ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ සෑම රාජ්‍ය නායකයෙක්ම සහ මුදල් ඇමතිවරයෙක්ම
වාර්ෂික අයවැය ලේඛන පාර්ලිමේන්තුවට ගෙන ආවේ, රට ගොඩනැගීමේ පිරිසිදු චේතනාවෙන් සහ සද්භාවයෙන් බව අවිවාදිතය. කිසිදු නායකයෙක් තම මව්බිමට විනාශයක් අත් වේවා යන ප්‍රාර්ථනයෙන් අයවැය ඉදිරිපත් කර නැත. එහෙත්, දශක ගණනාවක් පුරා අප දුටු කටුක සත්‍යය නම්, කඩදාසියේ ලියැවෙන සුන්දර යෝජනා සහ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය අතර පවතින්නේ අහසට පොළොව මෙන් වූ දැවැන්ත පරතරයකි.
පිරිසිදු උවමනාවක් තිබුණද, ඒ යෝජනා යථාර්ථයක් නොවන්නේ ඇයි?
වත්මන් රජයේ මෙම තෙවන අයවැය දෙස බැලීමේදීද, පෙර අයවැය දෙකෙන්ම ජනතාවට සැබවින්ම අත් වූ සෙතක් නොමැති බව පිළිගත යුතුය. ජනතාව දවසින් දවස බදු බරේ ගිලී, පීඩනය දරාගත නොහැකි උපරිම මට්ටමකට ළඟා වී ඇත.
අපේ රටේ ආර්ථිකය සකස් කරන විශේෂඥයින්ට පවා අදටත් හඳුනා ගැනීමට නොහැකි වී ඇති මූලිකම ගැටලුව වන්නේ, අපට නොගැලපෙන න්‍යායන් ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්නයි. අප අදටත් අපේ රටේ අනන්‍ය වූ ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ බටහිර ආකෘති හරහාය. බටහිර ආර්ථික විද්‍යාවේ නිර්ණායකයන් ඔස්සේය. අපේම මහපොළොවේ යථාර්ථය නොහඳුනන, ණය සහ බදු මත පදනම් වූ මෙම උපක්‍රම තුළ වත්මන් ජාතික ජන බලවේගය (NPP) රජයද ගිලී යමින් සිටින්නේ එම පැරණි මඩ ගොහොරුවේමය.
මෙම පසුබිම තුළ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 අයවැය, මෙම යථාර්ථය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යයක් වෙයිද?
කෑම පතට සහනයක්!
එදිනෙදා වියදම් සහ බදු වෙනස්කම් ජනතාවට අයවැයකින් වඩාත්ම දැනෙන්නේ බඩු මිලයි. මෙවර අයවැයෙන් ඊට ක්ෂණික සහන කිහිපයක්ම ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම අද (නොවැම්බර් 13) සිටම ක්‍රියාත්මක වන පරිදි ආනයනික හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් සඳහා පනවා තිබූ බදු සැලකිය යුතු ලෙස අඩු කර තිබෙනවා. මීට අමතරව ලබන වසරේ අප්‍රේල් සිට ආනයනික භාණ්ඩ කාණ්ඩ 800ක් සඳහා පවතින සෙස් (CESS) බදු අනුපාත 25% කින් අඩු කිරීමට නියමිතයි. මෙය වෙළඳපොළේ පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩුවීමට ඍජුවම බලපානු ඇතැයි රජය අපේක්ෂා කරයි.
රාජ්‍ය සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට අලුත් බලාපොරොත්තුවක් රාජ්‍ය අංශයේ සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ ගැටලුවලට මෙවර අයවැයෙන් සුවිශේෂී අවධානයක් යොමු කර තිබෙනවා.
-
විශ්‍රාමිකයින්ට සහනයක්: 2020 සහ 2024 අතර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයින්ට 2027 ජූලි 1 වැනිදා සිට රු. 2,500 ක මාසික අන්තර්කාලීන දීමනාවක් හිමිවෙනවා.
-
ගුරුවරුන්ට සහ වෛද්‍යවරුන්ට දිරිගැන්වීමක්: විද්‍යාපීඨවල පුහුණුවන ගුරුවරුන්ගේ මාසික දීමනාව රු. 10,500 සිට රු. 20,000 දක්වා දෙගුණයකින් පමණ වැඩි කර ඇති අතර, වෛද්‍ය නිලධාරීන්ට ගෙවන දීමනාව රු. 70,000 සිට රු. 95,000 දක්වා වැඩි කිරීමට යෝජිතයි.
-
ප්‍රවාහන දීමනා: රාජකාරි සඳහා පෞද්ගලික වාහන භාවිත කරන නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව රු. 100,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.
දරුවන්ගේ අනාගතය ඩිජිටල්කරණය කිරීම
ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී අපේ දරුවන්ද ඊට සූදානම් විය යුතුයි. පාසල් දරුවන් 750,000 කට නොමිලේ බ්‍රෝඩ්බෑන්ඩ් (Broadband) වවුචර ලබාදීමටත්, පළාත් පාසල් ඩිජිටල්කරණයට රු. මිලියන 3,000 ක් වෙන් කිරීමටත් රජය පියවර ගෙන තිබෙනවා. එපමණක් නොව, කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම මගින් අනාගත තාක්ෂණික ලෝකයට ශ්‍රී ලංකාව ගෙන යාමේ මූලික අඩිතාලම මෙවර අයවැයෙන් දමා තිබෙනවා.
නිරෝගී දැයක් සහ ගමටම සෞඛ්‍යය
ලොකු රෝහල්වලටම නොගොස් ගමේදීම සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි වන පරිදි "ආරෝග්‍යා" සුවතා මධ්‍යස්ථාන 1000 ක් රට පුරා ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා. තවද, වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා ලබාදෙන මාසික දීමනාව රු. 12,500 දක්වා ඉහළ නැංවීම, සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කිරීමට රජය දක්වන උනන්දුවට කදිම නිදසුනකි.
මඟ තොට සහ ප්‍රවාහන විප්ලවය
අධික රථවාහන තදබදයෙන් හෙම්බත් වී සිටින මගීන්ට සහනයක් ගෙන දෙමින්, විදුලියෙන් ක්‍රියාත්මක වන (Electric) බස් රථ 100 ක් අලුතින් මාර්ගයට එක් කිරීමටත්, දුම්රිය මාර්ග විදුලියකරණයට රු. බිලියන 80 ක් ආයෝජනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. එසේම කොළඹට පමණක් සීමා වී තිබූ 'මෙට්‍රෝ බස්' සේවාව මහනුවර, ගාල්ල සහ යාපනය දක්වා පුළුල් කෙරෙනවා. මධ්‍යම සහ රුවන්පුර අධිවේගී මාර්ගවල වැඩ කටයුතු කඩිනම් කිරීම සඳහා ද විශාල මුදලක් මෙවර වෙන් කර ඇත.
ව්‍යුහාත්මක වෙනසක් සඳහා අතපසු කළ අවස්ථාවක්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට අනුකූලව සකස් කර ඇති 2027 අයවැය, අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් යම් පමණකට ඉදිරියට යාමට ගත් උත්සාහයක් ලෙස බැලූ බැල්මට පෙනී යයි. එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට අතදෙන සහ පරිසර හිතකාමී සැලසුම්වලින් සමන්විතය.
නමුත් අවසාන වශයෙන් මතු වන සැබෑ ප්රශ්නය නම්, හුදු සංඛ්‍යා ලේඛන සහ බදු ප්‍රතිශත එහා මෙහා කිරීමෙන් පමණක් රටක් ගොඩනැගිය හැකිද යන්නයි. අපේ ජාතියට ගැළපෙන පරිභෝජන රටාවකට ජනතාව හුරු කරවීම, අත්‍යවශ්‍ය දෑ පමණක් ආනයනය කිරීමේ ස්වයං විනයක් ජාතියක් ලෙස ගොඩනැගීම සහ ජනප්‍රියවාදී මැතිවරණ දේශපාලනය හෝ ප්රජාතන්ත්රවාදය නමැති ඊනියා මතවාද තුළම හිර නොවී, රට තුළ සැබෑ දෘෂ්ටිවාදමය වෙනසක් ඇති කිරීම සඳහා අයවැය ලේඛනයක් කොතරම් ප්‍රබල මෙවලමක් ලෙස භාවිතා කළ හැකිද යන්න අපේ අයවැය සම්පාදකයින්ට නිකමටවත් නොසිතෙන්නේ මන්ද?
මෙවන් ව්‍යුහාත්මක චින්තන වෙනසක් නොමැතිව, කෙතරම් සුන්දර අයවැය යෝජනා ගෙන ආවත්, ඒවා තවත් එක් කඩදාසි ගොඩක් පමණක්ම වනු ඇත.

