නාගරික සංවර්ධන අධිකාරියට අයත් මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යාන භූමියෙන්
අක්කර 6ක පමණ වටිනා කොටසක් නිසි නීතිමය ක්‍රියා පටිපාටියකින් තොරව පෞද්ගලික සමාගමකට බදු දීම සහ ඊට ප්‍රතිඋපකාර ලෙස මාසයක යුරෝපා සංචාරයක් ලබා ගනිමින් බරපතළ අල්ලස් ගනුදෙනුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ විෂයභාර අමාත්‍යාංශය වෙත නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත් වී තිබේ.
අප වෙත ලැබී ඇති අදාළ පැමිණිලි ලිපිවල දැක්වෙන පරිදි, මීගමුව වෙරළ පාරේ පදිංචි කේ.ඒ.ඩී. සුමතිපාල විසින් 2026 ඔක්තෝබර් 30 වන දිනැතිව මෙම ලිඛිත පැමිණිලි යොමු කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතයි.


ලැබී ඇති ආරංචිමාර්ගවලට අනුව මෙන්ම අදාළ පැමිණිලි ලිපි මගින් පෙන්වා දෙන ආකාරයට, මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යානයට අයත් අක්කර 6ක පමණ මහජනතාවට සහ රජයට අයත් අතිශය වටිනා භූමි භාගයක් කිසියම් පාර්ශ්වයකට බදු දීමේදී නීත්‍යානුකූලව අනුගමනය කළ යුතු කිසිදු නිසි ක්‍රියා පටිපාටියක් (Proper Procedure) අනුගමනය කර නොමැති බවට චෝදනා එල්ල වී තිබේ. මෙම සමස්ත බදු දීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පටිපාටිබාහිරව මෙන්ම විනිවිදභාවයකින් තොරව සිදුකර ඇති බව පැමිණිලිකරු සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.
අප වෙත ලැබී ඇති අදාළ ලිපි ලේඛනවල වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම මතභේදාත්මක බදු දීම සිදු කිරීම වෙනුවෙන් මීගමුව නගර සභාවේ හිටපු නගරාධිපති නිමල් ලන්සා සමග එක්වී නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු වන අනුර ප්‍රසන්න යන අය විසින් අල්ලසක් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
ලැබී ඇති ආරංචිමාර්ග සහ පැමිණිල්ලේ සඳහන් කරුණුවලට අනුව, අදාළ ඉඩම් ගනුදෙනුව වෙනුවෙන් ලද ප්‍රතිපෝෂණයක් ලෙස හිටපු නගරාධිපති නිමල් ලන්සාගේ මැදිහත්වීම මත නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ අනුර ප්‍රසන්න යන අය සිය පවුලේ සාමාජිකයන් සමඟ යුරෝපා රටවල් වෙත මාසයක කාලයක් පුරා විදේශ සංචාරයක නිරත වී ඇති බව කියැවේ. එම විදේශ සංචාරය සඳහා වන සියලු වියදම් සහ අනුග්‍රහය මෙම භූමිය බදු ලබාගත් පාර්ශ්වය වන ANIMA VESTRA LEISURE PVT LTD නැමැති පෞද්ගලික සමාගම විසින් සපයා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද අදාළ පැමිණිල්ලේ දැක්වේ.
මේ අනුව, මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යාන භූමිය බදු දීමේදී අනුගමනය කර ඇති ක්‍රියා පටිපාටිය කුමක්ද සහ එය නීත්‍යානුකූලද යන්න පිළිබඳව ප්‍රමුඛව විමර්ශනය කළ යුතු බව පැමිණිලිකරු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම අදාළ අධ්‍යක්ෂවරයා වන අනුර ප්‍රසන්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෑතකදී සිදු කර ඇති බව කියන යුරෝපා සංචාරය සඳහා වැය වූ මුදල් කවුරුන් විසින් දරන ලද්දේද යන්නත්, මෙම බදු ගනුදෙනුව සහ අදාළ විදේශ සංචාරය අතර සෘජු අල්ලස් සම්බන්ධතාවයක් පවතීද යන්නත් විමර්ශනයට ලක් කළ යුතු බව අප වෙත ලැබී ඇති ලිපි මගින් පෙන්වා දී තිබේ.
මීගමුව ජනතාවට සහ රජයට අයත් අත්‍යවශ්‍ය සංචාරක සහ පොදු දේපළක් මෙලෙස අවභාවිත කරමින්, නිල බලය අයුතු ලෙස භාවිතා කරමින් සහ අල්ලස් ලබාගනිමින් සිදු කර ඇති බව කියන මෙම දූෂණ ක්‍රියාව සම්බන්ධයෙන් කඩිනමින් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසත්, චෝදනා තහවුරු වුවහොත් ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසත් පැමිණිලිකරු විසින් අල්ලස් කොමිසමෙන් සහ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
#SamaaraParanavithana

