හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම වැල්වැටිතුරේ නගර සභාවේ හිටපු සභාපතිවරයා ද වන
එම්. කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වී තිබේ. කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (14) රාත්‍රියේ ඔහු මියයන විට 69 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා දේශපාලනය තුළ, විශේෂයෙන්ම උතුරු - දකුණු දේශපාලන සංවාදයේ නිරන්තරයෙන් කතාබහට ලක්වූ සුවිශේෂී මෙන්ම දැඩි මතධාරී චරිතයක් ලෙස ඔහුව හැඳින්විය හැකිය.
ශිවාජිලිංගම් ගැන දකුණේ සමාජය තුළ වඩාත්ම ප්‍රචලිත වූ කාරණයක් වන්නේ ඔහු "එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මාමා" යන්නයි. එහෙත් එහි නිවැරදි තත්ත්වය වන්නේ, ඔහු ප්රභාකරන්ගේ සෘජු මාමා කෙනෙකු නොවන බවයි.
ඔවුන් දෙදෙනාම යාපනයේ වැල්වැටිතුරේ ග්‍රාමයේ උපන් දුරස්ථ ඥාතීන්ය. දකුණේ මාධ්‍ය විසින් බොහෝ විට මෙම සබඳතාව අතිශයෝක්තියට නංවා "මාමා" ලෙස හැඳින්වුවද, ඔහු ප්රභාකරන්ගේ පවුලට දුරින් නෑකම් කියන අයෙකි.
කෙසේ වෙතත් තම ගම් ප්‍රදේශය සහ එම ඥාතිත්වය පිළිබඳව ඔහු කිසිවිටෙකත් ප්‍රසිද්ධියේ පසුතැවිලි නොවූ අතර, ඇතැම් විට එය සිය දේශපාලන අනන්‍යතාවක් ලෙසද භාවිත කළේය.
ටෙලෝ සංවිධානයෙන් පාර්ලිමේන්තුවට
ටෙලෝ (TELO) සංවිධානය හරහා දේශපාලනයට පිවිසි ඔහු, 2001 සහ 2004 මහ මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
පසුව 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ ඔහු, සිය උපන් ගම වූ වැල්වැටිතුරේ නගර සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. ප්‍රධාන දෙමළ දේශපාලන ප්රවාහයෙන් ස්වාධීනව, 2010 සහ 2019 ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයෙකු ලෙස ද ඔහු ඉදිරිපත් විය.
ශිවාජිලිංගම් ගේ දේශපාලන භාවිතාව දෙමළ සමාජය තුළ පවා මිශ්‍ර ප්‍රතිචාර දිනාගත් එකකි.
රජයේ සහ ආරක්ෂක අංශවල දැඩි බලපෑම් මධ්‍යයේ වුවද, මුල්ලිවයික්කාල් යුද සැමරුම් මෙන්ම මියගිය දෙමළ ජනතාව අනුස්මරණය කිරීම වෙනුවෙන් ඔහු බියකින් තොරව පෙරමුණ ගත්තේය.
උතුරේ ජනතාවගේ ඉඩම් ගැටලු, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්න සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරය දක්වා හඬ ගෙන යාමට ද ඔහු නිරන්තරයෙන් උත්සාහ කළේය. සාමාන්‍ය ජනතාව සමග ගැවසුණු, පහසුවෙන් ප්‍රවේශ විය හැකි බිම් මට්ටමේ නායකයෙකු ලෙස ඔහු ජනතා ප්‍රසාදය දිනාගෙන සිටියේය.
එල්ල වූ විවේචන සහ චෝදනා
මෙවැනි ධනාත්මක මැදිහත්වීම් තිබුණද, ඔහුට එල්ල වූ විවේචන ද සුළුපටු නැත. ඔහු විසින් වරින් වර සිදු කරන ලද දැඩි ජාතිවාදී සහ ප්රකෝපකාරී ප්‍රකාශ හේතුවෙන් උතුර සහ දකුණ අතර සංහිඳියා ක්‍රියාවලියට දැඩි බාධා එල්ල විය.
ප්රභාකරන්ගේ ප්‍රතිරූපය සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ අතීතය හුදෙක් තම දේශපාලන පැවැත්ම සහ ඡන්ද පදනම වෙනුවෙන් යොදාගන්නා බවට දෙමළ දේශපාලන විචාරකයින්ගෙන් පවා ඔහුට දැඩි චෝදනා එල්ල වී තිබිණි.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ (TNA) ප්‍රධාන තීරණවලට එරෙහිව යමින් ස්වාධීනව ජනාධිපතිවරණවලට තරග කිරීම හරහා ඔහු දෙමළ ජනතාවගේ ඡන්ද පදනම බෙදා හැරීමට කටයුතු කළ බවට ද මධ්‍යස්ථ දෙමළ නායකයින්ගේ විවේචනයට ලක් විය.
කෙසේ වෙතත්, එම්. කේ. ශිවාජිලිංගම් යනු ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ආන්දෝලනාත්මක යුගයක් නියෝජනය කළ නොමැකෙන සලකුණකි.
ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ ගම් පියස වන යාපනය, වැල්වැටිතුරේහිදී සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

