SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නියෝගයකට අනුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී

පනත සඳහා නව සංශෝධන මාලාවක් පසුගිය ජූලි 24 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් හරහා ප්‍රකාශයට පත් කර තිබේ.

 

 

බලයට පත්වී වසර එකහමාරක් පමණ ගතවන තුරුත් ජනතාව ලබා දුන් දැවැන්ත බලය නිසි පරිදි අභ්‍යාස නොකරන්නේ යැයි විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි චෝදනාවන්ට ලක්වූ වත්මන් ජාතික ජන බලවේග රජය, මෑතක සිට ස්වකීය අරමුණු සහ මැතිවරණ පොරොන්දු ඉටු කරගනිමින් සිටින බවක් මෙම දැඩි නීතිමය ක්‍රියාමාර්ග හරහා පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

 

 

විශේෂයෙන්ම, සංකීර්ණ මූල්‍ය අපරාධවල සැඟවී සිටින ඉහළ පෙළේ මහමොළකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහා, දූෂණ ජාලයන්හි පහළ මට්ටමේ සිටින 'සහචරයින්ට' (Accomplices) නඩු පැවරීමෙන් වැළකී සිටීමට අල්ලස් හා දූෂණ කොමිසමේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයාට නව සංශෝධන හරහා සුවිශේෂී බලයක් හිමි වේ. අදාළ පනත් සංශෝධන වාර්තාවට අනුව,

 

"යම් වරදක් සම්බන්ධයෙන් තමන් දන්නා සියලු තත්ත්වයන් පිළිබඳව පූර්ණ සහ සත්‍යවාදී හෙළිදරව්වක් සිදු කරන සහචරයෙකුට එරෙහිව චෝදනා ගොනු නොකිරීමට හෝ නඩු නොපැවරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ලබා දීම සඳහා කොමිෂන් සභාවට අවසර ලබා දිය හැකිය."

["The Commission will also be able to authorise the Director-General not to charge or prosecute an accomplice who makes a full and truthful disclosure of all the circumstances of the offence known to them." ]

 

 

නව සංශෝධනයට අනුව, දූෂණයෙන් උපයාගත් දේපළවල වටිනාකම මෙන් තුන් ගුණයකට නොඅඩු දඩයක් පැනවීමට අධිකරණයට අනිවාර්ය බලයක් හිමි වන අතර, දූෂිත ක්‍රියාවක් හරහා ලබාගත් පත්වීම්, වරප්‍රසාද හෝ වෙනත් ප්‍රතිලාභ වරදකරු වන දිනයේ සිටම නෛතිකව අහෝසි වී යයි. එසේම 67 වැනි වගන්තිය සංශෝධනය කිරීම හරහා, මහාධිකරණයේ පමණක් නොව මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කර ඇති චෝදනා පවා ඉල්ලා අස්කර ගැනීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ලැබේ. ඒ සම්බන්ධයෙන් අදාළ පනත් සංශෝධනය දක්වන්නේ මෙසේයි'

 

 

‍"අදාළ අධිකරණයේ අවසරය ඇතිව, කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මහාධිකරණයේ පමණක් නොව මහේස්ත්‍රාත් අධිකරණයක ගොනු කර ඇති චෝදනා පවා ඉල්ලා අස්කර ගැනීමට හැකියාව ලැබේ."

["With the permission of the relevant court, the Director-General of the Commission will be able to withdraw charges filed not only in the High Court but also in a Magistrate's Court." ]

 

 

මෙම නීති කොතරම් ප්‍රබල වුවද, ඒවා ක්‍රියාත්මක කරන ආයතනය පවතින්නේ දැඩි මානව සම්පත් හිඟයකිනි. කොමිසමට 967 ක කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වුවද, නව බඳවා ගැනීම් මහා භාණ්ඩාගාරය විසින් දැඩි මූල්‍ය රෙගුලාසි පෙන්වමින් දිගින් දිගටම අවහිර කරමින් සිටී. පොලිස් සේවයේ නිලධාරීන් තාවකාලිකව හෝ අනුයුක්ත කිරීමට ඉඩ සලසා ඇතත්, විශේෂඥ මූල්‍ය නිලධාරීන් නොමැතිව පොලීසිය මතම යැපීම කොමිසමේ ස්වාධීනත්වයට ප්‍රබල බාධාවකි.

 

 

වත්කම් සහ බැරකම් ප්‍රකාශන නීති යටතේ සහජීවනයෙන් වෙසෙන සහකරුවන්ගේ වත්කම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම, දූෂිතයින්ට මුදල් සඟවා තැබීමට දුන් නීතිමය සිදුරක් බවට සිවිල් සංවිධාන පෙන්වා දෙයි. එහෙත්, අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ, සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ගේ පෞද්ගලිකත්වය රැකීම මෙහි අරමුණ බවත්, දේශපාලනඥයින්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශන මහජනතාවට විවෘතව තැබීමට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන බවත්ය.

 

 

කෙසේ වෙතත්, දූෂණය අවම කිරීමට නීති සම්පාදනය පමණක් කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර, භාණ්ඩාගාරයේ පරිපාලන ග්‍රහණයෙන් කොමිසම මුදාගෙන ඊට සැබෑ මූල්‍ය ස්වාධීනත්වය ලබා දීම අත්‍යවශ්‍ය බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

 

නවතම ලිපි