SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලාංකිකයෙකු ලෙස උපත ලැබීම හුදු ජාතිකත්වයකට එහා ගිය බැඳීමක් බව ඔප්පු කළ

සුවිශේෂී මානුෂීය මෙහෙයුමක් පසුගියදා ක්‍රියාත්මක විය. ඒ සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට නියම වී සිටි සිවරාසා අනෝජන් නමැති ද්‍රවිඩ තරුණයා ඉන් මුදවා ගැනීමේ මෙහෙයුමයි.

 

 

ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව මුළු රටක් එක්වූ මෙම ක්‍රියාන්විතයේ ඉදිරිපෙළ නියමුවන් වූයේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ය.

 

 

ස්වේච්ඡාවෙන්ම මෙම වගකීම භාරගත් ඔවුහු පසුගියදා රූපවාහිනී දේශපාලන සංවාදයකට එක්වෙමින් එහි අප්‍රකට තොරතුරු රැසක් හෙළි කළහ.

 

 

මානුෂීය කම්පනය සහ පීතෘ සෙනෙහස

මේසා විශාල අවදානමක් ගෙන සෞදි අරාබිය බලා යාමට මේ නීතීඥවරුන් දෙපළ පෙළඹෙන්නේ කෙසේද යන්න කාටත් මතුවන ගැටලුවකි.

 

මෑතකදී සිය ආදරණීය පුතුගේ වියෝවෙන් දැඩි සේ කම්පනයට පත්ව සිටි ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම ඊට ලබාදුන්නේ අතිශය සංවේදී පිළිතුරකි.

"දරුවෙක් නැතිවෙනවා කියන්නේ මොකක්ද කියලා මම දන්නවා... ඒ තාත්තයි අම්මයි විඳින වේදනාව මට හිතුණා. මොනවාහරි වුණානම් ඒ තාත්තයි අම්මයි පත්වෙන තත්ත්වයක් තියෙනවනේ. ඒක සමාජයේ කිසිම කෙනෙකුට නොවේවා කියලා මම හැමතිස්සෙම හිතන්නේ. ඒ නිසයි මම ෆයිසර්ට කිව්වේ අපි මේ ගමන යමු කියලා."

 

 

මේ ගමනට ආගමක්, ජාතියක් හෝ දේශපාලනයක් අදාළ නොවූ බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ද දැඩිව අවධාරණය කළේය.

"අපි කවදාවත් මේ ප්‍රශ්නය දිහා ජාතිවාදී දෘෂ්ටිකෝණයෙන් බැලුවේ නැහැ. අපිට ආගම කවදාවත් වැදගත් වුණේ නැහැ. අපි හැමදාම බැලුවේ අපි ලාංකිකයින් හැටියට. අපේ ලාංකික සහෝදරයෙක්ව මරණ දණ්ඩනයෙන් බේරාගන්න එකයි අපේ එකම අරමුණ වුණේ. වැඩක් බාරගත්තලා හරියා නම් ප්‍රශංසා කරනවා, වැරදුනා නම් ඔක්කොමලා දෝෂාරෝපණය කරනවා කියලා අපි දන්නවා. හැබැයි අපි ඒ අභියෝගය භාරගත්තා."

 

 

 

අනෝජන්ගේ වරද සහ විදෙස් රටක නීතිය

අනෝජන් යනු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. ඔහුට මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදුවන්නේ සිය මව්බිමේ සිටි කාන්තාවක් සමග ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිකරගත් වාදයක් දුරදිග යාමෙනි.

 

මෙම වාදයේදී ඉස්ලාම් ආගමට සහ නබිතුමාට අපහාස වන අයුරින් ඔහු තැබූ සටහනක් හේතුවෙන් සෞදි අරාබියේදී ඔහු අත්අඩංගුවට පත් විය.

 

 

සමාජ මාධ්‍ය භාවිතයේදී අප කොතරම් ප්‍රවේශම් විය යුතුද යන්න පිළිබඳව ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම මෙසේ අදහස් දැක්වීය.

"ඇත්තටම මේ ආගම හෝ ජාතිය කියන කාරණා ඉතා පෞද්ගලික දේවල්. මේවා ෆේස්බුක් එක හරහා ඉස්සරහට ගෙනල්ලා වෙන කෙනෙකුගේ ආගමකට පහර දීමක් කරනවානම් ඒක සමාජය විසින් හෙළා දැකිය යුතුයි. ලෝකේ රටවල් වල නීතිය වෙනස් වෙනවා, දඬුවම් දීමේ ක්‍රමවේදයන් වෙනස් වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇතුව තමයි පිටරටකට අපි යන්න ඕනේ. අපි ගිහිල්ලා හිතුණ හිතුණ තැන්වලින් පාරවල් පනින්නේ නැහැනේ."

 

 

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා පෙන්වා දුන්නේ නීතියේ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවන බවයි.

"කෙනෙක් යම් රටකට යනකොට ඒ රටේ නීතිය පිළිගන්න ඕනේ. ලංකාවේ වරදක් නොවෙන දෙයක් ඒ රටවල බරපතළ වරදක් වෙන්න පුළුවන්. ඒ නිසා විදේශ රටකට යනකොට ඒ රටේ සංස්කෘතිය සහ නීතිය ගැන දැනුවත් වීම අනිවාර්යයි."

 

 

නෛතික ජයග්‍රහණය: මරණයේ අද්දරින් ජීවිතයට

සයිබර් අපරාධ නීතිය යටතේ ලබාදුන් සිරදඬුවම වෙනුවට අභියාචනාධිකරණයේදී අනෝජන්ට ශරියා නීතිය යටතේ මරණ දණ්ඩනය නියම විය.

 

ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු රජයේ පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සහය ඇතිව සෞදි අරාබියට ගිය ලාංකික නීතිඥ කණ්ඩායම සෞදි නීතීඥවරුන් සමග එක්ව මෙම නඩුවේ දිශානතිය වෙනස් කිරීමට සමත් වූහ.

 

 

ඒ පිළිබඳව ෆයිසර් මුස්තාපා පෙන්වා දුන්නේ මෙවන් අදහසකි.

"අපිට ලැබුණු ලොකුම ජයග්‍රහණය තමයි නීතිමය වශයෙන් 'හද්' (Hadd) කියන දැඩිම දඬුවම් ලැබෙන නෛතික ස්ථාවරයෙන් මේ නඩුව අයින් කරගත්ත එක. 'හද්' කියන වරදකට මරණීය දණ්ඩනය හැර වෙන විකල්පයක් නැහැ. නමුත් අපි ඒක 'තාසීර්' (Ta'zir) කියන තැනට ගෙනාපු නිසා දැන් මහාධිකරණයේ විනිශ්චයකාරවරයාට විශාල අභිමතයක් තියෙනවා සහනයක් ලබා දෙන්න. මරණීය දණ්ඩනය කියන භයානක තත්ත්වයෙන් අපි ඔහුව බේරගත්තා."

 

 

 

ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ අගය

මෙම මෙහෙයුම හුදෙක් එක් තරුණයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමක් පමණක් නොවේ. එය වසර ගණනාවක් තිස්සේ ජාතිවාදයෙන් බැට කෑ ශ්‍රී ලාංකික සමාජයට කදිම පාඩමකි.

 

එහිදී අප වටහාගත යුතු සැබෑ සමාජ යථාර්ථය ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම පැහැදිලි කළේය.

"අපිට වෙලා තියෙන්නේ අපි මුස්ලිම් වෙන්නේ, අපි සිංහල වෙන්නේ, අපි දෙමළ වෙන්නේ වෙනමමයි. අපි පිටරටකට ගියත් හොයන්නේ අපේ කෑල්ල විතරයි. අපි පොදු කොටසක් හොයාගන්නේ නැහැ. 'ලාංකිකයෝ' කියන කොටස නෙමෙයි අපි හොයන්නේ. අපි ශ්‍රී ලාංකික අනන්‍යතාවය හොයාගෙන යාමේ මහා ප්‍රයත්නය ආරම්භ කරන්න ඕනේ එතැනින්."

 

 

 

සියල්ල අවසානයේ ෆයිසර් මුස්තාපා තැබුවේ මෙවන් හැඟුම්බර සටහනකි.

"අපි කිසිසේත්ම මේ කරපු වරද සාධාරණීකරණය කරන්න ගියේ නැහැ. හැබැයි මගේ ජීවිතයේ, ඒ වගේම උපුල්ගේ ජීවිතයේ අපි ලැබූ ලොකුම සතුට තමයි මරණීය දණ්ඩනයට ලක්වූ අපේ ලාංකිකයෙක්ව බේරගන්න ලැබුණු මේ අවස්ථාව. අපිට උපහාර උත්සව අවශ්‍ය නැහැ. ඒ සතුට අපිට හොඳටම ඇති."

 

 

 

අනෝජන්ගේ ජීවිතය දැන් සුරක්ෂිතය. මුස්ලිම් නීතිඥවරයෙකු සහ සිංහල නීතිඥවරයෙකු තම පෞද්ගලික කාලය සහ ශ්‍රමය කැපකරමින් ද්‍රවිඩ තරුණයෙකුගේ ජීවිතය බේරා ගැනීමට කළ මේ මැදිහත්වීම ඉතිහාසයට එක්වනු ඇත.

ඒ, ජාතිවාදයෙන් තොර "ශ්‍රී ලාංකික" ජාතියක් ගොඩනැගීමේ සිහිනයට අපූරු පූර්වාදර්ශයක් සපයමිනි.

 

 

සම්පූර්ණ රූපවාහිනී වැඩසටහන පහතින් නරඹන්න.

 

 

නවතම ලිපි