SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ අයවැය යෝජනා ඉදිරිපත් වී පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන් ලාෆ්ස් ගෑස්

සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල දැවැන්ත ලෙස ඉහළ දැමීම මෙරට දේශපාලන හා ආර්ථික කරළිය උණුසුම් කර තිබේ. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා රුපියල් 6,740ක් දක්වාත්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමා රුපියල් 2,720ක් දක්වාත් ඉහළ නැංවීමට සමාගම ගත් හදිසි තීරණය, හුදු වෙළෙඳපොළ මිල සංශෝධනයකට එහා ගිය දේශපාලන කුමන්ත්‍රණයක් බවට කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  පාර්ලිමේන්තුවේදී ප්‍රබල චෝදනාවක් එල්ල කළේය.

 

අයවැය හරහා ජනතාවට ලැබුණු සහන පිළිබඳව සමාජය තුළ ඇති වූ සතුට සහ ප්‍රසාදය මකා දමා, විපක්ෂයට දේශපාලන සටන් පාඨයක් නිර්මාණය කර දීමේ යටි අරමුණින් ලාෆ්ස් සමාගම මෙම මිල වැඩි කිරීම සිදු කළ බව අමාත්‍යවරයාගේ ප්‍රධාන තර්කයයි.

 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වරප්‍රසාද සහ බදු පහසුකම් ලබාගෙන ඇති මෙම සමාගම දේශීය වෙළෙඳපොළ තුළ ඊට පටහැනිව වෙනත් ක්‍රමවේදයකට කටයුතු කරන බවත්, සැබෑ අර්බුදය නිර්මාණය වී ඇත්තේ එතැන බවත් ඔහු පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේය. මෙරට සමස්ත ගෑස් වෙළෙඳපොළෙන් සියයට අනූවක්ම නියෝජනය කරන රාජ්‍ය ලිට්‍රෝ සමාගම මාසිකව සිලින්ඩර් ලක්ෂ විස්සක් වෙළෙඳපොළට නිකුත් කරද්දී, ලාෆ්ස් සමාගම සපයන්නේ සිලින්ඩර් ලක්ෂ තුනක් පමණක් බැවින් රට තුළ කිසිදු ගෑස් අර්බුදයක් නොමැති බව අමාත්‍යවරයා කියා සිටියේය. කලක සිට රුපියල් බිලියන දහයක පමණ පාඩුවක් ලබමින් සිටින පෞද්ගලික සමාගමක අභ්‍යන්තර කළමනාකරණ ගැටලුවක් ජාතික ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බව ඔහුගේ ස්ථාවරය වී තිබේ.

 

 

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ මෙම දේශපාලන චෝදනාවට ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය ප්‍රතිචාර දක්වන්නේ හුදෙක් ආර්ථික හා මූල්‍යමය දත්ත පදනම් කරගනිමිනි. පවතින ජාත්‍යන්තර යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල තීරණය කරන සෞදි අරාම්කෝ මිල දර්ශකය ඉහළ යාම නිසා කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයකට රුපියල් 706ක අමතර පිරිවැයක් එක්ව ඇති බව සමාගම පෙන්වා දෙයි. ඊට අමතරව නැව් හා රක්ෂණ ගාස්තු ඉහළ යාමෙන් රුපියල් 417ක් ද, විනිමය අනුපාත වෙනස්වීම නිසා රුපියල් 299ක් ද, සියයට දහඅටක වැට් (VAT) බද්ද ලෙස රුපියල් 256ක් සහ ණයවර ලිපි හා බැංකු පොලී පිරිවැය ලෙස රුපියල් 90ක් ද එකතු වූ විට සිලින්ඩරයක සමස්ත අමතර පිරිවැය රුපියල් 1,769ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස කොටස් හිමියන්ට සහ බැංකු පද්ධතියට වගකිව යුතු බැවින්, තවදුරටත් පාඩු ලබමින් ගෑස් අලෙවි කළ නොහැකි නිසා හුදෙක් පිරිවැය පියවා ගැනීමට පමණක් මෙම මිල සංශෝධනය කළ බවත්, එයින් කිසිදු අමතර ලාභයක් අපේක්ෂා නොකරන බවත් සමාගම අවධාරණය කරයි.

 

 

මෙම අර්බුදය විචාරාත්මකව කිරා මැන බැලීමේදී, අමාත්‍යවරයාගේ චෝදනාව තුළ සාධාරණ සැකයක් මෙන්ම දේශපාලනිකව වගකීමෙන් මිදීමේ උත්සාහයක් ද එකවර දැකගත හැකිය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල තීරණය වන සෞදි අරාම්කෝ මිල ගණන් ප්‍රකාශයට පත් වන්නේ සෑම මසකම ආරම්භයේදී වුවත්, මසක මැද භාගයේ—එනම් අයවැය ඉදිරිපත් කළ රාත්‍රියේම—මෙම දැවැන්ත මිල වැඩි කිරීම ප්‍රකාශයට පත් කිරීම දේශපාලනික වශයෙන් බලවත් සැකයක් උපදවයි. කෙසේ වෙතත්, මෙහිදී මතු වන ප්‍රධානම හා විවාදාත්මක කාරණය වන්නේ අමාත්‍යවරයා සිය චෝදනාව යොමු කරන ඉලක්කයයි.

 

 

 

වත්මන් ලාෆ්ස් සමාගමේ (LAUGFS Holdings) හිමිකාරිත්ව ව්‍යුහය දෙස බැලීමේදී, 2025 සැප්තැම්බර් මාසයේ සිට එහි ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනෙකු සිටියි. නිර්මාතෘ ආචාර්ය ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය ගෙන් 10.4%ක් සහ හිටපු අධ්‍යක්ෂ යූ. කේ. තිලක් ද සිල්වා ගෙන් 39.6%ක් ලෙස මිලදී ගනිමින්, සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා  සිය 'වැලිබල් ත්‍රී (පෞද්ගලික) සමාගම' හරහා ලාෆ්ස් සමාගමේ 50%ක කොටස් හිමිකාරිත්වයක් මේ වන විට දරයි. ඒ අනුව ආචාර්ය වෑගපිටිය  සහ ධම්මික පෙරේරා  50:50 අනුපාතයට සමාන කොටස් හිමිකරුවන් ලෙස ලාෆ්ස් සමූහයේ පාලනය මෙහෙයවති.

 

 

ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය සභාපතිලාෆ්ස් හෝල්ඩින්ග්ස් ජීවිත කතාව.. රස්සාවක්  හොයාගෙන ඉන්ටවීව් 250කට විතර ගියා... ඒ හැමතැනකින්ම මාව කැපුණා... මාව ...

 

 

එවැනි පසුබිමක් තුළ, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී "දේශපාලන කුමන්ත්‍රණයක්" පිළිබඳව චෝදනා කරද්දී, ආණ්ඩුව සමග සමීප සබඳතාවක් පවත්වන ධම්මික පෙරේරා ගේ නම හිතාමතාම මඟහැරියා ද, නැතහොත් වත්මන් හිමිකාරිත්වය පිළිබඳ නිසි දත්ත නොදැනුවත්ව මෙම ප්‍රකාශය කළේ ද යන්න බරපතළ ප්‍රශ්නයකි.

 

 

ලාෆ්ස් යනු තවදුරටත් වෑගපිටිය ගේ පමණක් තනි බූදලයක් නොවේ; එය වත්මන් ආණ්ඩුවටද හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ සම-හිමිකාරිත්වයක් සහිත ආයතනයකි. අමාත්‍යවරයාගේ විවේචනය ධම්මික පෙරේරා ට අනුමෝදන් නොවන්නේ මන්දැයි යන්න දේශපාලන විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති කරුණකි.

 

 

 

සමාගම ඉදිරිපත් කරන නිශ්චිත බදු, නැව් ගාස්තු සහ ආනයන පිරිවැය දත්ත හුදු කුමන්ත්‍රණයක් ලෙස පමණක් හඳුන්වමින් බැහැර කිරීම ප්‍රායෝගික ආර්ථික විද්‍යාවට පටහැනිය. මසකට සිලින්ඩර් ලක්ෂ විස්සක් ගෙන්වන ලිට්‍රෝ සමාගමට ලැබෙන විශාල තොග ආනයන පිරිවැය වාසිය සිලින්ඩර් ලක්ෂ තුනක් පමණක් අලෙවි කරන සමාගමකට හිමි නොවන බව සැබෑවකි. එහෙත් මෙය සිලින්ඩර් ලක්ෂ තුනක ප්‍රශ්නයක් පමණක් බව පවසමින් ගැටලුව සුළු කොට තැකීම, කහ පැහැති සිලින්ඩර භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත ගෘහස්ථ පාරිභෝගිකයන්ට කරන බලවත් අසාධාරණයකි. ලිට්‍රෝ සමාගම වෙළෙඳපොළට නව හිස් සිලින්ඩර නිකුත් කිරීම සීමා කර ඇති බැවින්, ලාෆ්ස් පාරිභෝගිකයාට වෙනත් විකල්පයක් නොමැතිව මෙම අධික මිල ගෙවීමට සිදුව තිබේ.

 

 

ලාෆ්ස් සමාගම ආයෝජන මණ්ඩල නීති උල්ලංඝනය කරන්නේ නම්, හුදෙක් අර්ධ සත්‍ය කරුණු මත පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමෙන් පමණක් නොනැවතී, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම රජයේ වගකීමකි. හඳුන්නෙත්ති ඇමතිවරයා සෘජුවම ඊට එරෙහිව අදහස් දැක්වීම නිහඩව සිටි පක්ෂ විපක්ෂ නියෝජතියින්ට වඩා අගය කළ යුත්තකි. එමෙන්ම, සමාගමේ හිමිකාරිත්වයේ සිටින ආණ්ඩුවට හිතවත් පාර්ශ්වයන්ටද මෙම චෝදනාවල වගකීම සමසේ බෙදී යා යුතු බව පිළිගැනීමට තරම් රජය විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුය.

 

 

අවසාන වශයෙන්, සිලින්ඩරයේ වර්ණය කුමක් වුවත් පාරිභෝගිකයාට සාධාරණ මිලකට ගෑස් ලබාගත හැකි පොදු වැඩපිළිවෙළක් හෝ විනිවිද පෙනෙන මිල සූත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම වත්මන් රජය සතු පැහැර හැරිය නොහැකි වගකීමකි.

 

 

 

නවතම ලිපි