එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකා ගින්නෙන් ශ්‍රී ලංකාවට සිදුවූ
දැවැන්ත සාගර හා පාරිසරික ඛේදවාචකයට අදාළ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය යළිත් වරක් දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ. 2025 ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩොලර් බිලියනයක මූලික වන්දි මුදලක් නියම කිරීම ඓතිහාසික නෛතික ජයග්‍රහණයක් වුවද, අදාළ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් සහ රහසිගත ගනුදෙනු පිළිබඳව මේ වන විට සමාජයේ මෙන්ම නීතිමය ක්ෂේත්රයේ ද බරපතළ ප්‍රශ්න කිරීම් මතු වී ඇත.
මෙම පසුබිම තුළ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් නීතිපති පාරින්ද රණසිංහ (කණිෂ්ඨ) වෙත නොවැම්බර් 10 වන දින ලිඛිත එන්තරවාසියක් යොමු කර තිබේ.
නීතිපතිවරයාට දින 14ක කාලයක්
පරිසර යුක්ති කේන්ද්‍රය නීතිපතිවරයාට දැනුම් දී ඇත්තේ, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර මොනවාදැයි දින 14ක් ඇතුළත ලිඛිතව දැනුම් දෙන ලෙසයි.
අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 895 සහ 896 ඡේදවලින් පැහැදිලිව පෙන්වා දී තිබුණේ, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26 (අ) වගන්තිය යටතේ නෞකාවේ හිමිකරුවන්ට සහ ක්‍රියාකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා අපොහොසත් වීම සහ ශ්‍රී ලංකාවේ මහාධිකරණයේ අද්මිරාල්ති අධිකරණ බලය (Admiralty jurisdiction) භාවිත කරනවා වෙනුවට සිංගප්පූරුවේ සිවිල් නඩු පැවරීමට ගත් තීරණය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් රැස් කර ඇති විමර්ශන ද්‍රව්‍ය සමාලෝචනය කර වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම සලකා බලන ලෙසත්, ඒ සම්බන්ධයෙන් ගත් පියවර සෑම මාස තුනකට වරක්ම අධිකරණයට වාර්තා කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබිණි. එහෙත් එම ක්‍රියාවලියේ ප්‍රමාදයන් හේතුවෙන් තමන්ට තවදුරටත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවට CEJ සිය ලිපියෙන් අනතුරු අඟවා ඇත. එමෙන්ම ජනවාරි 16 වැනිදා ඉදිරිපත් කළ නඩු ගාස්තු බිල්පතට අදාළ ප්‍රතිපූර්ණය කිරීම් ද මෙතෙක් සිදු කර නොමැති බව ඔවුහු පෙන්වා දෙති.
රක්ෂණ සමාගමේ PR මෙහෙයුම සහ අනාගත වන්දි අහිමි කිරීමේ කුමන්ත්‍රණය
නෛතික ක්‍රියාවලිය මෙලෙස ප්‍රමාද වෙද්දී, අදාළ වන්දි මුදල කප්පාදු කිරීම සඳහා සංවිධානාත්මක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට පාර්ලිමේන්තුවේ දී සහ සමාජ මාධ්‍ය හරහා දැඩි චෝදනා එල්ල වී තිබේ.
නෞකාවේ රක්ෂණ සමාගම වන The London P&I Club විසින් මේ වන විට එංගලන්තයේ අවදානම් කළමනාකරණ සමාගමක් සහ ඉන්දියානු හිමිකාරීත්වයක් සහිත දේශීය මහජන සම්බන්ධතා (PR) ආයතනයක් යොදාගෙන දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇතැයි පසුගියදා වාර්තා වී තිබුණි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ ඩොලර් බිලියනය ගෙවීමට නොහැකි බවත්, උපරිම වශයෙන් ගෙවිය හැක්කේ ඩොලර් මිලියන 250ක් පමණක් බවත් සමාජගත කිරීමයි.
අධිකරණ තීන්දුවේ පැහැදිලිවම සඳහන් වන්නේ මෙම ඩොලර් බිලියනය යනු මූලික වන්දිය (Base Compensation) පමණක් බවයි. අනාගත හානි තක්සේරු කර තවත් අතිරේක වන්දි ලබාගැනීමට නෛතික ඉඩකඩ පවතින පසුබිමක, මෙම PR මෙහෙයුම හරහා උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට හිමිවිය යුතු දැවැන්ත අතිරේක වන්දි මුදල ද සදහටම අහිමි කර දැමීමට බව පරිසරවේදීන්ගේ සහ විචාරකයින්ගේ මතය වී තිබේ. ජාත්‍යන්තර නැව් සමාගම් සමඟ ගැටුම් ඇති කරගැනීමෙන් ශ්‍රී ලංකාවට පාඩු සිදුවන බවට බිය ගන්වමින් ජනාධිපතිවරයා ඇතුළු රජය නොමඟ යැවීමේ උත්සාහයක් ද මෙහි පවතින බවට චෝදනා එල්ල වේ.
ලොක්කන්ගේ රහස් ඩීල්, රහස් ලිපි සහ ආයතනික ස්වාධීනත්වය
මෙම අර්බුදයේ භයානකම පැතිකඩක් ලෙස විධායකයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ රහසිගත මැදිහත්වීම් පිළිබඳව එල්ල වන චෝදනා දැක්විය හැකිය.
වරාය අධිකාරියේ සහ නියෝජිතයින්ගේ සබඳතා:-
නෞකාවේ දේශීය නියෝජිතයා වන Sea Consortium Lanka සමාගමේ ප්‍රධානියා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළම ප්‍රධානියෙකු අතර ඇති සමීප සම්බන්ධතාව අද වන්දි මුදල අඩු කර ගැනීමේ කොන්ත්‍රාත්තුවට භාවිත වන බවට වාර්තා පළ වී ඇත. රක්ෂණ සමාගමේ නියෝජිතයන් ලංකාවට පැමිණි විට රජයේ ඉහළ නිලධාරීන් සමඟ රහසිගත සාකච්ඡා පැවැත්වීමට මෙම සබඳතා උපකාරී වී ඇති බවට ද චෝදනා නැඟේ.
විධායකයේ බලපෑම සහ රහස් ලිපි:-
නීතිපතිවරයා ප්රමුඛ ආයතන නීතිමය පියවර ගනිමින් සිටියදී, ජනාධිපතිවරයා රක්ෂණ සමාගම් ප්‍රධානීන් සමඟ රහසිගතව සාකච්ඡා කළ බවටත්, ආන්දෝලනාත්මක ලිපි දෙකක් යොමු කර ඇති බවටත් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රශ්න කර තිබිණි. මෙම ලිපි වන්දි ගෙවන පාර්ශ්වයන්ට හෝ නීතිපතිවරයාට යොමු කර ඇත්නම්, එයින් 'බලතල බෙදීමේ මූලධර්මය' (Separation of Powers) බරපතළ ලෙස උල්ලංඝනය වේ.
අධිකරණය පිළිබඳ කටකතා:-
නීතිය පසිඳලීමේ ක්‍රියාවලියට මෙලෙස දේශපාලන අධිකාරිය මැදිහත් වීම හේතුවෙන් ආයතනික ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වෙමින් පවතී. අගවිනිසුරුවරයාගේ සම්බන්ධයක් ගැන පවා සමාජයේ විවිධ කටකතා නිර්මාණය වී ඇති අතර, මෙවැනි අසුබවාදී ආඛ්‍යාන හරහා වාසි ලබන්නේ ඉතා සුළු මුදලකට මෙම මහා විනාශය සමථයකට පත් කරගැනීමට මාන බලන විදේශීය රක්ෂණ සමාගම් පමණි.
භූ දේශපාලනය සහ මහජනතාවට ඇති වගවීම
මෙම ක්‍රියාවලිය පිටුපස ඉන්දීය බලපෑමක් පවතින බවට ද භූ දේශපාලනික කියවීමක් පවතී. UNEP හෝ OCHA වැනි ජාත්‍යන්තර ආයතනවල ස්වාධීන විද්‍යාත්මක වාර්තා පසෙකට දමා, කලාපීය රාජ්‍ය තාන්ත්‍රික බලපෑම්වලට යට වී රටේ ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය පාවා දෙමින් පවතින බවට විවේචන එල්ල වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබීම පමණක් ප්‍රමාණවත් නැත. අදාළ වන්දි මුදල මහා භාණ්ඩාගාරයට සැබෑ ලෙසම අයකර ගත යුතු අතර, ඒ සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර සහ සාකච්ඡා පිළිබඳව මහජනතාව දැනුවත් කරන විනිවිදභාවයෙන් යුතු නිල යාන්ත්‍රණයක් වහාම ස්ථාපිත කළ යුතුව ඇත. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නීතිපතිවරයාට යොමු කළ එන්තරවාසිය හරහා ද අවධාරණය කරන්නේ මෙම ක්‍රියාවලියේ ඇති මන්දගාමී බව සහ වගවීම ප්‍රශ්න සහගත බවයි.
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය යනු දේශපාලකයන්ට හෝ විදේශීය රක්ෂණ සමාගම්වලට තම හිතුමතයට අවසන් කළ හැකි කල්පිත නවකතාවක් නොවේ. විධායක මැදිහත්වීම් නතර කර, රහසිගත ගනුදෙනු විමර්ශනය කර, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාරව නීතිපතිවරයාට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ නොදුන්නහොත්, ශ්‍රී ලංකාවට හිමිවිය යුතු දැවැන්තම පාරිසරික වන්දිය දේශපාලන ප්‍රබන්ධයක් වී ඉතිහාසයට එක්වනු ඇත.

