SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පාරිභෝගික ආහාර පනත උල්ලංඝනය කිරීමේ

චෝදනා 28කටම කොන්දේසි විරහිතව වරද පිළිගෙන රුපියල් 84,000ක දඩ මුදලක් ගෙවූ "Bing Chun" සමාගම, දැන් නිල මහජන නිවේදනයක් නිකුත් කරමින් තම කීර්තිනාමය රැකගැනීමේ හාස්‍යජනක සහ බරපතල උත්සාහයක නිරත වී සිටී. අධිකරණ ශාලාව තුළදී නීතිය ඉදිරියේ හිස නමා තම වරද පිළිගත් ආයතනයක්, අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍ය නිවේදන හරහා එම වරද ‘සාමාන්‍යකරණය’ කිරීමට සහ අධිකරණ තීන්දුවේ බරපතලකම ලඝු කිරීමට උත්සාහ කිරීම පාරිභෝගික ජනතාවගේ බුද්ධියට කරන නිගරුවකි.

 

 

 

භාණ්ඩයක ප්‍රමිතිය සහ ආහාරයක ප්‍රමිතිය යනු දෙකකි

යම් ආයතනයක් අලෙවි කරන්නේ ඇඳුමක්, පාවහන් යුවළක් හෝ වෙනත් එදිනෙදා පරිහරණය කරන භෞතික භාණ්ඩයක් නම්, එහි නිෂ්පාදන පිරිවිතරයන්හි ඇති වූ තාක්ෂණික දෝෂයක් ගැන තර්ක කරමින් ආයතනයේ කීර්තිනාමය රැකගැනීමට උත්සාහ කිරීම තේරුම් ගත හැකිය. නමුත් Bing Chun අලෙවි කරන්නේ මිනිස් සිරුරට සෘජුවම ඇතුළු වන ආහාරයකි. ඊටත් වඩා එය කොළඹ නගරයේ කුඩා දරුවන්, පාසල් සිසුන් සහ තරුණ පරපුර දැඩි ලෙස ආකර්ෂණය වන ‘අයිස්ක්‍රීම්’ වැනි රසකැවිලි විශේෂයකි.

 

 

 

ආහාරයක් සම්බන්ධයෙන් ‘ප්‍රමිතිය’ යනු කීර්තිනාමය රැකගැනීම උදෙසා වචන හරඹයකින් සාධාරණීකරණය කළ හැකි හෝ අමතර කාරණයක් සේ බැහැර කළ හැකි දෙයක් නොවේ. එය පාරිභෝගිකයාගේ ජීවිතය හා බැඳුණු අත්‍යවශ්‍යම මූලික කොන්දේසියයි. Bing Chun වෙනුවෙන් පෙනී සිටිමින් නිවේදන නිකුත් කරන ආයතනය මෙන්ම ඒ වෙනුවෙන් ප්‍රචාරණයන් සිදුකරන ආයතනවලටද අමතකව ගිය කරුණ එයය.

 

 Bin_chun_3_jpg.jpeg

 

 

‘සංයුති ප්‍රමිතිය’ පිළිබඳ Bing Chun ගෙනෙන බොළඳ තර්කය

සමාගම සිය නිවේදනයේ පළමු කරුණ මගින් අවධාරණය කිරීමට උත්සාහ කරන්නේ තම Vanilla සහ Chocolate අයිස්ක්‍රීම්වල ගැටලුව වූයේ "අවම මේද ප්‍රමාණය සහ සමස්ත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය (Total Solids) සම්බන්ධ නීතිමය අවශ්‍යතා" පමණක් බවත්, ඒවා "විෂ සහිත හෝ මිනිස් පරිභෝජනයට නුසුදුසු" බවට රස පරීක්ෂක වාර්තාවේ සඳහන් නොවන බවත්ය. මෙම තර්කය පිටුපස ඇති සැබෑ වංචාව පාරිභෝගිකයා තේරුම් ගත යුතුය.

 

 

අයිස්ක්‍රීම් නාමය අවභාවිත කිරීම:

ශ්‍රී ලංකාවේ ආහාර පනත යටතේ යම් නිෂ්පාදනයක් ‘අයිස්ක්‍රීම්’ ලෙස නම් කර පාරිභෝගිකයාට අලෙවි කිරීමට නම්, එහි තිබිය යුතු අවම කිරි මේද සහ ඝන ද්‍රව්‍ය ප්‍රමාණයක් නීතියෙන් නියම කර ඇත. එම සංයුතිය නොමැති නම් එය තවදුරටත් ‘අයිස්ක්‍රීම්’ එකක් නොවේ.

 

 

පාරිභෝගිකයා මුළා කිරීම:

නියමිත කිරි මේදය සහ ඝන ද්‍රව්‍ය නොමැතිව, හුදෙක් ජලය, සීනි, කෘත්‍රිම රසකාරක සහ ඝනකාරක (Thickeners) මිශ්‍ර කර සාදන ලද බාල නිෂ්පාදනයක් "අයිස්ක්‍රීම්" ලෙස හඳුන්වමින් වැඩි මිලට දරුවන්ට අලෙවි කිරීම සෘජු පාරිභෝගික වංචාවකි.

 

 

සෞඛ්‍ය හා පෝෂණ අවදානම:

වස විස මුසු නොවූ පමණින් ප්‍රමිතියෙන් තොර ආහාරයක් ශරීරයට හිතකර වන්නේ නැත. කිරි ආහාරයක් යැයි සිතා දෙමාපියන් තම දරුවන්ට ලබා දෙන්නේ නිසි පෝෂණ සංයුතියක් නැති කෘත්‍රිම මිශ්‍රණයක් නම්, එය දරුවන්ගේ සෞඛ්‍යය සමඟ කරන සෙල්ලමක් නොවන්නේ කෙසේද?

 

 

 Bin_chun_2_jpg.jpeg

 

අධිකරණයේදී නිහඬ වී මාධ්‍යයට නීතිය ඉගැන්වීම

Bing Chun සමාගම සිය මාධ්‍ය නිවේදනය හරහා ගොඩනඟන මෙම තර්කය සැබෑවක් නම්, ඔවුන් එය ඉදිරිපත් කළ යුතුව තිබුණේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේය.

 

 

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගොනු කළ චෝදනා 28ටම අධිකරණය ඉදිරියේ "වරදකරු" බව පිළිගෙන දඩ ගෙවා පැමිණි පසු, මාධ්‍ය නිවේදන නිකුත් කරමින් "අපේ නිෂ්පාදන සෞඛ්‍යයට අහිතකර නැත" යැයි කීම අධිකරණ තීන්දුව පවා හෑල්ලුවට ලක් කිරීමකි. චෝදනා එකක් හෝ දෙකක් නොව, චෝදනා 28ක් යටතේ වරදකරු වීමෙන්ම පෙනී යන්නේ මෙය අත්වැරදීමක් නොව දැනුවත්ව සිදු කළ ජාවාරමක් බවයි.

 

 

 

වැටලීමෙන් පසු සිහිවූ ‘තත්ත්ව පරීක්ෂණ’

සමාගමේ නිවේදනයේ 2, 3 සහ 4 වගන්ති හරහා ඔවුන් පවසන්නේ දැන් තම නිෂ්පාදනවල සංයුතිය, ගුණාත්මක පිරිවිතර සහ නියාමන අවශ්‍යතා "නැවත සමාලෝචනය කරමින් සහ පරීක්ෂණ සඳහා සූදානම් කරමින් සිටින" බවයි. මෙය ඔවුන්ගේ නොසැලකිලිමත්කම තවදුරටත් තහවුරු කරන ප්‍රකාශයකි.

 

 

විදේශීය සන්නාමයක් ලෙස මෙරටට පැමිණ කොම්පඤ්ඤවීදිය වැනි ජනාකීර්ණ ප්‍රදේශවල අලෙවිසැල් විවෘත කර දහස් ගණනක් ජනතාවට ආහාර අලෙවි කිරීමට පෙර, මෙරට ආහාර පනතේ ප්‍රමිතීන්ට තම නිෂ්පාදන අනුකූලදැයි පරීක්ෂා කිරීමට ඔවුන්ට වගකීමක් නොතිබුණේද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හදිසි වැටලීමක් සිදු කර නීතිය ක්‍රියාත්මක නොකළේ නම්, Bing Chun සමාගම අදටත් මෙම ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන කිසිදු සමාලෝචනයකින් තොරවම මෙරට දරුවන්ට අලෙවි කරනු ඇත.

 

 

 

මාධ්‍ය බියවැද්දීමේ උත්සාහය

නිවේදනයේ 5 වන කරුණ යටතේ සමාගමේ කීර්තිනාමයට හානි වන ප්‍රකාශ සම්බන්ධයෙන් "නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය" පිළිබඳව සියුම් තර්ජනයක්ද එල්ල කර තිබේ. නාගරික රස පරීක්ෂක වාර්තාවක් මත පදනම්ව, විවෘත අධිකරණයේදී වරද පිළිගත් නඩු තීන්දුවක් මහජනතාවගේ දැනගැනීම පිණිස වාර්තා කිරීම අපහාසයක් වන්නේ කෙසේද? ආහාර ප්‍රමිතිය කඩකර අධිකරණයෙන් වරදකරු වූ ආයතනයක්, එම සත්‍යය හෙළි කරන මාධ්‍ය ආයතනවලට නීතිය මතක් කර දීමට යාම උත්ප්‍රාසජනකය.

 

 

ආකර්ෂණීය වෙළඳ ප්‍රචාරණයන් සහ ලස්සනට සැකසූ මාධ්‍ය නිවේදන හරහා බාල ආහාරවලට ‘ප්‍රමිති සහතික’ ලබා දිය නොහැක. තම වරද නිහතමානීව පිළිගෙන නිවැරදි වනවා වෙනුවට (අධිකරණය හමුවේ චෝදනා 28කට වරද පිළිගත්තාටත් පසු සහ දඩ ගෙව්වාටත් පසු), තාක්ෂණික වචනවලට මුවා වී පාරිභෝගිකයා තවදුරටත් මුළා කිරීමට Bing Chun ගන්නා මෙම උත්සාහය හමුවේ පාරිභෝගික ජනතාව මෙන්ම නියාමන බලධාරීන්ද මීට වඩා දැඩි අවධානයකින් පසුවිය යුතුය.

 

 

#SamaaraParanavithana

නවතම ලිපි