ඊයේ (20) හදිසියේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා ශ්‍රී ලංකාවට පැමිණ
ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම වත්මන් ආණ්ඩු හිතවාදීන් සමාජ මාධ්‍ය තුළ අතිශය උත්කර්ෂයට නංවමින් සැමරුවද, එහි සැබෑ යථාර්ථය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට මුහුණ දී ඇති අර්බුදය බොහෝ දෙනාගෙන් වසන් වී ඇත.
ක්‍රිකට් ආයතනයේ ආරංචිමාර්ග පවසන ආකාරයට සැබෑ තත්ත්වය නම්, පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව අතුරු කමිටුවක් පත්කළ දා සිට මේ දක්වා ICC ය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට (SLC) කිසිදු මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දී නොමැති වීමයි. තත්ත්වය කොතරම් දරුණුද යත්, ක්‍රිකට් ආයතනයේ සේවකයින්ට ඉදිරියේදී වැටුප් ගෙවීමට පවා නොහැකි අවදානමක් මතුව තිබේ. ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, පසුගිය මාස කිහිපය තුළ වැටුප් ගෙවා ඇත්තේ ආයතනයේ ඉතිරිව තිබූ මුදල් වලින් බවයි. එපමණක් නොව, වියදම් පිරිමසා ගැනීම සඳහා සුසන්තිකා ජයසිංහ වැනි විවිධ කමිටුවලට පත් කර සිටි අයව එම තනතුරුවලින් ඉවත් කිරීමට පවා පියවර ගෙන ඇත.
මෙවැනි දැඩි මූල්‍ය අර්බුදයක් මැද ඊයේ ලංකාවට පැමිණි ICC සභාපති ජේ ෂා, ජනාධිපතිවරයාට දැඩිව අවධාරණය කර ඇත්තේ කඩිනමින් නිලවරණයක් පවත්වා ක්‍රිකට් ආයතනය සඳහා නිත්‍යානුකූල නිලධාරී මණ්ඩලයක් පත් කර ගත යුතු බවයි. එසේ අලුතින් පත්වන කමිටුවට අදාළ අත්හිටවූ මුදල් ලබා දීම යළි ආරම්භ කරන බව ICC ය රජයට පැහැදිලි කර දී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවට පත්කළ සංගාගේ ඔළුවේ 'ඉන්දියාව'
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අතුරු කමිටුවට පත්කළ සාමාජිකයෙකු ලෙස නම සඳහන් වන හිටපු ක්‍රකට් නායක කුමාර් සංගක්කාරගේ වත්මන් හැසිරීම ක්‍රිකට් විචාරකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. ඔහු මෑතකදී එංගලන්තයේ පැවති ග්‍රාමීය ක්‍රිකට් තරගාවලියකදී (English village cricket) Shillingstone Cricket Club කණ්ඩායම නියෝජනය කරමින්, ලකුණු 168ක අගනා ඉනිමක් (හතරේ පහර 16ක් සහ හයේ පහර 11ක් සමගින්) ක්‍රීඩා කළේය.
එහෙත් ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය තුළ එහිදී වඩාත් කතාබහට ලක්වූයේ ඔහුගේ පිතිහරඹය නොව, ඔහු පැළඳ සිටි හිස්වැසුමයි. සංගක්කාර එහිදී පැළඳ සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලාංඡනය සහ ඉන්දීය ජාතික කොඩිය සටහන් වූ හිස්වැසුමකි. මෙය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යශස්වි ජයිස්වාල් විසින් ඔහුට තෑගි කරන ලද්දක් බව මාධ්‍ය වාර්තා කළේය.
ජාතික වීරයෙකුගේ සැබෑ ප්‍රමුඛතාවය කුමක්ද?
යශස්වි ජයිස්වාල්ගේ තිළිණය අගය කිරීම පෞද්ගලික මට්ටමින් සාමාන්‍ය දෙයක් වුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම කමිටුවකට පත් කර සිටින පුද්ගලයෙකු, ශ්‍රී ලංකාව දැඩි ක්‍රිකට් අර්බුදයක සිටින මොහොතක, මෙලෙස වෙනත් රටක ක්‍රිකට් ලාංඡනයක් සහ කොඩියක් සහිත හිස්වැසුමක් පැළඳ ප්‍රසිද්ධියේ ක්‍රීඩා කිරීම සදාචාරාත්මකද? මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පූර්ණයෙන්ම දෙවන තැනට ලා කටයුතු කිරීමක් මෙන්ම රටේ ක්‍රිකට් පාලනයට කරන විහිළුවක් බව විචාරක මතයයි.
රටේ ක්‍රිකට් ගොඩනැගීමට දායක වෙනවාට වඩා තම පෞද්ගලික රැකියාවට සහ ඉන්දීය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ව්‍යාපාරයට සංගක්කාර මූලිකත්වය දීම, ඔහුව මෙරට ජාතික වීරයෙකු හෝ අද්විතීය චරිතයක් ලෙස සලකාගෙන සිටින ක්‍රීඩා ලෝලීන් මවිතයට පත් කරවන කරුණකි.
ආණ්ඩුව විසින් පත්කළ කමිටුවේ සාමාජිකයින්ම ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවට ප්‍රමුඛත්වය ලබා දෙද්දී, අනිත් පසින් ICC ය ලංකාවේ ක්‍රිකට් ආයතනයට මුදල් ලබාදීමද නවතා දමා ඇත. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ, කඩිනම් නිලවරණයකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවටත් කිසිදු ස්ථාවර අනාගතයක් නොමැති බවයි.
#නිරෝමී සුබ්‍රමනියම්

