රුපියල් කෝටි 14කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් ව්‍යාජ ඖෂධ තොගයක්
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදීමේ සිද්ධියට අදාළව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතී. බැලූ බැල්මට මෙය දේශපාලඥයින් සහ නිලධාරීන් කිහිපදෙනෙකු පමණක් ඉලක්ක කරගත් නඩුවක් ලෙස පෙනුනද, ඊයේ (19) පැවති නඩු විභාගයේදී මතු වූ කරුණු හරහා හෙළිදරව් වන්නේ ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවයේ සහ ආයතනික පද්ධතියේ පවතින බරපතළ පරිපාලනමය ඛේදවාචකයකි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ඖෂධ විශ්ලේෂකවරියක ලෙස කටයුතු කළ දෝන දීපිකා බුලත්සිංහල ගේ හරස් ප්‍රශ්න කිරීම් හරහා, නීතිය හමුවේ නිරාවරණය වූයේ කිහිපදෙනෙකුගේ මූල්‍ය වංචාවකට වඩා සම්පූර්ණ සෞඛ්‍ය නියාමන ව්‍යුහයේම ඇති වගකීම් විරහිතභාවයයි.

ජංගම දුරකථන එළියෙන් කළ "ජාතික නියාමනය"
ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කිරීම යනු අතිශය විද්‍යාත්මක සහ සූක්ෂම ක්‍රියාවලියකි. එහෙත් අදාළ ව්‍යාජ ඖෂධය නිපදවූ බව කියන 'අයිසොලෙස් බයෝ ෆාමා' ආයතනය පරීක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරීන්ගේ හැසිරීම අධිකරණයේදී පළමු විත්තිකරුගේ නීතිඥ හරේන්ද්‍ර භාණගල විසින් දිගහැරියේ මෙලෙසිනි.
නීතිඥ:
පරීක්ෂාවේදී මොනවද ලැබුණේ?
සාක්ෂිකාරිය:
වහල තිබුනේ. අපි ඇරගෙන ගිහින් විදුලිය නැති නිසා දුරකථන වල ටෝච් දල්වා ගෙන පරීක්ෂා කළා. නිෂ්පාදනාගාරය තුළින් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නිපදවූ බවට කිසිම සාක්ෂියක් ලැබුණේ නැහැ.
නීතිඥ:
සියලු තැන් පරීක්ෂා කරන්න අවශ්‍ය ආලෝකය තිබුණද?
සාක්ෂිකාරිය:
විදුලිය නැහැ. දුරකථනවල ටෝච් වලින් බැලුවේ.
විදුලිය නොමැති අවස්ථාවක, විකල්ප ආලෝකය සපයාගෙන නිසි පරීක්ෂාවක් සිදුකිරීමට තරම් වෘත්තීයභාවයක් අදාළ විමර්ශන කණ්ඩායමට නොතිබූ බව මෙයින් පැහැදිලි වේ. එමෙන්ම අදාළ පරිශ්‍රයේ ගොඩනැගිලි කිහිපයක් තිබියදී ඔවුන් පරීක්ෂා කර ඇත්තේ නිෂ්පාදනාගාරය ලෙස නම් කළ එක් ගොඩනැගිල්ලක් පමණක් බවද අධිකරණයේදී තහවුරු විය.

සහතිකයක් නැති පරීක්ෂණාගාරය සහ වෘත්තීය නොදැනුවත්කම
මෙම නඩු විභාගයේදී මතු වූ වඩාත් බියකරු කරුණ නම්, සමස්ත රටේම ඖෂධවල තත්ත්වය තහවුරු කළ යුතු ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයට නිල තත්ත්ව පරීක්‍ෂණ සහතිකයක් (Accreditation) නොමැති වීමයි.
නීතිඥ:
ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයට තත්ත්ව පරීක්‍ෂණ සහතිකයක් තිබේද ?
සාක්ෂිකාරිය:
නැත ස්වාමීනි.
නීතිඥ:
ඒක දෙන්න ඉල්ලීමක් කරන්න ඕන.
සාක්ෂිකාරිය:
ඔව් 2019 දි අපි ඉල්ලීමක් කළා. ඒක කොවිඩ් ඇතුළු තත්වය නිසා යටපත් වුණා. තාක්ෂණ මෙවලම් තිබුණත් තාක්ෂණ නිලධාරීන් නැහැ.
තවද, රිටක්සිමැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් යන ඖෂධවල සංඝටක පරීක්ෂා කිරීමට තරම් පහසුකම් මෙම රසායනාගාරය සතුව නොතිබූ බවත්, ඔවුන්ට කළ හැකිව තිබුණේ ශුද්‍ර ජීවී පරීක්ෂාවක් පමණක් බවත් සාක්ෂිකාරිය පිළිගත්තාය. මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන පද්ධතියක පවතින තාක්ෂණික සහ මානව සම්පත් හිඟය මෙන්ම පරිපාලනමය අකර්මන්‍යතාවය මෙමඟින් මනාව පිළිඹිබු වේ.
බිඳවැටුණු වගකීම් ජාලය සහ මාරාන්තික ප්‍රතිඵල
පරීක්ෂාවට ලක් කළ ස්ථානයේ තිබී ලේබල් නොමැති හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කුප්පියට සමාන කුප්පි 5ක් සොයාගත්තද, ඒවා තුළ ලෙඩ රෝග හදන බැක්ටීරියා තිබිය හැකි යැයි පවසමින් රසායනාගාරය තුළ පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ බව සාක්ෂිකාරිය පැවසුවාය. එමෙන්ම සාම්පල පහෙන් එකක්වත් රජයේ රස පරීක්ෂකවරයාට හෝ යොමු කර ඇතිදැයි ඇය නොදන්නා බව කියා සිටියාය.
එපමණක් නොව, අදාළ ඖෂධ ජාවාරමට පරිබාහිරව, ලියාපදිංචි ඖෂධ භාවිතයෙන් පවා මරණ සහ අන්ධවීම් වැනි බරපතළ සංකූලතා මීට පෙරද වාර්තා වී ඇති බවට දෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ නැගූ ප්‍රශ්න හමුවේ තහවුරු විය.
නීතිඥ:
ඔබේ සේවා කාලයේ අවසන් භාගයේදී වුණාද?
සාක්ෂිකාරිය:
ඔව්, කො ඇමොක්සික්ලෝව් එන්නතෙන් මරණ සිදු වුනා. පෙඩ්‍රිසිලෝන් අයිඩ්‍රොප් මඟින් ඇස් අන්ධ උනා.
නීතිඥ:
ගබඩා කිරීමේදී ප්‍රවාහනයේදී හානි සිදුවිය හැකිද?
සාක්ෂිකාරිය:
ඔව්.
දඬුවම් දිය යුත්තේ කාටද?
මෙම මහාධිකරණ නඩු විභාගය අපට ලබාදෙන පණිවිඩය ඉතා පැහැදිලිය. පුද්ගලයින් කිහිපදෙනෙකු දඬුකඳේ ගැසූ පමණින් මේ අර්බුදය විසඳෙන්නේ නැත. ජංගම දුරකථන ටෝච් එළියෙන් ඖෂධ කම්හල් පරීක්ෂා කරන, තත්ත්ව සහතිකයක් නොමැතිව ජාතික තත්ත්ව පරීක්ෂණ සිදු කරන, සහ තාක්ෂණික නිලධාරීන් නොමැතිව යන්ත්‍ර දිරාපත්වන රාජ්‍ය සේවයක් තුළ මෙවැනි ඛේදවාචකයන් නිර්මාණය වීම අනිවාර්යයකි.
ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ ගැලවෙමින් පවතින්නේ තෝරාගත් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ පමණක් නොව, දශක ගණනාවක් තිස්සේ පරිහානියට ලක්වූ සමස්ත ශ්‍රී ලාංකීය රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේම සැබෑ නිරුවතයි. තවදුරටත් අපට අවශ්‍ය වන්නේ පුද්ගලයින් දඩයම් කිරීමකට වඩා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකි.

නඩු වාර්තාව
2026/08/19
ව්‍යාජ ලෙස සකසන ලද ඖෂධ තොගයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි 14 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි කියා චෝදනාව ඇතුළු චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ (19) යළි විභාගයට ගැනිණි.
සාක්‍ෂි සඳහා කැඳවා තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඖෂධ විශ්ලේෂක වරියක වන දෝන දීපිකා බුලත්සිංහල විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන්නාය.
පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර භාණගලගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මෙසේ කීවාය.
නීතිඥ ; අයිසොලෙස් බයෝ ෆාමා ආයතනය පරීක්ෂාවට කී වතාවක් ගියාද?
සාක්ෂිකාරිය ; අවස්ථා තුනකදී
නීතිඥ ; අවස්ථා කීයකදී වාර්තා සැකසුවාද?
සාක්ෂිකාරිය ; තුනේදීම ස්වාමීනී
නීතිඥ ; ගියපු දින වකවානු මතකද?
සාක්ෂිකාරිය ; නැහැ
නීතිඥ ; පළමු අවස්ථාවේ 2023 ඔක්තෝම්බරයේ ගියා කිව්වොත් හරිද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; (මාළිගා කන්ද මහේස්ත්‍රාත් නියෝග මත එහි ගොස් සැකසූ වාර්තාව පෙන්වයි) මෙම වාර්තාව ඔබ සැකසූ එකක්ද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; එහි සඳහන් වෙනවා පළමු පරීක්ෂණ දිනය වශයෙන්
සාක්ෂිකාරිය ; එම දිනයට මම සහභාගි වුණේ නැහැ. මම සහභාගී වුනේ දෙවන දිනයේ
නීතිඥ ; 10/25 දින සහභාගි වුණාට පසු තවත් දින දෙකක් සහභාගි වුණාද?
සාක්ෂිකාරිය ; දෙවැනි දිනයේ ගියාම පරීක්ෂා කරන්න ලැබුණේ නැහැ. විදුලි බලය නැති නිසා.
නීතිඥ ; මේ වාර්තාව සැකසූ දිනයේ විදුලිය තිබුණද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී
නීතිඥ ; කවුද ඒ පරීක්ෂාවට ගියේ?
සාක්ෂිකාරිය ; ඖෂධ හා ආහාර පරීක්ෂකවරු දෙකයි. ඖෂධවේදි සහ මම.
නීතිඥ ; ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රධාන විධායක නිලධාරී යන දෙදෙනාගේ උපදෙස් මත ගියේ කියලා මේ වාර්තාවේ තියෙනවා.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නීතිඥ ; දෙවන වතාවේ ගියේ කාගේ උපදෙස් මතද?
සාක්ෂිකාරිය ; මතක හැටියට ලියුමක් තිබුණා.
නීතිඥ ; මොනව ගැන වාර්තාව හදන්නද උපදෙස් ලැබුණේ?
සාක්ෂිකාරිය ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එම කම්හල තුළ හදලා තිබුනද කියල සාක්ෂි ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලැබුණා.
නීතිඥ ; ශක්‍යතාව තිබේද කියලා බලන්නද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි, නිෂ්පාදනය කර ඇත්ද බලන්න
නීතිඥ ; එහි යන්න කලින් NMRA එක අයිසොලෙස් බයෝටෙක් ෆාමා නමින් රාජකාරි කර ඇත්දැයි බැලුවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; ලැබුනද මොනවා හරි තොරතුරු?
සාක්ෂිකාරිය ; මම ඖෂධ නිෂ්පාදන අංශයෙන් ඇහුවා ඖෂධ නිපදවීමට අවසර ලබා දී තිබේද කියා.
නීතිඥ ; ඔක්තෝම්බර් 24 දින මීගමුව අධිකරණයෙන් ඖෂධ හා ආහාර පාලකවරුන්ට ආයතනයට ඇතුල් වෙන්න අවසර දී තිබෙනවා.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; පරීක්ෂාවේදී මොනවද ලැබුණේ?
සාක්ෂිකාරිය ; වහල තිබුනේ. අපි ඇරගෙන ගිහින් විදුලිය නැති නිසා දුරකථන වල ටෝච් දල්වා ගෙන පරීක්ෂා කළා. නිෂ්පාදනාගාරය තුළින් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නිපදවූ බවට කිසිම සාක්ෂියක් ලැබුණේ නැහැ.
නීතිඥ ; මුළු ගොඩනැගිලි පරිශ්‍රයම බැලුවද? ගොඩනැගිලි කීපයක් තිබුණනේ. ඔබ කීයක් බැලුවද?
සාක්ෂිකාරිය ; එකයි
නීතිඥ ; ඔබ මේ පරිශ්‍රයට යන්නේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හැදුවද බලන්න
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි නිෂ්පාදනාගාරය ලෙස නම්කළ ගොඩනැගිල්ල පරීක්ෂා කළා.
නීතිඥ ; අනෙක් ඒවා පරීක්ෂණය කළේ නැද්ද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී
නීතිඥ ; 2023/10/25 දින පරීක්ෂණයට උදව් කරන්න ඔබ යනවා. එහි නිෂ්පාදනාගාරය කියල ගහලා තියෙන ගොඩනැගිල්ල බලලා ආපහු එනවා. ඔබලාගේ වාර්තාවේ නිරීක්ෂණ පහක් තියෙනවා
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; ඔබේ වාර්තාවේ තියෙනවා නිරීක්ෂණ පහක්. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වලට අදාල අමුද්‍රව්‍ය, නිෂ්පාදන හෝ ලියකියවිලි කිසිත් තිබුණෙ නැහැ කියා තිබෙනවා.
සාක්ෂිකාරිය ; අපි හැම තැනම බැලුවා කිසිම දෙයක් හම්බවුණේේ නැහැ
නීතිඥ ; සියලු තැන් පරීක්ෂා කරන්න අවශ්‍ය ආලෝකය තිබුණද?
සාක්ෂිකාරිය ; විදුලිය නැහැ. දුරකථනවල ටෝච් වලින් බැලුවේ.
නීතිඥ ; ඔබට වගකීමක් තිබෙනවා නේද ආලෝකය සපයාගෙන පරීක්ෂා කරන්න.
සාක්ෂිකාරිය ; ඒ වෙනකොට අපි වෙන දිනයක් දාගෙන හිටියේ
නීතිඥ ; ඔබ කියනවා පරීක්ෂණ මට්ටමින් යැයි සැලකිය හැකි ඖෂධ වර්ග තුනකට අයත් එන්නත් තොගයක් හමුවූ බව. ඒවා කල් ඉකුත් වූ ඒවාද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; ඒවායේ නියැදි ගත්තද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී. ආහාර හා ඖෂධ පරීක්ෂකවරු ගත්තා.
නීතිඥ ; ඒ නියැදි ඔබට ලැබුනද?
සාක්ෂිකාරිය ; ඒවා ඖෂධ පරීක්ෂකවරුන් සතුව තිබුණා. අපි කල් ඉකුත් වූ ඖෂධ ගැන පරීක්ෂා කරන්නේ නැහැ.
නීතිඥ ; මේ ඖෂධ තුන සාම්පල් ගත් පසු වෙන කිසිවක් කළේ නැහැ නේද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; සෝදිසි වරෙන්තුවක පිටපතකුත් ඇලෙව්වා නේද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; කවර හෝ අවස්ථාවක යළි පරීක්ෂාවට නියෝගයකුත් ලැබුණද?
සාක්ෂිකාරිය ; ඔව් දිනය මතක නැහැ
නීතිඥ ; මේ අධිකරණ නියෝගය අනුව වාර්තාව සකසන්න ගිය දිනය මතකද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි
නීතිඥ ; 2024 ජනවාරි දහය වැනි දද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; වාර්තාව ඉදිරිපත් කළාද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි (වාර්තාව හඳුනා ගනී)
නීතිඥ ; වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අත්සන් කර තිබෙන්නේ ඔහු කවුද?
සාක්ෂිකාරිය ; NMRA සභාපති
නීතිඥ ; 2024/01/22 ස්ථානීය පරීක්ෂාව කළ වාර්තාව හඳුනාගත හැකිද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; එහි පළමු ඡේදයේ, ඔබ සමග එහි ගිය අය සඳහන් ඒ කවුද?
සාක්ෂිකාරිය ; SOCO පොලිස් නිලධාරීන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, අපේ NMRA ආහාර හා ඖෂධ පරීක්ෂකවරු ඇතුළු පිරිසක් ගියා
නීතිඥ ; එහි තිබූ සියලු අංශ බැලුවද?
සාක්ෂිකාරිය ; ඔව් නිෂ්පාදනාගාරය හොඳින් බැලුවා. අනෙක් ගොඩනැගිලි බැලුවේ නැහැ
නීතිඥ ; පළමු චූදිත සහභාගි වුණාද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; එදා ආලෝකය තිබුනද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; අංශ දාහතක් පරීක්ෂා කළ බව කියනවා
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; කලින් ඒවා තිබුනෙ නැද්ද?
සාක්ෂිකාරිය ; තියෙන්න ඇති. ඒ ගැන විශේෂයෙන් මතක නැහැ.
නීතිඥ ; ආයතනයේ දොරවල් සියල්ල වැහිලා තිබුනේ කියා තිබෙනවා.
සාක්ෂිකාරිය ; ආලෝකය වැටෙන්නෙ තැන් තිබුණේ නැහැ. ගොඩනැගිල්ල හරිම අඳුරුයි.
නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ ගොඩනැගිල්ල ගැන අසත්‍ය ප්‍රකාශ කරනවා කියලා
සාක්ෂිකාරිය ; මම ප්‍රතික්ෂේප කරනවා
නීතිඥ ; ඔබ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය කියලා 11 වන අයිතමයේ අංක දෙක කියලා විශේෂ සටහනක දාලා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කුප්පියට සමාන කුප්පි පහක් ලේබල් නැතුව හමුවූ බව සඳහන් කර තිබෙනවා. කවුද ඒවා ගත්තේ?
සාක්ෂිකාරිය ; ආහාර හා ඖෂධ පරීක්ෂකවරු
නීතිඥ ; ඔබේ අංශයට එය පරීක්ෂාවට එව්වද?
සාක්ෂිකාරිය ; ඒවා තුළ ඇත්තේ කුමක්ද දන්නේ නැහැ. ඒ නිසා එය අපේ රසායනාගාර තුළ පරීක්ෂා කරන්නේ නැහැ. එසේ කිරීම අහිතකරයි. ඒ බව අපි වාර්තා කළා
නීතිඥ ; අධිකරණයට ඒ කුප්පි ඉදිරිපත් කළාද?
සාක්ෂිකාරිය ; ඒවා ඇත්තේ ආහාර හා ඖෂධ පාලක වරුන් ළඟ.
නීතිඥ ; නමුත් ඒ සාම්පල පරීක්ෂා කළ යුතුයි නේද?
සාක්ෂිකාරිය ; ඔව් ඒත් එහි ලෙඩ රෝග හදන බැක්ටීරියා තියෙන්න පුළුවන්. එවැන්නක් විශේෂිත ක්‍රමයකටයි පරීක්ෂා කළ යුතු. මේ තුළ තිබෙන දේ කුමක්දැයි නොදැන පරීක්ෂා කළ නොහැකියි.
නීතිඥ ; ඒ සාම්පල පහෙන් එකක්වත් රජයේ රස පරීක්ෂකට යැව්වේ නැද්ද?
සාක්ෂිකාරිය ; ඒක දන්නෙ නැහැ
නීතිඥ ; ඔබේ වාර්තාව අනුව සක්‍රීය තත්ත්වයේ නොතිබූ සාම්පල අරන් ගියේ ?
සාක්ෂිකාරිය ; ඖෂධ හා ආහාර පරීක්ෂකවරු ගත්තා
නීතිඥ ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වුවද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; එම නිෂ්පාදනාගාරයේ තිබූ යන්ත්‍ර සූත්‍ර බැලුවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; ඒ යන්ත්‍ර සූත්‍ර ඔබට හඳුනාගන්නන පුළුවන්ද? (ඡායාරූප පෙන්වයි)
සාක්ෂිකාරිය ; යන්ත්‍ර කීපයක් තිබුණා. වීදුරු දොරෙන් තමයි බැලුවේ. මට හරියට මතක නැහැ එළියෙ ඉඳන් බැලුවද කියලා. පළමු චූදිත එළිය රැඳී සිටියා.
නීතිඥ ; ඇයි ඔහු ඇතුලට කැඳවාගෙන නොගියේ
සාක්ෂිකාරිය ; ඇතුලට ගියා වගේ මතකයි. හරියට මතක නෑ. මේ යන්ත්‍ර පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ. මේ නිෂ්පාදකයා ඖෂධ නිෂ්පාදනය කරන හැටි බලන්න නෙවෙයි ගියේ. ඖෂධ හැදුවද බලන්න.
නීතිඥ ; ඔබ ගියේ inspection වලට නේද?
සාක්ෂිකාරිය ; අපි ගියේ හදල තියෙනවද බලන්න
විනිසුරු ; කොහොමද බැලුවේ?
සාක්ෂිකාරිය ; ලේඛන, සාම්පල්, අමුද්‍රව්‍ය, ලේබල් ආදිය තියේද බැලුවා. එවැනි කිසිවක් හමුවුණේ නැහැ.
නීතිඥ ; ඔබ විසින් 2024/01/22 දින ලබා දී ඇත්තේ සම්පූර්ණ වාර්තාවක් කියා මා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; මගේ දැනුමේ හැටියට ඒක කරුණු එක්ක ඉදිරිපත් කළ වාර්තාවක්.
නීතිඥ ; නැවත වැඩිදුරටත් යෝජනා කරනවා 1V 38 වාර්තා නිසි ඇගයීමක් කරන ලද වාර්තාවක් නොවෙයි කියලා.
සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා. අවශ්‍ය කරුණු ඉදිරිපත් කළා
නීතිඥ ; ඔබට පළමුව ලැබුණු සාම්පල් ගිහින් ගත්තද ලැබුණු ඒවාද?
සාක්ෂිකාරිය ; ලැබුණු ඒවා
නීතිඥ ; ඊළඟ සාම්පල් 90 කොහෙන්ද?
සාක්ෂිකාරිය ; අපේ නිලධාරීන් ගිහින් ගත්තා
නීතිඥ ; ගිහින් ගත්තද ගෙනත් දුන්නද ඒවා ලේඛනවලින් බලා ගන්නන බැරිද?
සාක්ෂිකාරිය ; නිවැරදිව කිව නොහැකියි
නීතිඥ ; ගෙනාවද ගිහින් ගත්තද කියලා බලාගන්න ලේඛනයක් තියෙනවද?
සාක්ෂිකාරිය ; ඔව් තියනවා
නීතිඥ ; ගිහින් ගත්තු බව මේ ලේඛනවල තියෙනවද
සාක්ෂිකාරිය ; නැහැ මෙහි සඳහන් නැහැ
නීතිඥ ; ඒ කියන්නේ ගිහින් ගත්තා වෙන්න බැහැ
සාක්ෂිකාරිය ; ඒක මට මේ වෙලාවේ පැහැදිලිව කියන්න බැහැ
නීතිඥ ; එකතු කළ/ ඉදිරිපත් කළ කියන මේ ලේඛනයේ තියෙනවා. එහි ඉදිරිපත් කළ කියන එක කපලා. මේ ලේඛනය දැක්කම පේනවා. ගිහින් අරගත් බව. මේකට පාදක කරගත්ත ලියවිල්ල කුමක්ද?
සාක්ෂිකාරිය ; මේකට අත්සන් කරලා තියෙන්නේ. ඒ කාලේ වැඩ බැලූ නිලධාරිනිය. ඇය පරීක්ෂා කර සඳහන් කරන්න ඇති
නීතිඥ ; ඔබ කලින්, පරිශීලනය කළ ලේඛන කට්ටල තියේද බලන්න
සාක්ෂිකාරිය ; අපේ මේ සම්පූර්ණ වාර්තාව work sheet වල තියෙනවා.
නීතිඥ ; 408 - V ලේඛනය බලන්න. එහි සඳහන් වෙන්නෙත් එකතු කළ බව. ඔබ සතු ලේඛනලේඛනවල එම සාම්පල එකතු කලාද නැද්ද කියලා කිව හැකිද?
සාක්ෂිකාරිය ; work sheet බලලා තමයි ස්වාමීනී
නීතිඥ ; 401 -IX මෙහි ප්‍රභවය වන්නේ කුමක්ද?
සාක්ෂිකාරිය ; ඉදිරිපත් කළ සාම්පලයක්
නීතිඥ ; 405 - I , 408 - IX වගේ ලේඛන වල Does not conferm කියා තිබෙනවා
සාක්ෂිකාරිය ; එහි ප්‍රතිඵල තහවුරු වී නැහැ
නීතිඥ ; ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයට තත්ත්ව පරීක්‍ෂණ සහතිකයක් තිබේද ?
සාක්ෂිකාරිය ; නැත ස්වාමීනි
නීතිඥ ; එය දෙන්නේ කවුද?
සාක්ෂිකාරිය ; ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය
නීතිඥ ; ඒක දෙන්න ඉල්ලීමක් කරන්න ඕන.
සාක්ෂිකාරිය ; ඔව් 2019 දි අපි ඉල්ලීමක් කළා. ඒක කොවිඩ් ඇතුළු තත්වය නිසා යටපත් වුණා
නීතිඥ ; යළි ඉල්ලුවේ නැහැ කාර්ය මණ්ඩල නැති නිසා.
සාක්ෂිකාරිය ; ඔව් තාක්ෂණ මෙවලම් තිබුණත් තාක්ෂණ නිලධාරීන් නැහැ.
නීතිඥ ; මෙම පරීක්‍ෂණ කළේ ඔබද?
සාක්ෂිකාරිය ; මගේ අධීක්ෂණය යටතේ
නීතිඥ ; ඔබ ලැමිනා එයාර් ෆ්ලෝ කියන පද්ධතිය තුලයි මේ පරීක්ෂණය කලේ?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; ඒ තුළ වුවත් තත්ත්වයන් පවත්වා ගත යුතුයි නේද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; මම යෝජනා කරනවා මේ වාර්තා සැකසූ පරීක්ෂණාගාරයේ සුදුසුකම් නැති වාර්තාවක් කියා.
සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා
නීතිඥ ; ජීවානු හරිත සාම්පලයක් අසමත් වෙන්නේ බැක්ටීරියා නිසා පමණද?
සාක්ෂිකාරිය ; බැක්ටීරියා , දිලීර දෙකෙන්ම එහෙම වෙන්න පුළුවන්
නීතිඥ ; බැක්ටීරියා ඇනටොක්සින් නොතිබූ සාම්පලවල වෙනත් දෙයක් තිබුණද?
සාක්ෂිකාරිය ; නැහැ
නීතිඥ ; වයිරස් තිබුනද?
සාක්ෂිකාරිය ; නැහැ. වයිරස් ඇතිවෙන්නේ ජීවී සෛලවල
නීතිඥ ; ඔබ සියලු වාර්තාවල පසු පිටේ සඳහන් කරනවා speling mistake of the sample කියලා තියෙනවා
සාක්ෂිකාරිය ; අපේ වර්ක් ෂීට්වල සඳහන් කරුණු අනුව (405 (VIII) අනුව)
නීතිඥ ; 405 - IX අවසන් වාර්තාවේ පසු පිටේ තියෙනවා NMQL observer කියා ඔබ කරුණු සඳහන් කර තිබෙනවා. එය ඔබ දුන් වාර්තාවක්ද?
සාක්ෂිකාරිය ; ඔව් මම දුන් වාර්තාවක් ස්වාමීනී
නීතිඥ ; එහි වර්ක් ශීට් වල පිටපත් ඉදිරිපත් කර තිබේද?
සාක්ෂිකාරිය ; මෙතනට ඉදිරිපත් කර නැහැ
නීතිඥ ; 2023/10/11 මේ වාර්තාව දෙන වෙලාවේ ඔබේ සභාපති කියන කාරණයක් තියෙනවා ඒ මොකක්ද
සාක්ෂිකාරිය ; අයිසොලෙස් බයෝ ෆාමා බලන්න ගියා. අධිකරණ නියෝග නැතිව බලන්න දුන්නේ නැහැ කියා
නීතිඥ ; ඔබ ආරක්ෂාව පතා ඉබි අතුරු දැමුවා. යළි ජනවාරි 22 පරීක්ෂාවට ගියා. ඒ වෙලාවේ යතුරු තිබුනේ ඔබ අතේ ආයතනය සතුව.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; 2024/01/24 වනතුරු යතුරු තිබුනේ අදාළ නිලධාරීන් ළඟ. ඒවා තිබුණු තත්ත්වයේ තිබුණාද
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ; මේ නඩුවේ පළමු විත්තිකරු හෝ පැමිණිලි කළේ නැද්ද? ආපසු වැසුවේ ඒ නිලධාරීන්මද
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නීතිඥ; යළි මුද්‍රා තැබුවාද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; මේ වෙනකොට යතුරු කොහෙද?
සාක්ෂිකාරිය ; දන්නේ නැහැ
නීතිඥ ; ඔබ කවදද අයින් වුනේ?
සාක්ෂිකාරිය; 2024 /9 මාසයේ
නීතිඥ ; ඉන්පසු ඒ සම්බන්ධ කුමන හෝ රාජකාරියක් කළා?
සාක්ෂිකාරිය ; නැහැ
නීතිඥ ; සීඅයිඩීය ඔබෙන් මේ ලේඛන ගැන ප්‍රකාශ ගත්තා
සාක්ෂිකාරිය; ඔව් ස්වාමීනි
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන ප්‍රකාශ ගනිද්දී කලින් හේතු පැහැදිලි කළාද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; ඔබ ලබා දුන් ලේඛන තමයි මේ ලකුණු කර ඉදිරිපත් කර තිබෙන්නේ
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; ඔබේ ආයතනයට රෝහල්වලින් ලද සාම්පල ලියාපදිංචි කිරීම හා අදාල අංශවලින් බෙදාහැරීම ගැන කියද්දි රසායන අංශයට හා ශුද්‍ර ජීවී අංශයට දුන් බව කීවා. MRI එකට දුන් බවත් කීවා.
සාක්ෂිකාරිය ; ඔව් CEO ගේ නියෝග පරිදි දුන්නා ලේ බැංකුවටත් දුන්නා, ඔවුන් පරීක්ෂා කළ නොහැකි බව කීවා.
නීතිඥ ; රිටක්සිමැබ් ඖෂධය පිළිකා රෝහලටත් පරීක්ෂාව සඳහා යවා ඇති බව දන්නවද?
සාක්ෂිකාරිය; ඔව්
නීතිඥ ; එසේ යැව්වේ කාගේ තීරණයක් මතද?
සාක්ෂිකාරිය ; සභාපති යවන්න කීවා. CEO ගේ ලියුමක් සමග යැව්වා
නීතිඥ ; රිටක්සිමැබ් සාම්පල කීයක් තිබුණද?
සාක්ෂිකාරිය ; 40 යි
නීතිඥ ; එයින් අපේක්ෂා රෝහලට කීයක් යැව්වද?
සාක්ෂිකාරිය ; මතක නැහැ
නීතිඥ ; වෙනත් තැන්වලටත් යැව්වද?
සාක්ෂිකාරිය ; නිවැරදි මතකයක් නැහැ
නීතිඥ ; compleet disrbusion registry එකක් තියනවා නේද? ඒකෙ නැද්ද?
සාක්ෂිකාරිය ; ඒකෙ තියෙන්නෙ ආයතනය ඇතුළෙ අංශවලට යන ඒවා
නීතිඥ ; ඒවා ඔබ අධිකරණයට ඉදිරිපත් කළාද. ?
සාක්ෂිකාරිය ; නැහැ
නීතිඥ ; පිටට යවන්න අවසර අනුමැතියි අවශ්‍යයි නේද?
සාක්ෂිකාරිය ; ලේඛන පරීක්ෂා නොකර කිව නොහැකියි.
නීතිඥ ; මේ පරීක්ෂණ කටයුතුවලට යැවූ ඒවා හැර ඉතිරි ඒවා තිබේද?
සාක්ෂිකාරිය ; තිබිය යුතුයි
නීතිඥ; ඒවා ගැන යම් ලේඛනයක් තිබේද?
සාක්ෂිකාරිය ; නැහැ
නීතිඥ ; වෙනත් තැන්වලට බෙදාහැරියද කියා දන්නේ නැද්ද?
සාක්ෂිකාරිය ; මතක නැහැ
තුන්වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන ප්‍රශ්න අසයි
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන ඔබ සාක්ෂි දුන්නා. ඒවා පවුඩර් ලෙස ලබාගත හැකිද ?
සාක්ෂිකාරිය ; ඔව් පුළුවන්
නීතිඥ ; දියරයක් ලෙසත් පුළුවන්ද.?
සාක්ෂිකාරිය ; ඔව් පුළුවන්
නීතිඥ ; ඔබ පරීක්ෂා කළ සාම්පලවල ලේබල පරීක්ෂා කළාද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; කුප්පියේ තියෙන ලේබලයත් බැලුවද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; ගබඩා කිරීමේ තත්ත්ව ගැන සඳහන් කර තිබේද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; ඔබට සාම්පල අනූවක් ලැබුණා කිව්වොත් නිවැරදිද
සාක්ෂිකාරිය ; සාම්පල 140 ක් ලැබුණා
(දෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ ප්‍රශ්න ඇසීම අරඹයි.
ඔහු විසින් පෙන්වා සාක්ෂිකාරිය විසින් හඳුනාගත් ලේඛනයක් පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම විරෝධය පළ කළ අවස්ථාවේ විනිසුරු මඩුල්ල කියා සිටියේ, එය ඔප්පු කිරීමේ භාරයට යටත්ව භාරගත හැකිි බවය.
ඒ අනුව එම ලේඛනය 2V 53 ලෙස ලකුණු කරන ලදී.
නීතිඥ; 2V 53 ලේඛනය ආයතනයේ අධ්‍යක්ෂකගේ. ඔහු කවුද?
සාක්ෂිකාරිය ; අජිත් ප්‍රියදර්ශන
නීතිඥ ; ඔබ ඔහු හා වැඩ කර තිබේද?
සාක්ෂිකාරිය ; මා පැමිණි දා සිට ඔහු විශ්‍රාම යනතුරු වැඩකට වැඩ කළා.
නීතිඥ ; මෙහි 6 ,8 ඖෂධ මොනවද?
සාක්ෂිකාරිය ; රිටක්සිමැබ් හා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්. මෙම ඖෂධ දෙක පරීක්ෂාවට පහසුකම් නැහැ. මේවා බයොලොජිකල් ප්‍රඩක්ෂන්.
නීතිඥ ; ඊමේල් මාර්ගයෙන් ඖෂධ යොමු කළ බව කීවා.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; එහි රිටක්සිමැබ් ඇතුළත්
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නීතිඥ ; 2V 44 ඊමේල් පණිවිඩයේ අන්තර්ගත වන්නේ ඔබ ආයතනයට සාම්පල පරීක්ෂා හැකියාව නැති බව.
සාක්ෂිකාරිය ; ශුද්‍ර ජීවී පරීක්ෂාව හැර අනෙක් පරීක්ෂා කරන්න බැහැ.
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හඳුනා ගන්න සංඝටකයක් තිබේද.?
සාක්ෂිකාරිය ; IGG තමයි ඒක තිබේද බලන්න පහසුකම් නැහැ.
නීතිඥ ; රිටක්සිමැබ් තිබේද බැලීමට ?
සාක්ෂිකාරිය ; මොනොක්ලෝර් ඇන්ටි බොඩි තිබේද බැලිය යුතුයි. එය බැලීමටත් පහසුකම් නැහැ.
නීතිඥ ; ඖෂධ වලින් රෝගීන්ට විවිධාකාර මත ;Advab drngreaction ඇතිවිය හැකියි.
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; එවිට ඖෂධ withdraw හෝ withhold සිදුවන්නේ NMRA යටතේ
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; බරපතල ගණයේ සිද්ධීන් ඇතිවිය හැකි බවත් ඔබ කීවා. එවැනි ඒවා මතකද?
සාක්ෂිකාරිය ; වාර්තා වුණා. ඒත් මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ
නීතිඥ ; ඔබේ සේවා කාලයේ අවසන් භාගයේදී වුණාද?
සාක්ෂිකාරිය ; ඔව් , කො ඇමොක්සික්ලෝව් එන්නතෙන් මරණ සිදු වුනා. පෙඩ්‍රිසිලෝන් අයිඩ්‍රොප් මඟින් ඇස් අන්ධ උනා.
නීතිඥ ; එවැනි reaction NMRA ලියාපදිංචි වුණ ඒවා මගිනුත් වෙනවා.
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; ඔබ විද්‍යාව සමග කටයුතු කරන නිසා විවිධාකාර හේතු වලින් සිදුවිය හැකි බව දන්නවා.
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; ඒ කවර හේතු මතද.?
සාක්ෂිකාරිය ; නිෂ්පාදන ක්‍රියාවලියේ වැරදි, වැරදි උෂ්ණත්වය, අඩංගු දේ ආදී හේතු තිබිය හැකියි.
නීතිඥ ; ගබඩා කිරීමේදී ප්‍රවාහනයේදී හානි සිදුවිය හැකිද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; Adverb drug rection වාර්තා වුණ ගමන් ඖෂධ withhold හෝ withdraw කරන්නේ නැහැ
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී. ඒ සඳහා NMRA හි එෆ්රෙක්ට් කමිටුව රැස්ව තීරණ ගන්නවා.
නීතිඥ ; එක මරණයක් වුණත් රැස්වෙනවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
අද (20) දින යළි නඩු විභාගය පැවැත්වේ.

