SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රටේ වෙළෙඳ හිඟය

යළිත් වරක් පුළුල් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් පිළිගෙන තිබේ. මහ බැංකුව මේ බව අනාවරණය කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) 2025 වසර සඳහා වන වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කරමිනි.

 

තීරණ ගැනීමේ දුරදක්නා බව සහ වත්මන් රජයේ අදූරදර්ශී බව

පසුගිය කාලය පුරාවටම ආර්ථික විශ්ලේෂකයින් පුන පුනා කියා සිටියේ වාහන ආනයනය යළි ඇරඹීම මේ මොහොතේ සිදු නොකළ යුතු බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගනු ලැබූ කාලෝචිත තීරණයක් වූයේ වාහන ආනයනය මුළුමනින්ම නතර කිරීමයි. එමගින් වාහන ගෙන්වීමට වැයවන ඩොලර් සංචිත රට තුළ ඉතිරි වූවා පමණක් නොව, ඉන්ධන පරිභෝජනය සීමා වීම හරහා ඉන්ධන ආනයනයට වැයවන අතිවිශාල විනිමය ප්‍රමාණයද පාලනය විය. එහෙත් ඒ වනවිට භාණ්ඩාගාරය හිස් වී අවසන්ව තිබුණි.

 

ආර්ථිකය යම් තරමකට හෝ ස්ථාවර මට්ටමකට ගෙන ආ රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී පවා මෙම ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු නොකළේ, ඉන් රට යළිත් වරක් ඩොලර් අර්බුදයකට තල්ලු වන බව මනාව අවබෝධ කරගෙන සිටි බැවිනි.

 

ආර්ථික වර්ධනය සඳහා ණය ගැනීම හැරුණු විට වෙනත් කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති වත්මන් 'පාලනය' විසින් ගන්නා ලද අතිශය අනුවණ තීරණය වන්නේ වාහන ආනයනය යළි ඇරඹීමයි. නිළධාරීන්ගේ උද්ධච්චකමත්  තමන්ට නොමැති ආර්ථික ශක්තියක් සමාජයට/ඡන්දදායකයාට මවාපෑමට දේශපාලකයාට ඇති උනන්දුවත් නිසා ගත් මෙම තීරණය හේතුවෙන් අද රට යළිත් වළට වැටී ඇති අතර, ඒ දේශපාලන පව්වල වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාවගේ උරහිස් මතින් වීම අතිශය ඛේදවාචකයකි.

 

2025 ආර්ථික විවරණය: සංඛ්‍යාලේඛන පවසන ඇත්ත

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු ඉහළ කළමනාකාරීත්වය විසින් මුදල් කාරක සභාව හමුවේ ඉදිරිපත් කළ 2025 ආර්ථික දත්තවලට අනුව, ආර්ථිකයේ ධනාත්මක මෙන්ම සෘණාත්මක පැතිකඩයන් රැසක් නිරාවරණය විය.

 

අවධානය යොමු කළ යුතු අවාසිදායක තත්ත්වයන්:

  • රුපියල බාල්දු වීම: 2025 වසරේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 5.6% කින් අවප්‍රමාණය වී ඇත.

  • උද්ධමනය ඉහළ යාම: 2025 අගෝස්තු මාසයේ සිට උද්ධමනය යළිත් ධන අගයක් ගෙන ඇති අතර, ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාමයි.

  • වෙළෙඳ හිඟය: වාහන ආනයනය හේතුවෙන් ආනයන වියදම් ඉහළ ගොස් වෙළෙඳ හිඟය පුළුල් වී තිබේ.

 

සමස්ත ආර්ථික දත්තයන්හි ප්‍රගතිය:

මහ බැංකුව පෙන්වා දෙන පරිදි කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන ප්‍රධාන ආංශික වර්ධනයන් සමඟ යම් ආර්ථික ස්ථායීකරණයක්ද වාර්තා වී ඇත.

 

ආර්ථික දර්ශකය 2025 වාර්තා වූ අගය
ආර්ථික වර්ධන වේගය 5% ක වර්ධනයක්
රාජ්‍ය ආදායම ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 16.6% දක්වා ඉහළට
සමස්ත අයවැය හිඟය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 2.3% දක්වා අඩුවීම
ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 5.4%
මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 91.6% දක්වා පහළට
විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 8.1 (වාර්තාගත ඉහළ මට්ටමක්)
සංචාරක ආදායම ඩොලර් බිලියන 3.2

 

2026 සඳහා පවතින අවදානම් සහ අභියෝග

පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ ඉදිරි වසරේදී නව ආර්ථික අභියෝග මතු විය හැකි බවටද මහ බැංකුව අනතුරු අඟවයි. විශේෂයෙන්ම, මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය සහ ගෝලීය දේශගුණික විපර්යාස මේ සඳහා සෘජුවම බලපානු ඇත. මෙවැනි බාහිර අවදානම් පවතින පසුබිමක අත්‍යවශ්‍ය නොවන ආනයනයන් සඳහා ඩොලර් වැය කිරීම කෙතරම් ප්‍රායෝගිකද යන්න නැවත සිතා බැලිය යුතුව ඇත.

 

කාරක සභා රැස්වීමේ පසුබිම:

මෙම කරුණු අනාවරණය වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  නොපැමිණීම හේතුවෙන්, එහි මූලාසනය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් විසින් හොබවන ලදී. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නිශාන්ත ජයවීර සහ (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක සහ නිමල් පලිහේන යන අය  මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

 

වත්මන් රජය සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීම වෙනුවට, යථාර්ථවාදී ආර්ථික කළමනාකරණයකට යොමු නොවුණහොත්, මහ බැංකුව විසින් දල්වා ඇති මෙම රතු එළිය නුදුරේදීම දැවැන්ත ආර්ථික ගින්නක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

නවතම ලිපි