SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් රජය යටතේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා 'ට්‍රයිඩන්ට් චෙම්ෆාර්'

(Trident Chemphar) සමාගම හරහා ආනයනය කරන ලද ගල්අඟුරු නෞකා 19ම සම්පූර්ණයෙන්ම ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු බව මේ වනවිට තහවුරු වී හමාරය. ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියෙන් සියයට 40ක පමණ දායකත්වයක් සපයන රටේ ප්‍රධානතම බලාගාරය, හුදෙක් අතරමැදියන්ගේ අනිසි ලාභය වෙනුවෙන් මෙලෙස අතිශය අවදානම් සහගත ඛේදවාචකයකට ඇදදමා තිබේ.

 

 

ගල්අඟුරු තොගයක ගුණාත්මකභාවය මනින ප්‍රධානතම දර්ශකය වන්නේ එහි දළ කැලරි අගයයි (GCV). ලංකා ගල්අඟුරු සමාගමේ ප්‍රමිතීන්ට අනුව මෙය 6,150 kcal/kg විය යුතු අතර, 5,900 ට අඩු නම් අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුය. එහෙත් අදාළ නෞකා 19න් ගෙන ආ එකදු ගල්අඟුරු තොගයක් හෝ මෙම අවම සීමාව පසුකර නොමැති අතර, ඇතැම් තොගවල කැලරි අගය 4,762 තරම් අතිශය ඛේදනීය මට්ටමකට වැටී ඇත. මෙය ගල්අඟුරුවල ශක්ති ඝනත්වය සියයට 22කින් පමණ කඩාවැටීමක් වන අතර, එය සමස්ත බලශක්ති පද්ධතියම දැනුවත්වම අනතුරේ හෙළීමකි.

 

 බලශක්ති අමාත්‍ය විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි වැඩ අරඹයි

 

මෙම මහා පරිමාණ වංචාවේ වඩාත්ම සැකකටයුතු ස්ථානය වන්නේ තත්ත්ව පරීක්ෂණ යාන්ත්‍රණයයි. ලක්විජය බලාගාරයේ අභ්‍යන්තර රසායනාගාරයෙන් ලබාගත් සාම්පල හරහා මෙම ගල්අඟුරු බාල බව ඔප්පු වෙද්දී, පරීක්ෂණ කොන්ත්‍රාත්තුව භාරව සිටි ඉන්දියානු 'කොට්ක්නා' ආයතනය ඒවා ප්‍රමිතියට අනුකූල බවට ව්‍යාජ සහතික නිකුත් කර ඇත.

 

 

ටෙන්ඩර් කොන්දේසිවලට අනුව පටවන වරායේ ගුණාත්මක වාර්තා (Load-port quality reports) මත පදනම්ව නැව්ගත කිරීමේදී සම්පූර්ණ මුදලින් 80%ක් සැපයුම්කරුට ගෙවීමට එකඟ වී තිබීම හරහා මෙරට රාජ්‍ය මුදල් අතිශය අනාරක්ෂිත තත්ත්වයකට පත්විය. ඉතිරි 20%ක මුදල ගෙවීමට නියමිතව තිබුණේ පුත්තලමේදී ගොඩබෑමෙන් පසු ගුණාත්මකභාවය තහවුරු කිරීමෙන් අනතුරුවය.

 

 

මෙවැනි බාල අමුද්‍රව්‍ය රටට ඇතුළු වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ටෙන්ඩර් නිර්ණායක බලධාරීන් විසින් අත්තනෝමතික ලෙස ලිහිල් කිරීමය. ඒ හරහා කිසිදු සුදුසුකමක් නොමැති අතරමැදියන්ට බලශක්ති සැපයුම් දාමයට රිංගා ගැනීමට අවස්ථාව ලැබී ඇත. ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ ඉහළ අළු ප්‍රතිශතයක් (16.8%) තිබූ 'MV JOSCO YONGZHOU' නෞකාවේ ගල්අඟුරු තොගය විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළ නිරුපද්‍රිතව ගොඩබෑමට අවසර දීමෙන් නියාමන ආයතනවල නිරුවත සහ පද්ධතියේ දූෂිතභාවය මනාව පැහැදිලි වේ.

 

 

 

මෙම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතයේ සෘජු වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ බලාගාරයේ සංවේදී යන්ත්‍ර සූත්‍රවලටය. යන්ත්‍ර අභ්‍යන්තරයේ අවහිරතා මතුවීම සහ පයිරයිට් (Pyrites) බහුල වීම හේතුවෙන් ඇතිවන හානි මීට නිදසුන්ය.

 

 sasasasa.jpeg

 

ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තිකයා වන විදුලි උත්පාදන ලංකා සමාගම (EGL) පෙන්වා දෙන පරිදි, යන්ත්‍රවලට සිදුවී ඇති අසාමාන්‍ය හානිය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති වුවද, මාස හතරක කෙටි කාලයක් තුළ මෝල් නඩත්තුව, පයිරයිට් ඉවත් කිරීම සහ අවහිරතා පිරිසිදු කිරීම වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 1.33ක අමතර නඩත්තු පිරිවැයක් දැරීමට සිදුව ඇත.

 

 

EGL සමාගම විසින් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට ලබාදුන් නවතම දත්ත අනුව, මෙම ගල්අඟුරුවල කැලරි අගය අඩුවීම හේතුවෙන් අවශ්‍ය තාපය නිපදවීමට වෙනදාට වඩා විශාල ගල්අඟුරු ප්‍රමාණයක් අමතරව දහනය කිරීමට සිදුවී ඇත. මේ හේතුවෙන් මාර්තු 1 සිට ජුනි 30 දක්වා මාස හතරක කාලය තුළ පමණක් සිදුවී ඇති ඍජු මූල්‍ය අලාභය රුපියල් බිලියන 5.68 කි. බලාගාරයේ ධාරිතාව අඩුවීම හේතුවෙන් විකල්ප ඩීසල් බලාගාර මත යැපීමට සිදුවීමෙන් වන බිලියන 10කට ආසන්න අතිරේක පාඩුව මීට ඇතුළත් නොවේ.

 

 TRIDENT CHEMPHAR LIMITED | LinkedIn

කෙසේ වෙතත්, කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් සැපයුම්කරුට එරෙහිව යම් නෛතික පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත. ඒ අනුව ට්‍රයිඩන්ට් චෙම්ෆාර් සමාගම විසින් තබා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 14.75ක (රුපියල් බිලියන 4ක) කාර්ය සාධන බැඳුම්කරය (Performance Bond) රාජසන්තක කිරීමට EGL සමාගම පියවර ගෙන තිබේ. සම්පූර්ණ ගණනය කිරීම්වලට අනුව, මේ වනවිට කොන්ත්‍රාත් කොන්දේසි යටතේ ඩොලර් මිලියන 51.2ක (රුපියල් බිලියන 16.9ක) මුදලක් ආපසු අයකර ගැනීමට හැකිවී තිබීම පමණක් මෙහි ඇති එකම සහනදායි තත්ත්වයයි.

 

 

මෙය හුදෙක් පරිපාලනමය දුර්වලතාවක් නොව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ දඬුවම් ලැබිය යුතු බරපතල රාජ්‍ය මුදල් අවභාවිතයකි. නොරොච්චෝලේ යනු රටේ ආර්ථික ස්පන්දනයයි. එයට එල්ල වන මෙවැනි ප්‍රසම්පාදන ප්‍රහාර ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජනයක් ලෙස සලකා, වගකිවයුතු සියලුම පාර්ශ්ව නීතිය ඉදිරියට ගෙන ආ යුතු අතර, දැඩි නියාමන ප්‍රතිසංස්කරණ හරහා රටේ අනාගත බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම පැහැර හැරිය නොහැකි ජාතික වගකීමකි.

 

නවතම ලිපි