SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුදල් ගලාඒම් පාලනයක්ද? නැතහොත් රාජ්‍ය මුදල් යෙදවීමේ පෙරහුරුවක්ද?

 

 

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් ගේ

අත්සනින් යුතුව 2026 නොවැම්බර් 03 දිනැතිව දිවයිනේ සියලුම ලියාපදිංචි අරාබි විද්‍යාල (මද්‍රසා පාසල්) වෙත නිකුත් කර ඇති නිල චක්‍රලේඛය මේ වන විට දැඩි අවධානයට ලක්ව තිබේ. එම ලිපිය මතුපිටින් පරිපාලනමය, ගිණුම්කරණ හා ශිෂ්‍ය කටයුතු ප්‍රමිතිකරණය කිරීමේ සාමාන්‍ය පුහුණු වැඩසටහනක් ලෙස පෙනී ගියද, එහි අන්තර්ගතය සහ ඊට අමුණා ඇති ලේඛන පිරික්සීමේදී මෙරට ආගමික අධ්‍යාපනය, මුදල් ගලාඒම් සහ රාජ්‍ය මැදිහත්වීම පිළිබඳ බරපතළ යථාර්ථයක් අනාවරණය වේ.

 

 

 

මද්‍රසා (අරාබි විද්‍යාල) යනු මොනවාද? ඉන් සිදුවන්නේ කුමක්ද?

මද්‍රසා (Madrasa) හෙවත් ලංකාවේ භාවිත වන පරිදි 'අරාබි විද්‍යාල' යනු ඉස්ලාමීය දහම, කුරාණය, හදීස් (නබි වදන්), අරාබි භාෂාව සහ ඉස්ලාමීය නීතිය (ෂරියා) ඉගැන්වීම සඳහා ස්ථාපිත කර ඇති නේවාසික ආගමික අධ්‍යාපන ආයතන වේ.

 

මූලික අරමුණ:-

ඉස්ලාමීය ආගමික පූජකවරුන් හෙවත් ‘මවුලවිවරුන්’ (Moulavis) සහ කුරාණය කටපාඩම් කළ ‘හාෆිස්වරුන්’ (Hafiz) බිහිකිරීමයි.

 

ක්‍රියාකාරීත්වය:-

සාමාන්‍යයෙන් අවුරුදු 10-12 වයසේ පසුවන දරුවන් බඳවාගෙන වසර 5 සිට 7 දක්වා කාලයක් නේවාසිකව ආගමික විෂයමාලාවන් පමණක් ප්‍රමුඛව උගන්වනු ලබයි.

 

වෙනස:-

මෙරට පාසල් පද්ධතිය තුළ පවතින රජයේ මුස්ලිම් පාසල්වල ජාතික විෂයමාලාව (සාමාන්‍ය පෙළ / උසස් පෙළ) උගන්වන අතර, අරාබි විද්‍යාල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ සාම්ප්‍රදායික පාසල් පද්ධතියෙන් බැහැරව ආගමික විෂය පථයකය.

     

     

    මෙතෙක් පැවති මූල්‍ය ආකෘතිය සහ වත්මන් අර්බුදය

    ඉතිහාසය පුරා මෙරට මද්‍රසා පාසල් නඩත්තු වූයේ ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේය:

    1. දේශීය මුස්ලිම් ප්‍රජාවගේ ආධාර සහ 'සකාත්' (Zakat) මුදල්.

    2. සෞදි අරාබිය, කටාර්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි මැදපෙරදිග අරාබි රටවල රාජ්‍ය නොවන සංවිධාන, ධනවතුන් සහ විදේශ පුණ්‍යායතන හරහා ලැබුණු දැවැන්ත මූල්‍ය ප්‍රදාන.

     

     

    කෙසේ වෙතත්, 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු පැනවුණු නීතිමය සීමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ දැඩි විදේශ විනිමය නිරීක්ෂණ සහ ජාත්‍යන්තර මූල්‍ය කාර්ය සාධක බලකායේ මුදල් විශුද්ධිකරණ විරෝධී නීති හමුවේ අරාබි රටවලින් පාලනයකින් තොරව මෙරටට මුදල් ගලාඒම දැඩි ලෙස අඩපණ විය. විදේශ ආධාර අවහිර වීමත් සමග, මෙරට ක්‍රියාත්මක සිය ගණනක් වූ මද්‍රසා පාසල් පවත්වාගෙන යාම දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති පසුබිමක මෙම නව චක්‍රලේඛය කරළියට පැමිණ ඇත.

     

     

    madrasa_1.jpeg

     

    චක්‍රලේඛයේ සහ ඇමුණුම්වල සැඟවුණු ද්විත්ව අරමුණ

    අධ්‍යක්ෂවරයා නිකුත් කර ඇති ලිපිය සහ ඊට අදාළ ලිපිගොනු ලැයිස්තු (Financial Management, Board of Management, Students Affairs) ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී පැහැදිලි ප්‍රධාන පැතිකඩ දෙකක් නිරීක්ෂණය කළ හැකිය.

     

    1. රාජ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා පසුබිම සකස් කිරීමක්ද?

    රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හරහා කිසියම් ආයතනයකට රාජ්‍ය මුදල්, ආධාර හෝ ගුරු දීමනා ලබාදීමට නම්, එම ආයතනය විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව ගිණුම් පවත්වාගත යුතුය.

     

     

    ඇමුණුම්වල ඉල්ලා ඇති ලියකියවිලි දෙස බලන්න.

     

    madrasa_2.jpeg

    madrasa_3.jpeg

    madrasa_4.jpeg

     

    • මූල්‍ය කළමනාකරණය (Financial Management): නිල රිසිට්පත් (Official Receipts), ගෙවීම් වවුචර් (Payment Vouchers), සුළු මුදල් පොත් (Petty cash book), බැංකු ප්‍රකාශන (Bank statements), මාසික හා වාර්ෂික මූල්‍ය වාර්තා (Monthly & Annual Financial reports).

    • පාලක මණ්ඩලය (Board of Management): ව්‍යවස්ථාව (Constitution), වාර්ෂික අයවැය (Annual budget), අරමුදල් කළමනාකරණ වාර්තා (Fund management minutes), ඔප්පු සහිත දේපළ විස්තර (Asset details with deeds).

     

     

     

    මෙම ලේඛන සියල්ලම රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් විගණනයට ලක්කිරීමට අවශ්‍ය සම්මත ලියකියවිලිය. විදේශ මුදල් ඇනහිට ඇති මොහොතක, මෙම පාසල් 'ප්‍රමිතිගත කර' නීත්‍යානුකූල ආවරණයක් ලබාදී, අවසානයේදී රජයේ සංස්කෘතික හෝ අධ්‍යාපන අරමුදල් මගින් මීට ප්‍රතිපාදන සැලසීමේ දොරටුව විවර කරන්නේ කාගේ අනුබලයෙන්ද යන සාධාරණ සැකය මෙහිදී මතුවේ. රජයේ මුදල් පිරිවෙන් අධ්‍යාපනයට ලබාදෙන ආකෘතියට සමානව, මද්‍රසාවලටද රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් පොම්ප කිරීමේ දිගුකාලීන උපායමාර්ගික සැලැස්මක් මීට යටින් ක්‍රියාත්මක වන්නේද යන්න විමසා බැලිය යුතුය.

     

     

     

    2. දැඩි බුද්ධි හා පරිපාලන නිරීක්ෂණ දැලක් එලීම (State Surveillance & Transparency)

    අනෙක් අතට, මෙහි පවතින විවේචනාත්මක කරුණ වන්නේ පෞද්ගලික ආගමික ආයතන ලෙස ස්වාධීනව ක්‍රියාත්මක වූ මද්‍රසාවල සම්පූර්ණ අභ්‍යන්තරය රජයේ සෘජු පාලනයට හා ඔත්තු බැලීමට නතු කරගැනීමයි.

     

    • ප්‍රදාන ලේඛනය (Donation Register): මුදල් ලැබෙන්නේ කාගෙන්ද, කොපමණද යන්න සඟවා තැබිය නොහැක.

    • ශිෂ්‍ය හා කාර්යමණ්ඩල තොරතුරු (Staff & Student Registers): උගන්වන්නේ කවුද, ඉගෙනගන්නේ කවුද, ඔවුන්ගේ සෞඛ්‍ය තොරතුරු, විනය ක්‍රියාමාර්ග සහ දෛනික කාලසටහන (Daily routing calendar) පවා රජය ඉල්ලා සිටියි.

    • ක්‍ෂේත්‍ර පරීක්ෂණ (Field Inspections): ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීන් (Development Officers) සහ කොළඹ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් යොදවා මෙම ලිපිගොනු සහ පැවැත්ම පරීක්ෂා කරන බව චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් වේ.

     

     

     

    මෙම නියාමන ක්‍රියාවලිය දෙපැත්ත කැපෙන කඩුවක් බඳුය

    එක් පසෙකින්, කිසිදු විනිවිදභාවයකින් තොරව පවත්වාගෙන ගිය, අන්තවාදී අදහස් හෝ අවිධිමත් විදේශ මුදල් ගලා ආ බවට චෝදනා ලැබූ මද්‍රසා පද්ධතිය රජයේ නීතිමය හා පරිපාලන රාමුවකට නතු කරගැනීම ජාතික ආරක්ෂාව අතින් වැදගත් පියවරක් ලෙස අර්ථකථනය කළ හැකිය.

     

     

    එහෙත් අනෙක් පසින් පැනනගින බරපතළම ප්‍රශ්නය වන්නේ, මහජන බදු මුදල් යොදවා මෙවැනි තනිකරම එක් ආගමික නිකායකට අයත් දේවධර්ම පාසල් පද්ධතියක් නඩත්තු කිරීමට හෝ රාජ්‍ය අරමුදල් ලබාදීමට පසුබිම සැකසෙන්නේද යන්නයි. විදේශ අරමුදල් හිඳී යාම නිසා අර්බුදයට පත්ව සිටින මද්‍රසාවල පරිපාලන බර සහ මූල්‍ය වගකීම, සංස්කෘතික අමාත්‍යාංශය හරහා වක්‍රව මෙරට බදු ගෙවන පොදු මහජනතාවගේ කරපිට පැටවීමට දේශපාලන හෝ නිලධාරීවාදී බලපෑමක් සිදුවන්නේ නම්, එය රටේ අධ්‍යාපන හා මූල්‍ය ප්‍රතිපත්තියට එල්ල වන බරපතළ අභියෝගයකි.

     

     

    විශේෂයෙන්ම, පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂක හේතු මත තහනමට ලක්වී පසුව සිදුකළ සමාලෝචන මඟින් තහනම ඉවත් කරනු ලැබූ ‘ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමි’ (Sri Lanka Jama’at-e-Islami) වැනි සංවිධාන සෘජුව හෝ වක්‍රව මෙහෙයවන අරාබි විද්‍යාල ජාලයක්ද මෙරට ක්‍රියාත්මක වේ. මදුසා පාසුල්වල මෙන්ම ශ්‍රී ලංකා වක්ෆ් සභාවේද බලය ක්‍රමයෙන් ජමාතේ සංවිධානය වෙත වැඩිවෙමින් පවතින බවද ආරංචිමාර්ග පවසයි. මෙරට විවිධ ඉස්ලාමීය නිකායන් (සුෆි, තව්හිඩ්, තබ්ලීග් ආදී) අතරින් මෙවැනි මතභේදාත්මක හා විමර්ශනයට ලක්වූ සංවිධාන සතු ආයතන, වත්මන් පාලනය යටතේ මෙලෙස නිල රාජ්‍ය ප්‍රමිතිකරණ ක්‍රියාවලියකට නතු කිරීම පිටුපස පවතින්නේ හුදු ආරක්ෂක අධීක්ෂණයක් පමණක්ද, නැතහොත් කලක් තහනමට ලක්ව තිබූ සංවිධානවල ආගමික අධ්‍යාපන ජාලය රාජ්‍ය පිළිගැනීම සහිත ප්‍රධාන ධාරාවට නීත්‍යානුකූලව මුසු කරගැනීමේ උත්සාහයක්ද යන්න පිළිබඳවද බරපතළ විවේචනයක් සහ සැකයක් මතු වේ. 

     

     

     

    එබැවින් මෙම චක්‍රලේඛය හුදු "පරිපාලන ප්‍රමිතිකරණයක්" ලෙස පමණක් නොව, මද්‍රසා ආයතනවල මූල්‍ය ගිණුම් හෙළිදරව් කරගැනීමේ මෙන්ම, අනාගතයේදී ඒවා රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතන බවට පත්කිරීමේ ආරම්භක පෙරහුරුවක්ද යන්න පිළිබඳව පුළුල් මහජන සංවාදයක් ඇතිවීම අත්‍යවශ්‍ය වේ.

     

     

     

    # නිරෝමි සුබ්‍රමනියම්

     

     

    නවතම ලිපි