SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දශක තුනකට පසුව දකුණු ආසියානු පාපන්දු කුසලානය දිනාගැනීමට තිබූ

ශ්‍රී ලාංකික අපේක්ෂාවන්, බංග්ලාදේශය හමුවේ ගෝල 4-0ක අන්ත පරාජයක් ලබමින් පසුගියදා බොඳ වී ගියේය. මෙම පරාජයෙන් පසු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් ජාතියෙන් සමාව අයදිමින් ප්‍රකාශ නිකුත් කර ඇත.

 

 

2026 නොවැම්බර් 12 වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින්  සභාපතිවරයා ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බලාපොරොත්තුවෙන් සිටි ජනතාවගෙන් සහ පාපන්දු ලෝලීන්ගෙන් සිය අවංක කනගාටුව පළ කර තිබේ.

 

905982120_1039169372525097_1302048455953183040_n.jpeg

 

 

කෙසේ වෙතත්, ක්‍රීඩා පරිපාලකයෙකු පරාජයක වගකීම භාරගැනීම මතුපිටින් බලන කල 'වීරෝදාර' ක්‍රියාවක් ලෙස පෙනුනද, මෙරට පාපන්දු ඉතිහාසය සහ පරිපාලන ව්‍යුහය දෙස ගැඹුරින් බැලීමේදී මෙය හුදෙක් සිය අසාර්ථකත්වය සහ පරිපාලන දුර්වලතා වසා ගැනීමට දියත් කළ තවත් එක් 'මාධ්‍ය නාටකයක්' පමණක් බව පැහැදිලි වේ.

 

මෙම සමාව ඉල්ලීම සහ ඒ පිටුපස ඇති සැබෑ යථාර්ථය පහත කරුණු ඔස්සේ විචාරයට ලක් කළ හැකිය.

 

 

ශම්මි සිල්වාට එක හැන්දකුත්, ජස්වර් උමාර්ට තව හැන්දකුත් ඇයි?

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මතුවන ප්‍රධානතම සහ සාධාරණම පැනය වන්නේ මෙයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන දුර්වලතා, මූල්‍ය අක්‍රමිකතා සහ කණ්ඩායමේ පසුබෑම හේතුවෙන් දැඩි ජනතා විරෝධයක් සහ දේශපාලන මැදිහත්වීමක් හරහා ශම්මි සිල්වා ඇතුළු පරිපාලනයට දැඩි පීඩනයක් එල්ල කිරීමටත්, ඔවුන්ව ඉවත් කිරීමටත් ක්‍රියාමාර්ග ගැනුණි. එහෙත්, ඊට නොදෙවෙනි චෝදනා ගණනාවක් ඇති, වසර ගණනාවක් පුරා පාපන්දු පරිපාලනයේ රැඳී සිටිමින් ඡන්ද 'ඩීල්' සහ විවිධ අක්‍රමිකතා වලට නම ගෑවුණු ජස්වර් උමාර් තවදුරටත් පුටුවේ රැඳී සිටින්නේ කෙසේද?

 

 

 

ක්‍රිකට් ක්‍රීඩාවට ඇති අසීමිත මාධ්‍ය අවධානය සහ ජනප්‍රියත්වය හේතුවෙන් එහි දූෂණ ඉක්මනින් සමාජගත වේ. එහෙත් පාපන්දුව යනු ලංකාව තුළ සාපේක්ෂව අඩු අවධානයක් ලබන ක්‍රීඩාවක් බැවින්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) අරමුදල් අවභාවිතය, නිලවරණ දූෂණ සහ ක්‍රීඩාවේ යටිතල පහසුකම් නොනැංවීම වැනි බරපතල චෝදනා යටපත් කරගෙන ඉදිරියට යාමට ජස්වර් උමාර් ප්‍රමුඛ පරිපාලනයට හැකි වී තිබේ. ක්‍රිකට් 'සුද්ද කළ' බලධාරීන්ට පාපන්දුවේ කුණු පෙනෙන්නේ නැතිද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ.

 

 

 

ශ්‍රේණිගත කිරීම් පිටුපස සැඟවුණු 'ඩීල්' සහ මූල්‍ය හානිය

සිය මාධ්‍ය නිවේදනය හරහා ජස්වර් උමාර් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල 207 වන ස්ථානයේ සිට 184 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම තම පරිපාලනයේ දැවැන්ත ජයග්‍රහණයක් බවයි. එමෙන්ම, පසුගිය වසර දෙක තුළ ජයග්‍රහණ 12ක් සහ පරාජයෙන් තොර තරග 6ක් වාර්තා කර ඇති බව ද ඔහු පවසයි.

 

 

නමුත් මේ යථාර්ථය කුමක්ද?

මෙම කෙටි කාලීන ජයග්‍රහණ ලබාගත්තේ ලංකාවේ බිම් මට්ටමේ පාපන්දු ක්‍රීඩාව නංවාලීමෙන් නොවේ. ඒ වෙනුවට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ක්‍රීඩකයින් විශාල මුදලක් සහ වරප්‍රසාද ලබා දී ලංකාවට ගෙන්වා ගැනීමෙනි. ජස්වර් උමාර් මෙය "මුළු ලෝකයේම සිදුවන දෙයක්" ලෙස සාධාරණීකරණය කළද, ලංකාවේ පාසල් සහ සමාජ මට්ටමේ පාපන්දු ක්‍රීඩාව වළපල්ලටම ගොස් තිබියදී, මෙවැනි 'ඉන්ස්ටන්ට්' (ක්ෂණික) විසඳුම් හරහා තාවකාලික ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ගැනීම පරිපාලන ජයග්‍රහණයක් නොවේ.

 

 

පසුගිය වසර කිහිපය පුරාම පාපන්දු පිටියේ සිදුවූයේ ඡන්ද ලබාගැනීම උදෙසා ක්‍රීඩා සමාජ වලට මුදල් සහ බඩුබාහිරාදිය බෙදා දීමේ 'ඩීල්' දේශපාලනයයි. ජාත්‍යන්තරයෙන් ලැබෙන අතිවිශාල අරමුදල්වලින් නිසි ප්‍රමිතියකින් යුතු එකදු පාපන්දු ක්‍රීඩාංගණයක් හෝ මෙරට ඉදිවී නැත. අද පරාජය වූ පසු මීළඟ සාෆ් තරගාවලියට පෙර "සුගතදාස සහ තුරඟ තරග පිටිය නවීකරණය කිරීමට ක්‍රීඩා ඇමති සමග සාකච්ඡා කරන" බව සභාපතිවරයා පවසයි. වසර ගණනාවක් බලයේ සිටි ඔහුට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මතක් වන්නේ අන්ත පරාජයකින් පසුවද?

 

 

වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ නිහඬියාව

මෙම සමස්ත ක්‍රියාවලිය තුළ වඩාත්ම විමතිය දනවන කරුණ වන්නේ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිහඬ පිළිවෙතයි. මීට පෙර පාපන්දු පරිපාලනයේ පැවති අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට FIFA තහනමක් පවා පැනවුණු බව ජස්වර් සිය නිවේදනයේදීද වක්‍රව සිහිපත් කරයි. එම අර්බුදවලට වගකිවයුතු ප්‍රධාන චරිතයක් වන ජස්වර් උමාර්ට එරෙහිව මූල්‍ය විගණනයක් හෝ පරිපාලන පරීක්ෂණයක් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් පියවර ගෙන නැත.

 

 

 

පරාජයකදී "අපි යළි නැගිටිනවා" යැයි කියමින් පුහුණුකරුවාට සහ ක්‍රීඩකයින්ට සුදුහුණු ගා, තවත් මාස අටකින් ලංකාවේ පැවැත්වෙන සාෆ් කුසලානය ගැන සිහින මවමින් තමාගේ පුටුව බේරාගැනීම ජස්වර්ගේ උපාය මාර්ගයයි. බංග්ලාදේශය හමුවේ වූ පරාජය හුදෙක් එක් තරගයක පරාජයක් නොව, නිසි දැක්මක් නොමැතිව, මූල්‍ය විනිවිදභාවයකින් තොරව ගෙනගිය පරිපාලනයක ප්‍රතිඵලයකි.

 

 

 

ක්‍රීඩා අමාත්‍යවරයා වහාම මෙම 'සමාව ඉල්ලීමේ' මාධ්‍ය සංදර්ශනවලට නොරැවටී, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පසුගිය වසර කිහිපයේ මූල්‍ය ගනුදෙනු, විදෙස් ක්‍රීඩකයින් ගෙන්වීමේදී සිදුවූ වියදම් සහ දේශීය ක්‍රීඩාව නංවාලීමට කළ සැබෑ ආයෝජනයන් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් දියත් කළ යුතුව ඇත. ක්‍රිකට්වලට එල්ල කළ 'පවිත්‍ර කිරීමේ මෙහෙයුම' පාපන්දුවටද එල්ල නොකරන තාක් කල්, ජස්වර් උමාර්ලාගේ මෙවැනි නිවේදන සහ හිස් පොරොන්දු හමුවේ ශ්‍රී ලාංකේය පාපන්දුව තවදුරටත් ආගාධයටම යනු ඇත.

 

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි