ද්විපාර්ශ්වික අර්බුද මධ්‍යයේ ඉන්දියාව විසින් අත්හිටුවන ලද පාකිස්තානය සමඟ වන
ජල සම්පත් බෙදාගැනීමේ ගිවිසුම ඉන්දියාව විසින් යළි ක්‍රියාත්මක කළ යුතු බවත්, කාශ්මීර කලාපයේ ඔවුන් ඉදිකරමින් පවතින ජල විදුලි බලාගාරයක කටයුතු සීමා කළ යුතු බවත් හේග් නුවර පිහිටි ස්ථිර බේරුම්කරණ අධිකරණය සඳුදා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී කාශ්මීරයේ සංචාරක ප්‍රදේශයකදී පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ප්‍රහාරයකට සම්බන්ධ ප්‍රහාරකයින් තුන්දෙනාගෙන් දෙදෙනෙකු පාකිස්තාන ජාතිකයින් බවට ඉන්දියාව විසින් හඳුනා ගැනීමෙන් පසු, පාකිස්තාන ගොවිබිම්වලින් 80% කට ජල සැපයුම සහතික කරන මෙම ගිවිසුම ඉන්දියාව විසින් අත්හිටුවන ලදී.
කෙසේ වෙතත්, ඉස්ලාමාබාද් (පාකිස්තාන) රජය අදාළ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රතික්ෂේප කළේය. මීට අමතරව, පසුගිය වසරේ කාශ්මීර කලාපයේ ජල විදුලි ව්‍යාපෘති දෙකක ජලාශවල ධාරිතාව ඉහළ නැංවීමට ඉන්දියාව කටයුතු ආරම්භ කිරීමෙන් පසු පාකිස්තානය ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත්තේය.
රටවල් දෙක අතර යුද්ධ තුනක් සහ තවත් ගැටුම් කිහිපයක් පැවතියද 1960 වසරේ සිට දෙපාර්ශවය විසින්ම ගරු කරන ලද "ඉන්දු ජල ගිවිසුමෙන්" ආවරණය වන එකඟතාවලින් පරිබාහිරව ක්‍රියා කිරීමට ඉන්දියාව ගත් පළමු ප්‍රායෝගික පියවර ලෙස මෙය සැලකිණි.
මේ පිළිබඳව කරුණු දැක්වූ ස්ථිර බේරුම්කරණ අධිකරණය සඳහන් කළේ, ගිවිසුම අවසන් කිරීමට හෝ අත්හිටුවීමට ඉන්දියාවට කිසිදු සාධාරණීකරණයක් නොමැති බැවින්, ඉන්දු ජල ගිවිසුම තවදුරටත් සම්පූර්ණයෙන්ම බලාත්මක වන බවයි. "බටහිර ගංගාවල ජල විදුලි ව්‍යාපෘති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීමට අදාළ වගකීම් ඇතුළුව, මෙම ගිවිසුම යටතේ වන සියලුම බැඳීම් ඉන්දියාව විසින් පිළිපැදිය යුතුයි," යනුවෙන් අන්තර් රාජ්‍ය අධිකරණය පැවසීය.
ඉන්දියාවේ ප්‍රතිචාරය
අදාළ අධිකරණයේ නිල සාමාජිකයෙකු වන ඉන්දියාව, තමන් මෙම අධිකරණය පිළිනොගන්නා බව පවසමින් එහි තීන්දුව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
"ඉන්දියාවේ ස්වෛරී තීරණ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට මෙම ඊනියා බේරුම්කරණ අධිකරණයට කිසිදු අධිකරණ බලයක් නොමැත," යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. තවද, "ඔවුන්ගේ ප්‍රකාශයන්, දැන් හෝ අනාගතයේදී ඉන්දියාව විසින් සිදු කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරනු ඇත," යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඉදිරි ක්‍රියාමාර්ග
හිමාලය කලාපයේ ජල විදුලි බලාගාර ඉදිකිරීම මෙම ගිවිසුමට අනුකූලද යන්න 2027 ජූලි මාසය වන විට ලෝක බැංකුව විසින් පත් කරන ලද ස්වාධීන විශේෂඥයෙකු විසින් විනිශ්චය කරනු ඇති බව අධිකරණය ප්‍රකාශ කළේය.
පාකිස්තානය කළ ඉල්ලීමකට එකඟ වෙමින් අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අදාළ ස්වාධීන විශේෂඥයාගේ තීරණය ලැබී දින 90ක් ගතවන තුරු, රට්ල් (Ratle) ජල විදුලි බලාගාරයේ වේල්ල සහ ජල ලබාගැනීමේ ව්‍යූහය නිශ්චිත මට්ටම්වලට වඩා ඉහළින් ඉදිකිරීමට ඉන්දියාවට අවසර නොමැති බවයි.

