පසුගිය සතියේ නේපාලයේ සහ ටිබෙටයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන්
මියගිය සංඛ්‍යාව ඉරිදා වන විට 750ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 3,044 දෙනෙකු අතුරුදන් වී ඇති බව බලධාරීන් පවසයි. වර්ෂාව හේතුවෙන් ගංගාවල ජල මට්ටම යළිත් ඉහළ යාමත් සමඟ මුදාගැනීමේ කණ්ඩායම් වලට ද ආරක්ෂිත ඉහළ ස්ථාන කරා පසුබසින්නට සිදුව තිබේ.
බදාදා සිදු වූ ග්ලැසියර කඩාවැටීමකින් ඇති වූ රොන්මඩ ප්‍රවාහයක් හේතුවෙන් නේපාල-චීන දේශසීමාව හරහා නිර්මාණය වූ විලක් පිටාර ගැලීමට පටන් ගැනීම නිසා නව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුවිය. ඒ සමඟම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිකුරාදා සිට මුදාගැනීමේ මෙහෙයුම් අවස්ථා කිහිපයකදීම අත්හිටුවීමට සිදුවිය.
රතු කුරුස සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව, පුද්ගලයන් 90,000කට වැඩි පිරිසකට මෙම ඛේදවාචකයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, චීනය පෙන්වා දෙන්නේ මෙය දේශගුණික විපර්යාසවල සෘජු ප්‍රතිඵලයක් බවයි.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සෙනසුරාදා සිය නේපාල සමකච්ඡුකයා සමඟ දුරකථනයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙම රොන්මඩ ප්‍රවාහය මෑත වසරවල ඔවුන් මුහුණ දුන් "දරුණුතම දේශසීමා හරහා වූ ආපදාව" බවයි. එසේම මුදාගැනීමේ මෙහෙයුම් පෙර නොවූ විරූ තරම් දුෂ්කර සහ සංකීර්ණ වී ඇති බව ද ඔහු පැවසූ බව චීන රාජ්‍ය විකාශක CCTV වාර්තා කළේය.
හිමාලයානු ගංගා ඔස්සේ අයිස්, පාෂාණ, මඩ සහ සුන්බුන් මහා ධාරාවක් කඩා වැටීමෙන් පසු, ජල විදුලි බලාගාරවල උමං තුළ සිරවී සිටිතැයි විශ්වාස කෙරෙන සියගණනක් ජනතාව මුදාගැනීම කෙරෙහි නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට දැඩිව අවධානය යොමු කර ඇත.
නේපාලයේ මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2,498ක් අතුරුදන් වී 7,514ක් මේ වන විට මුදාගෙන ඇති බව එරට ආපදා අධිකාරිය පවසයි. සෙනසුරාදා සවස වන විට ගයිරොන්ග් ප්‍රාන්තයේ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් 546 දෙනෙකු අතුරුදන් වී ඇති බව චීනයේ ටිබෙට් බලධාරීන් මාධ්‍ය හමුවකදී පැවසීය.
ටිබෙට් දේශසීමාවේ අතුරුදන් වූ විදේශිකයින් 261 දෙනා රටවල් 23කට අයත් වේ. චීනය විසින් ජාතිකත්වය අනුව නිකුත් කළ පළමු දත්ත වාර්තාවට අනුව, ඒ අතර නේපාල ජාතිකයින් 104ක්, අසල්වැසි ඉන්දියානුවන් 49ක්, ලැට්වියානුවන් 33ක්, ඇමරිකානුවන් 18ක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් 15ක් ද වෙති.
අතුරුදන් වූ සිය පුරවැසියන් සහ විදේශිකයන් හඳුනා ගැනීමට මෙන්ම, ආපදා වළක්වා ගැනීම, අවම කිරීම සහ දේශගුණික විපර්යාස සඳහා ප්‍රතිචාර දැක්වීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට බීජිනය සහ කත්මණ්ඩු පාලනය එක්ව කටයුතු කරමින් සිටින බව CCTV වාර්තා කළේය.
නව වර්ෂාපතනයෙන් පසු ඉරිදා දිනයේ ත්‍රිශූලි ගඟේ ජල මට්ටම යළිත් ඉහළ යාම හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සහ මුදාගැනීමේ සේවකයන්ට ඉහළ බිම් කරා යන ලෙස දැනුම් දුන් බව නේපාල පොලිසිය රොයිටර් පුවත් සේවයට පැවසීය.
සාමාන්‍ය මුදාගැනීමේ කටයුතු සඳහා විදේශීය ආධාර අවශ්‍ය නොවන බව නේපාලය පවසයි. එහෙත් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලොක් බහදූර් ෂෙට්‍රි ප්‍රකාශ කළේ, උමං තුළ සිරවූවන් මුදාගැනීම, DNA පරීක්ෂණ, මළ සිරුරු තබා ගැනීම සඳහා ශීතාගාර සහ දිරාපත් වූ සිරුරු හඳුනාගැනීමේ අධිකරණ වෛද්‍ය කටයුතු වැනි ක්ෂේත්‍ර සඳහා තම රටට විදෙස් සහය අවශ්‍ය බවයි.
ඒ අනුව උමං මාර්ග විවෘත කිරීමේ ප්‍රයත්නයන් සඳහා ඉන්දියානු සහ චීන විශේෂඥයින් මේ වන විටත් භූමියේ සිට සහය වන බව ෂෙට්‍රි පැවසීය.
ගඟ ඉහළින් නිර්මාණය වී මුදාගැනීමේ මෙහෙයුම්වලට තර්ජනයක් වෙමින් පැවති විල සෙනසුරාදා සවස වන විට බොහෝ දුරට සිඳී ගොස් තිබූ බව CCTV පවසයි. නමුත් ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කර ඇත්තේ, සෙනසුරාදා අගභාගයේදී එම විලට කිලෝමීටර් 2.8ක් (සැතපුම් 1.7ක්) පහළින් නව නායයාමක් සිදුවී අලුත් වේල්ලක් සහ ජල තටාකයක් නිර්මාණය වී ඇති බවයි.
මේ හේතුවෙන් බලධාරීන් විසින් ගයිරොන්ග් දේශසීමා හරස් මාර්ගය අසල සිටි මුදාගැනීමේ සේවකයින් ද ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගිය බව එම විකාශකයා සඳහන් කළේය.
මෙම ගංවතුර "ගෝලීය උණුසුමේ දිගුකාලීන බලපෑම් යටතේ ග්ලැසියර අස්ථාවර වීම" හේතුවෙන් ඇති වූවක් බවත්, එය ටිබෙට් සානුවේ "හිමාවරණ ආපදාවන්හි නව සහ කැපී පෙනෙන ලක්ෂණයක්" බවත් CCTV වාර්තා කර ඇත.
ඛේදවාචකයේ ත්‍රාසජනක ඇතුල් පැත්ත විස්තර කරන චීන විද්‍යාඥයින්ගේ සොයාගැනීම් උපුටා දක්වමින් CCTV පැවසුවේ, නේපාලයේ සිට ඇති වූ රොන්මඩ ප්‍රවාහය ගයිරොන්ග් දේශසීමාව වෙත ළඟා වීමට ගත වී ඇත්තේ මිනිත්තු 6ත් 7ත් අතර අතිශය කෙටි කාලයක් බවයි. ජනතාව පලා යාමට උත්සාහ කරද්දීම ගොඩනැගිලි ඇතුළු සියල්ල වේගවත් ජලයට සහ රොන්මඩ වලට යට වී යන ආකාරය දැක්වෙන සංවේදී ආරක්ෂිත කැමරා දර්ශන ලොව පුරා මේ වන විටත් සංසරණය වෙමින් පවතී.
චීනය මේ වන විට මුදාගැනීමේ සේවකයින් 2,100කට වැඩි පිරිසක් යොදවා ඇති අතර සහන කටයුතු සඳහා යුවාන් මිලියන 220ක් (ඇමරිකානු ඩොලර් මිලියන 32.7ක්) වෙන් කර ඇත. එසේම හදිසි මුදල් ආධාර, ආපදා සහන ද්‍රව්‍ය, චන්ද්‍රිකා සහ ජල විද්‍යාත්මක දත්ත සහ උමං මුදාගැනීමේ විශේෂඥයින් ද නේපාලයට ලබා දෙමින් සිටින බව CCTV වැඩිදුරටත් වාර්තා කළේය.
දේශසීමාව අසල ඉදිරිපෙළ මුදාගැනීමේ කණ්ඩායම් වෙත උපකරණ සහ සැපයුම් ගුවනින් හෙළීම සඳහා චීනය බර උසුලන ඩ්‍රෝන යානා භාවිතා කළ අතර හෙලිකොප්ටර් ද ඊට එක්විය. තවමත් අතුරුදන් වී සිටින අය සෙවීම සඳහා හමුදා භටයින් විසින් ජීවිත හඳුනාගැනීමේ විශේෂ උපකරණ (life-detection equipment), ඩ්‍රෝන යානා සහ නාවික සංචාලන පද්ධති (navigation systems) අඛණ්ඩව භාවිතා කරමින් සිටී.
රොයිටර් පුවත් ඇසුරිනි.

