ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවයට උසස්වීම් ලබා කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරද්දී, 2016 වසරේ රටම කම්පා කළ අරණායක සාමසර කන්ද නායයෑමේ මහා ඛේදවාචකයේදී සෞඛ්‍ය මෙහෙයුම්වලට නායකත්වය දුන්නේද ඔහුය. 2018 වසරේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජකාරි කරන අතරතුරම අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ජාතික රුධිර පාරවිලයන සේවයේද වැඩ බැලූ ඔහු, 2019-2020 කාලසීමාවේදී මහා බ්‍රිතාන්‍යයේ වොරික් (Warwick) විශ්වවිද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධි (MD) පුහුණුව ලැබ ඇත්තේ මෙරටට බෙහෙවින් දුර්ලභ විෂය පථයන් වූ සෞඛ්‍ය ආර්ථික විද්‍යාව (Health Economics) සහ නියාමන විද්‍යාව (Regulatory Science) පිළිබඳව විශේෂඥතාවක් අත්කර ගනිමිනි.

 

 

වසර දෙකක විදේශ නිවාඩුව කැප කර කොවිඩ් ගිනිදැල් මැද මව්බිමට පැමිණීම විත්තිකූඩුවේ සිට වෛද්‍ය ගුණසේකර කරන ප්‍රකාශය තුළ සංවේදීම හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ 2020 වසරේ මුළු ලෝකයම කොවිඩ් වසංගතයෙන් ගල්ගැසී සිටි මොහොතේ ඔහු ගත් තීරණයයි. එංගලන්තයේ තවත් වසර දෙකක පමණ නිල නිවාඩු කාලයක් ඉතිරිව තිබියදීත්, මෙරට රසායනාගාර සේවාවල නිත්‍ය අධ්‍යක්ෂවරයා ලෙස තමාට මව්බිම වෙනුවෙන් ඉටු කිරීමට ඇති වගකීම සලකා ඔහු ‘රිපැට්‍රියේෂන් ෆ්ලයිට්’ එකකින් යළි ලංකාවට පැමිණියේය.

 

“එතකොට මම කල්පනා කරා දැන් කොවිඩ් කාලයේ ප්‍රධානම භූමිකාවක් මේ රසායනාගාර සේවාවලට තියෙනවා. ඉතින් ඒක නිසා මගේ නිවාඩු තිබුණා මට තව අවුරුදු දෙකක් විතර ගත කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒත් මම කල්පනා කරා මම කලින් ලංකාවට පැමිණියා. අපහසු තත්ත්වයන් මත තමයි නැවත පැමිණීමත් අපහසුයි. නමුත් ඒ විදිහට පැමිණිලා මගේ රාජකාරි කටයුතු මම ආරම්භ කරා. 2021 වගේ වසර වගේ වෙනකොට ස්වාමීනි මට තවත් රාජකාරියක් පැවරුණා මහරගම රෝහලේ හිටපු අධ්‍යක්ෂකවරයා ඒ වෙලාවේ හදිසියේ මිය ගියා. එතකොට අමාත්‍යාංශය මගෙන් ඇහුවා මේ රෝහලත් බලන්න පුළුවන්ද කියලා. මම ඒකත් භාරගත්තා. අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා හැටියටත් මම කටයුතු කරා.”

 

 

මහරගම අපේක්ෂා රෝහලේ සහ රසායනාගාර සේවාවේ යන ආයතන දෙකෙහිම බර කරට ගෙන කටයුතු කළ ඔහු, 2021 වසරේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා පැවති විධිමත් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියද, එම අවස්ථාවේදී ඔහුට එම තනතුර හිමි නොවීය. ඉන්පසු බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) නිත්‍ය රාජකාරි භාරගෙන සිටි ඔහුට, NMRA හි ප්‍රධාන විධායක නිලධාරී තනතුර භාරගන්නා ලෙස ආරාධනා ලැබෙන්නේ 2022 වසරේ රට දැවැන්තම ආර්ථික, සමාජීය හා දේශපාලනික ප්‍රපාතයකට ඇදවැටී තිබූ මොහොතකය.

 

ඒ අනුව 2022 ජූලි 18 වන දින ඔහු NMRA හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වන්නේ, 2015 වසරේ එම අධිකාරිය පිහිටුවීමෙන් පසු විධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් තේරී පත්වූ එකම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස අධ්‍යක්ෂ මණ්ඩල පත්වීමකිනි.

 

 

 

වසර පහකින් ගිණුම් වාර්තාවක්වත් නැති, අඩපණ වූ ආයතනයක් සහ පැරසිටමෝල් පෙත්තක්වත් නොතිබූ රටක්!

 

වෛද්‍ය ගුණසේකර 2022 ජූලි මාසයේදී NMRA ආයතනය භාරගන්නා විට එහි පැවති අභ්‍යන්තර කඩාවැටීම පිළිබඳව ඔහු අධිකරණය හමුවේ කරන හෙළිදරව්ව, මෙරට නියාමන ආයතනවල සැබෑ නිරුවත මනාව පසක් කරයි. 2015 නව පනත සම්මත වී වසර හතක් ගතව තිබුණද, නියමිත ප්‍රමිතියට අනුව කාර්ය මණ්ඩල බඳවා ගැනීම් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අන්තර්ග්‍රහණය කර ගැනීම් සිදු කර නොතිබුණි.

 

“ඉතින් එවැනි ඒ එකම පාර්ලිමේන්තුවට, කෝප් කමිටුවට දිය යුතු වාර්තා සමහර ඒවා අවුරුදු පහකින් දීලා තිබුණේ නැහැ. Annual Accounts. ඒ වාර්තා අවුරුදු පහකින් දීලා තිබුණේ නැහැ. එතකොට මේ ආයතනයේ කෝපරේට් ප්ලෑන් එකක් තිබුණා. ඒක සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. ඊළඟට වාර්ෂික වාර්තා, ඒවත් ඒ විදිහටම අතපසු වෙලා තිබුණා. ඒ ස්වාමීනි තේරුම් යනවා ඇති එවැනි ප්‍රධාන අංග මේ ආයතනය තුළ සිදුකරලා නැත්නම් අතපසු වෙලා තියෙනවා නම්, ඒත් සමගාමීව ආයතනය තුළ එදිනෙදා වැඩ කටයුතුවලට මොකක්ද වෙන්නේ කියලා. ඒ සියල්ල පසුගාමී තත්වයක තමයි තිබුණේ.”

 

එක් පසෙකින් ඖෂධ, වෛද්‍ය උපකරණ, ඔසුසල් සහ නිෂ්පාදන යන සියලුම අංශ ගැටලු ජාලයක පැටලී තිබූ අතර, අනෙක් පසින් මුළු රටම උග්‍ර ඖෂධ හිඟයකින් වෙළී පැවතුණි. අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වූයේ මසකට එක් වරක් පමණක් බැවින්ද, සභාපතිවරයා එදිනෙදා රාජකාරිවලට සෘජුව සම්බන්ධ නොවූ බැවින්ද, අමාත්‍යාංශය නමැති වෘක්ෂයේ ප්‍රධාන අත්තක් බඳු වූ NMRA ආයතනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීම්වලට සහභාගි වෙමින් සම්බන්ධීකරණ වගකීම දැරීමට සිදුවූයේ ප්‍රධාන විධායක නිලධාරියාටය. එම රැස්වීම්වලදී මතුවූ බිහිසුණු යථාර්ථය ඔහු අධිකරණය හමුවේ විස්තර කළේ හද කම්පා කරවන අයුරිනි.

 

“මොකද ඒ අවස්ථාවේ අපි දුටුවා එක අවස්ථාවක් ස්වාමීනි තිබුණා පැනඩෝල්, සරල පැරසිටමෝල් පෙත්තක් ප්‍රයිවට් ෆාමසි ඒ කියන්නේ පුද්ගලික ආයතනයකින් ගැනීම පවා අපහසු අවස්ථා තිබුණා. සමහර දිනවල ගෝස් තිබුණේ නැහැ. ගෝස් බැන්ඩේජ් එකක් තිබුණේ නැහැ. තුවාලවලට මේ අවශ්‍ය කරන මේ බේසික්, මූලික දේවල් තිබුණේ නැහැ. ඉතින් ඒවා ඒ නැති ඖෂධ සහ ඒ උපකරණ පිළිබඳව NMRA ආයතනයටත් වහාම වාර්තා වෙනවා. ඒ වගේම අපෙන් විමසනවා මේවා නැත්තේ ඇයි. මේවා ප්‍රසම්පාදනය කිරීමට NMRA ආයතනය ස්වාමීනි සහභාගි වෙන්නේ නැහැ.”

 

 

 

SPC චෝදනා, වරායේ ගොඩගැසුණු ආධාර සහ මාස හයේ විශේෂ ක්‍රමවේදය (WOR) බිහිවූ පසුබිම

 

ඖෂධ ප්‍රසම්පාදනයට NMRA ආයතනය සෘජුව සම්බන්ධ නොවූවද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) ඇතුළු ප්‍රසම්පාදන ආයතනවලින් NMRA වෙත දිගින් දිගටම චෝදනා එල්ල වූයේ ලියාපදිංචි කටයුතු සහ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික (WOR - Waiver of Registration) නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවටය. ඒ සමඟම විදේශ රාජ්‍යයන්, ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ආසියානු සංවර්ධන බැංකුව (ADB) වැනි ආයතන සහ විවිධ සංවිධාන මගින් ලබාදුන් විශාල ඖෂධ ප්‍රදානයන් නිසි කලට නිෂ්කාශනය කරගත නොහැකිව වරායේ ගොඩගැසී විනාශ වී යාමේ අවදානමක්ද මතුව තිබුණි. එපමණක් නොව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුදල් වෙන් කර තිබූ ජාත්‍යන්තර බැංකු පවා සිය අරමුදල් නැවත ඖෂධ මිලදී ගැනීම සඳහා යොමු කරමින් තිබූ බැවින්, එම හඳුනාගත් ආධාරක ආයතන වෙනුවෙන් මාස හයක කෙටිකාලීන විශේෂ ක්‍රමවේදයක් සැකසීමට NMRA පාලනාධිකාරිය තීරණය කර ඇත.

 

ඒ අනුව 2022 සැප්තැම්බර් 02 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිල ලිපියක් යොමු කරමින් වෛද්‍ය ගුණසේකර මූලික කරුණු දෙකක් සඳහා අමාත්‍යාංශ අනුමැතිය ඉල්ලා තිබේ.

 

ඉන් පළමුවැන්න වූයේ අදාළ ආධාරක ආයතන හරහා ගෙන්වන ලියාපදිංචි නොකළ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා අවශ්‍ය වුවහොත් පමණක් WOR සහතික නිකුත් කිරීමේ විශේෂ ක්‍රමවේදය සංවිධානය කිරීමයි.

දෙවැන්න නම්, එම ආධාර ලබාදෙන ආයතනවලට හැකි උපරිමයෙන් ලියාපදිංචි (Registered) ඖෂධම මිලදී ගැනීමට හැකි වන පරිදි NMRA සතු යාවත්කාලීන කළ ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ දත්ත පද්ධතිය (Most updated database) පාරදෘශ්‍ය ලෙස ඔවුන් සමඟ බෙදා ගැනීමයි.

 

මෙමගින් ඔහු අපේක්ෂා කළේ රෝගී ජනතාවට ඖෂධ සැපයුම් දාමයේ හිඩැසක් (Supply chain gap) ඇති නොවන පරිදි ගුණාත්මක හා ලියාපදිංචි ඖෂධ ලබාගැනීමේ ඉඩකඩ පුළුල් කිරීම බව විත්තිවාචකයෙන් මනාව පැහැදිලි වේ.

 

 

 

සැපයුම්කරුවන් නොදන්නා අභ්‍යන්තර ක්‍රමවේදය සහ අමාත්‍යාංශයේ අනිවාර්ය නිර්දේශය

මෙම නඩුකරයේදී WOR සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට වෛද්‍ය ගුණසේකර ලබා දෙන්නේ ඉතා තාර්කික හා ව්‍යුහාත්මක පිළිතුරකි. කඩිනම් (Fast-track) හෝ සාමාන්‍ය කුමන ක්‍රමවේදයකින් වුවද මූලික නීතිමය පියවර කිසිදු අවස්ථාවක උල්ලංඝනය කර නොමැති බව ඔහු අවධාරණය කරයි. ඕනෑම සැපයුම්කරුවෙකු WOR සහතිකයක් ඉල්ලුම් කරන විට නිල අයදුම්පත හා ලියකියවිලි කට්ටලය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හෝ බලයලත් අතිරේක ලේකම්වරයෙකුගේ නිර්දේශය අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

 

“එතකොට මේ අයදුම් පත සාමාන්‍ය ක්‍රමවේදය අනුව කෙනෙක් මේ ලියාපදිංචියෙන් නිදහස් වීමේ ලිපියක් ලබා ගත්තත් විශේෂ ක්‍රමවේදයෙන් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් ලබා ගත්තත්, කොයි ක්‍රමයෙන් මේක ගත්තත් NMRA හරහා මේ පියවරවල් සැපිරිය යුතුයි. අයදුම් පතක් එන්න ඕනේ, ඒවා නිර්දේශ වෙන්න ඕනේ අමාත්‍යාංශයෙන්, ඊට අමතරව ඒ අදාළ ඉල්ලුම් කරන ලිපි ලේඛන කට්ටල අපට ලැබෙන්න ඕනේ. ඒ ක්‍රම ස්වාමීනි මම කියන්න කැමතියි, මේ ගරු අධිකරණයට ඉන්පසු එහෙම අයදුම් පතක් ලැබුණාම මේ කුමන පාත්වේ එකක, කුමන පාරක මේ සලකා බැලීම් සිද්ධ වෙනවද කියන එක NMRA ආයතනයේ ඇතුළේ කර්තව්‍යයක්, ඉන්ටර්නල් ප්‍රොසෙස් එකක්. ඒක අපි තීරණය කරන එක. ඒ නිසා මේ සැපයුම්කරුවෝ කොයිම අවස්ථාවකවත් දන්නේ නැහැ මේක සලකා බලන්නේ කුමන මාර්ගයෙන්ද කියලා.”

 

එමෙන්ම WOR සහතිකය යනු නැවත නැවත භාවිත කළ හැකි බලපත්‍රයක් නොව, හදිසි අවශ්‍යතාවක් මත නිශ්චිත තොගයකට පමණක් ආනයන හා අපනයන පාලකවරයා වෙත නිකුත් කරන ලිපියකි. එම ලිපිය පදනම් කරගෙන ආනයන අපනයන පාලකවරයා නිකුත් කරන ආනයන බලපත්‍රය  නොමැතිව රේගුව හරහා කිසිදු ඖෂධයක් රට තුළට ගෙන්විය නොහැක. තවද, NMRA වෙත ලැබෙන WOR අයදුම්පත් ‘Medicine Regulatory Unit’ හි පුහුණු නිලධාරීන් විසින් පරීක්ෂා කර, අඩුපාඩු ඇත්නම් සටහන් (Minutes) යොදා පසුව පමණක් ප්‍රධාන විධායක නිලධාරියාගේ අවසන් අත්සන සඳහා යොමු කෙරෙන අතර, ඒවා ඖෂධ ඇගයීම් කමිටුවට සහ අධ්‍යක්ෂ මණ්ඩලයටද ඉදිරිපත් කෙරේ.

 

 

සභාපතිවරයාම ඉදිරිපත් කර, අධ්‍යක්ෂ මණ්ඩලය මාස හයක් පුරා ‘Approved’ ගැසූ ක්‍රමවේදයේ වගකීම කාගේද?

වෛද්‍ය විජිත් ගුණසේකරගේ විත්තිවාචකය තුළින් මතුවන ප්‍රබලතම නීතිමය හා දේශපාලනික ප්‍රශ්නාර්ථය රැඳී ඇත්තේ ඔහුගේ ප්‍රකාශයේ අවසාන භාගයේදීය. 2022 සැප්තැම්බර් 02 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අනුමැතිය ලබා ගැනීමෙන් පසු, ඒ පිළිබඳව මුලින්ම NMRA සභාපතිවරයා දැනුවත් කර, ලිඛිත මාර්ගෝපදේශයක් සකසා 2022 සැප්තැම්බර් 16 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ ආකාරය ඔහු අධිකරණය හමුවේ හෙළි කරන්නේ මෙසේය.

 

“මට මතක විදිහට ස්වාමීනි 2022.09.16 වැනිදා පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ තමයි ඒ පළවෙනි වතාවට ඒ ඉදිරිපත් කළේ. ඒ ඉදිරිපත් කිරීම පවා මා විසින් නෙමෙයි කළේ. අපේ සභාපතිතුමා තමයි ඒ සියල්ල අධ්‍යක්ෂක මණ්ඩලයට පැහැදිලි කරා. ඒ ඉදිරිපත් කරා. ඊට පස්සේ ඒ පිළිබඳව යම් සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට පස්සේ අපි ඒක ක්‍රියාත්මක කරා. එතකොට මේ ක්‍රියාත්මක වීම මම කලින් කිව්වා වගේ කෙටිකාලීනයි. මාස හයකට තමයි අපි මුලින්ම මේ කටයුතු කළේ. ඒ මාස හය කාලය තුළ සෑම මසකම වගේ මේ අනුමත කරන ලැයිස්තු අධ්‍යක්ෂක මණ්ඩලයට අපි ඉදිරිපත් කරා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට ඒ සියලු අවස්ථාවල අපිට ඒවා අනුමත කරලා, ඇප්රූඩ්, නෝටඩ් ඒ ආකාරයෙන් ඒවා අනුමත කිරීමකින් තමයි අපිට නැවත ලැබුණේ. එතකොට කිසිම අවස්ථාවක ස්වාමීනි මට අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඒවා අනුමත නොවේ, එහෙම නැත්නම් කැන්සල්, එහෙම නැත්නම් රීකෝල් කරන්න, ඒ කියන්නේ නැවත කැඳවන්න, එවැනි උපදෙසක් මට අධ්‍යක්ෂක මණ්ඩලයෙන් කවදාවත් ලැබිලා නැහැ.”

 

 

 

“සිහිය නැති කරන බෙහෙත තියෙනවා, සිහිය ගන්න එක නැහැ”

— EOI ප්‍රසම්පාදනය සහ ප්‍රශ්නගත ඖෂධ සඳහා WOR කිසිසේත්ම නිකුත් නොකළ බවට වන හෙළිදරව්ව!

 

 

2022 ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වූ ඖෂධ හිඟයේ බිහිසුණු තරම විත්තිකූඩුවේ සිට විස්තර කරන වෛද්‍ය ගුණසේකර, රෝහල්වල සැත්කම් සඳහා රෝගීන් නිර්වින්දනය කිරීමට ඖෂධ තිබුණද නැවත සිහිය ගැනීමට ඖෂධ නොමැති තත්ත්වයක් පැවති බව නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු තමාට දුරකථනයෙන් අමතා ප්‍රකාශ කළ අයුරු අධිකරණය හමුවේ සිහිපත් කළේය.

 

එම හදිසි තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය EOI ක්‍රමවේදය හරහා ක්‍රියාත්මක කළ හදිසි ප්‍රසම්පාදනයේදී ඖෂධ වර්ග 200කට වැඩි ප්‍රමාණයක් ඇගයීමට ලක්ව, ඉන් 170කට ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ලැබී, වෛද්‍ය සැපයුම් අංශය (MSD) මගින් ගැණුම් ඇණවුම් නිකුත් කෙරුණේ 158කට පමණි. එම පිළිගැනීමේ ලිපිවල පිටපත් NMRA වෙත ලැබුණද, ඒවා ලැබූ පමණින් ප්‍රසම්පාදන නැවැත්වීමේ නීතිමය බලයක් NMRA වෙත නොමැති බවත්, ලියාපදිංචි සැපයුම්කරුවන් හා මූල්‍ය දුෂ්කරතා මත ඉවත් වූවන් හැරුණු විට WOR ඉල්ලුම් කරන්නේ ඉතා සුළු පිරිසක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

“ගරු ස්වාමීනි මේ ආකාරයට බැලුවහම මම ඉස්සෙල්ලා සඳහන් කළා මේ Immunoglobulin කියන බෙහෙත මුලින්ම මේ සංකූලතා ඇවිල්ලා ඒ අපි දැනගත්තු මොහොතේ මේ WOR කියන අංශය, ඒ අංශයේ සේවය කරනවා ඒ අවස්ථාවේ නිශානි ලංකා කියලා ඒ නිලධාරිණිය. දැන් ඒ නිලධාරිණිය ලව්වා තමයි මම සහතික කරගත්තේ මේ මෙවැනි සහතිකයක්, මෙවැනි ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයක් මොනම ආකාරයකින්වත් NMRA ආයතනයෙන් නිකුත් කරලා නැහැ කියලා. එතකොට ඒ බව දැනුවත් වෙලා තමයි අපි අර ඉදිරි කටයුතු කළේ. එතකොට ඒ අනුව Rituximab කියන ඖෂධයටවත්, Immunoglobulin කියන ඖෂධයකටවත් කිසිම ආකාරයකින් NMRA ආයතනයකට මේ සැපයුම්කරු විසින් අයදුම් පතක් ඉදිරිපත් කරලා නැහැ ස්වාමීනි.”

 

එපමණක් නොව, පැමිණිල්ලේ සාක්ෂි විභාගයේදී මතු වූ 2022 දෙසැම්බර් 02 වන දින පෙරවරු 10.38 ට අදාළ සැපයුම්කරු සමඟ පැවති තත්පර 98ක දුරකථන ඇමතුම සම්බන්ධයෙන්ද වෛද්‍ය ගුණසේකර සෘජු පැහැදිලි කිරීමක් කළේය. එම ඇමතුම තමා විසින් සැපයුම්කරුට ලබාගත් එකක් නොව, සැපයුම්කරු විසින් ඔහුගේ නිෂ්පාදනාගාරයේ අනුමැතියේ ප්‍රගතිය විමසීම සඳහා තමා වෙත ලබා දුන් ඇමතුමක් පමණක් බව ඔහු අධිකරණයට අවධාරණය කළේය.

 

 

 

වසර 25ක් ගැසූ පෙනිසිලින් එන්නත පවා එක් දිනකදී අසාත්මික විය හැකියි

— අතුරු ආබාධ කළමනාකරණයේ විද්‍යාත්මක යථාර්ථය

 

2023 සැප්තැම්බර් 20 වන දින වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) ප්‍රධාන ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා පවත්වාගෙන යන ජාතික මට්ටමේ සායන ජාලය හරහා මාතලේ සහ මහනුවර රෝහල්වල රෝගීන්ට ඇති වූ සංකූලතා පිළිබඳව තමා දැනුවත් වූ ආකාරය ඔහු විස්තර කළේය. ඕනෑම ඖෂධයක අතුරු ආබාධ යනු රෝගියාට ආවේණික සාධක මත පදනම් වන පූර්වකථනය කළ නොහැකි තත්ත්වයක් බව පෙන්වා දුන් ඔහු, වසර 25ක් 30ක් පුරා අඛණ්ඩව පෙනිසිලින් ඖෂධය භාවිත කළ රෝගියෙකුට වුවද එක් දිනකදී හදිසි ආසාත්මිකතාවක් ඇති විය හැකි බව උදාහරණ සහිතව පැහැදිලි කළේය. එබැවින් නිසි විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයකින් හා SAFRESC කමිටුවේ විමර්ශනයකින් තොරව හදිසියේ ඖෂධයක් නැවැත්වුවහොත් සැපයුම් දාමය බිඳවැටී රෝගීන් විශාල පිරිසකට ජීවිත පවා අහිමි විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

 

“ඒ නිසා NMRA එක, මේ SAFRESC එක, ඒ වගේම ෆාමකොවිජිලන්ස් අංශය ඉතාම පරිස්සම් බෙහෙතක් නවත්වනවා කියන එකත් අපිට විශාල තීරණයක්. ඒ නිසා ඒකෙන් වෙන අගතිය අපි ඒ වෙලාවේ දකින රියැක්ෂන් එකට වඩා හුඟක් වැඩි වෙන්න පුළුවන් ස්වාමීනි. එසේ බෙහෙතක් නැවැත්වුවහම අනිවාර්යයෙන්ම අපේ සප්ලයි චේන් එක නවතිනවා. එතකොට මේ සප්ලයි චේන් එකේ ලොකු ගැප් එකක් එන්න පුළුවන්, ඉමීඩියට් ඒ කියන්නේ වහාම අපිට ඒ රිප්ලේස්මන්ට් එකක් සපයා ගන්න බැරි වෙන්න පුළුවන්.”

 

 

 

“කිසිම අදාළත්වයක් නැති කාරණාවකට මගේ රැකියාවත් අහිමි වී විශාල සමාජ අපවාදයකට ලක්වුණා”

— විත්තිකූඩුවේ සිට කළ අවසන් ආයාචනය

 

ඖෂධ නියාමන විද්‍යාව (Pharmaceutical Regulatory Science) යනු මෙරට ඉතා සුළු පිරිසක් පමණක් දන්නා සංකීර්ණ විද්‍යාත්මක විෂයක් බැවින්, තුලනාත්මක මනසකින් ගන්නා තාක්ෂණික තීන්දු මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා වැරදි ලෙස අර්ථකථනය විය හැකි බව වෛද්‍ය ගුණසේකර අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. සිය විත්තිවාචකය අවසන් කරමින් ඔහු සිය පෞද්ගලික ජීවිතයට මුහුණ දීමට සිදු වූ ඛේදවාචකය හද කම්පා කරවන අයුරින් විවර කළේය.

 

“ඊට අමතරව ස්වාමීනි, මගේ පෞද්ගලික ජීවිතය ගැනත් යමක් පැවසුවොත් ඉතින් මේ සිද්ධිය නිසා මමත් ඉතාමත්ම මම disturbed. ඒ කියන්නේ ඉතින් මගේ සාමාන්‍ය කටයුතු, මගේ රැකියාව අහිමි වුණා. විශාල සමාජ අපවාදයකටත් ලක්වුණා. ඉතින් මම ස්වාමීනි හිතනවා ඒක ඒකත් අපරාධයක් කියලා. මොකද එසේ කිසිම relevance එකක්, කිසිම හේතුවක් නැතුව කෙනෙකුට එවැනි දේකට මූණදෙන්න සිදුවීම ඉතාමත්ම සෝචනීය තත්ත්වයක් කියලයි මගේ අදහස ස්වාමීනි. මොකද මෙම සිද්ධිය ගත්තොත් දැන් මෙම මේ නඩුවේ සාක්ෂි කැඳවීමත් බොහෝ දුරට අවසන් වෙලත් තියෙනවා. දැන් මේ ක්‍රියාවලිය ගත්තොත් NMRA ආයතනය හෝ මා පෞද්ගලිකව හෝ ස්වාමීනි කිසිම procurement එකකට සම්බන්ධ වෙලා නැහැ. කිසිම ආකාරයකින් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලියකට සම්බන්ධයක් නැහැ. කිසිම ආකාරයේ evaluation එහෙකට ඒ කියන්නේ ඇගයීමකට සම්බන්ධ වෙලා නැහැ ස්වාමීනි.”

 

 

ප්‍රශ්නගත Rituximab හා Immunoglobulin යන ඖෂධ දෙකටම කිසිදු අයදුම්පතක්, ලිපි කට්ටලයක් හෝ අමාත්‍යාංශ නිර්දේශයක් NMRA වෙත ලැබී නොමැති බවත්, අදාළ ව්‍යාජ WOR ලේඛන කොහේ නිෂ්පාදනය කළේද යන්න පිළිබඳව තමා හෝ සිය කාර්ය මණ්ඩලය කිසිවක් නොදන්නා බවත් අවධාරණය කළ ඔහු, කිසිදු අදාළත්වයක් නැති මෙම කාරණය සම්බන්ධයෙන් පැහැදිලි මනසකින් බලා අධිචෝදනා පත්‍රයේ සියලු චෝදනාවලින් තමා නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටියේය.

 

 

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන්ගේ ලිඛිත නිර්දේශ මත පැමිණි අයදුම්පත්, NMRA සභාපතිවරයා විසින්ම අධ්‍යක්ෂ මණ්ඩලයට පැහැදිලි කර අනුමත කරගත් ක්‍රමවේදයක් යටතේ, මාස හයක් පුරා සෑම මසකම අධ්‍යක්ෂ මණ්ඩලයේ ‘Approved’ සහ ‘Noted’ මුද්‍රාව සහිතව ක්‍රියාත්මක වූයේ නම්, එම ආයතනික තීන්දුවල සමස්ත දණ්ඩනය හුදෙක් ප්‍රධාන විධායක නිලධාරියා මත පමණක් පැටවිය හැකිද?
  • ඇත්ත වශයෙන්ම එවැනි සංකූලතා ඕනෑම ඖෂධයක් සම්බන්ධයෙන් මෙතෙක් සිදුව නැද්ද? මෙතැන සිදුවීමකට එහා ගිය බලය අරභයා මුදල් යොදවා මාධ්‍ය කතිකාවක් ගොඩනගා සකස් කළ මහා වරදකාරී සිදුවීමක් මවා පෑමක්ද?
  • එසේත් නැත්නම් අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේ, ඉදිරිපත් කිරීමේ සිට අදාළ ඖෂධ නිෂ්පාදකයාගේ කර්මාන්ත ශාලාව තෙක් මැදිහත් වූ වෙනත් බලවත් පාර්ශ්වයක අදිසි හස්තය සැඟවීමේ මෙහෙයුමක ප්‍රතිඵලයක්ද? 
  • නැත්නම් ඒ කාරණා සියල්ලම ඇතුලත් ව්‍යාපෘතියක් ද?

 

 

රටම බංකොලොත් වී රෝහල්වල ගෝස් කැබැල්ලක්වත් නොතිබූ යුගයක රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ සිට පහළටම ක්‍රියාත්මක වූ තීරණ දාමයක එක් පුරුකක් පමණක් වූ නිලධාරියෙකු දඩමීමා කර ගැනීමට ඉඩ නොතබා, සැබෑ වගඋත්තරකරුවන් හා පද්ධතිමය වරද නිවැරදිව විනිශ්චය කිරීම නීතියේ ආධිපත්‍යය අගයන සමාජයක අපේක්ෂාවයි.

 

 

(නීතිමය සටහන:-

මෙම ලිපිය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන HC(PTB) 02/01/2025 දරන නඩුවේදී 2026.11.03 වන දින 12 වන චූදිත විසින් ඉදිරිපත් කරන ලද නිල අධිකරණ විත්තිවාචක සටහන් පදනම් කරගනිමින් මහජන දැනගැනීම උදෙසා සකස් කරන ලද්දක් වන අතර, අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින කරුණු සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගරු අධිකරණය සතු වේ.)

 

නවතම ලිපි