සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ(11) පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී ඉදිරි අයවැය මෙන්ම පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, වෙනත් කරුණු සාකච්ඡාවට ගැනීමේදී සිරස මාධ්‍ය ජාලයට ලබා දී ඇති සංචාරක ප්‍රවර්ධන මුදල් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු විය.
මෙහිදී අදහස් දක්වමින් දූෂණ විරෝධී බලවේගයේ ජාතික කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක සිරස ආයතනයට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කළේය.
"සිරස මාධ්‍ය ආයතනය විසින් සංචාරක ප්‍රවර්ධනය සඳහා මුදල් ලබා ගත් ආකාරය ඉතාමත්ම වංචනිකයි. එහි සිදුව ඇති අක්රමිකතාව පිළිබඳව අනිවාර්යයෙන්ම සිරසේ අධ්යක්ෂ මණ්ඩලය මුදල් කමිටුවට කැඳවිය යුතුයි. 2017 වසරේදී මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවති අතර, යහපාලන රජය ඒ සඳහා වියදම් කළේ රුපියල් ලක්ෂ 55ක මුදලක් පමණයි. ඒ මුදල ද උපයා ගත්තේ ජාතික රූපවාහිනී සංස්ථාවේ අලෙවි දෙපාර්තමේන්තුව විසින් අනුග්රාහකයන්ගෙන්. නමුත් මෙම ගනුදෙනුවට ජනාධිපතිවරයා සහ සංචාරක අමාත්‍යවරයා සෘජුවම දායක වී ඇති අතර මෙය පැහැදිලිවම අල්ලසක්. මම මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවත් මතක් කරනවා. ඉතාමත්ම පැහැදිලි මෙම අනීතික ගනුදෙනුව පිළිබඳව රට දැනුවත් කිරීම සඳහා මුදල් කමිටුවට සියලුම අධ්යක්ෂවරුන් කැඳවා ප්‍රශ්න කළ යුතුයි. මේ හරහා සිරසේ පවතින දේශපාලනික ගනුදෙනුව, දූෂණය සහ වංචාව රටට හෙළි කළ හැකියි."
එම යෝජනාව ස්ථිර කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් ද සිය අදහස් ප්‍රකාශ කළේය.
"මම මෙම යෝජනාව ස්ථිර කරනවා. අනිවාර්යයෙන්ම සිරස ආයතනයේ මෙකී අපැහැදිලි සහ ඒකපාර්ශ්වික දේශපාලන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙනුත්, මේ දූෂණය සම්බන්ධයෙනුත් අපි මුදල් කමිටුවට පැමිණිලි කළ යුතුයි."
මීට සහාය පළ කරමින් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් , පසුගියදා සිරස නාලිකාවෙන් තමන්ට එල්ල වූ විවේචන ද සිහිපත් කළේය.
"පසුගිය දින කිහිපය තුළ කොළඹ නගර සභා බල ප්‍රදේශය ජලයෙන් යටවීම පිළිබඳව කතා කිරීමේදී සිරස මාධ්‍ය නාලිකාව මාව දැඩි ලෙස විවේචනය කළා. මේ ගෙන එන යෝජනාව ඉතාමත් කාලෝචිතයි. නොපමාව මේ යෝජනාව ඉදිරියට ගෙන ආ යුතුයි."
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ද ඊට එක්වෙමින් අවධාරණය කළේ මුළු අධ්යක්ෂ මණ්ඩලයම මේ සඳහා වගකිව යුතු බවයි.
"සිරස ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයම මේ සඳහා කැඳවිය යුතුයි. ඔවුන් සෘජුවම මේ පිළිබඳව පොදු මුදල් කමිටුව හමුවේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටත්, ඊට අදාළව අවශ්‍ය විදිහට කටයුතු කිරීමටත් පියවර ගත යුතුයි."
දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව, සිරස මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් ගෙන ආ මෙම යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව සම්මත විය. ඒ අනුව, මේ පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සහ මුදල් කමිටුව වෙත අදාළ කරුණු වාර්තා කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත පැවරීමට එහිදී තීරණය කෙරිණි.
අප බලා සිටින්නේ හර්ෂ ද සිල්වා විසින් මීළඟට ගන්නා පියවර පිළිබඳවයි.

