SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ජනාධිපතිවරයා විසින් අඩි 5000 ට ඉහළ භූමිවල ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති පසුබිමක, නුවරඑළිය

ගොල්ෆ් ක්‍රීඩා සමාජය තුළ සිදුවන බිහිසුණු පරිසර විනාශය ගැන මේ වන විට බරපතල ප්‍රශ්න මතු වී තිබේ. රටේ නීතිය සැමට සමාන යැයි පැවසුවද, මෙහිදී සිදුවන රාජ්‍ය දේපළ අවභාවිතාව සහ පරිසර සංහාරය ඉදිරියේ නුවරඑළිය පොලීසිය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන මුනිවත රකින්නේ ඇයිද යන්න දැඩිව ප්‍රශ්න කළ යුතුව ඇත.

 

 

මහා පරිසර ඝාතනය සහ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීම

නුවරඑළිය නගර සභාව විසින් බදු දී ඇති නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජය භූමිය තුළ සිදුවන මෙම අපරාධය සම්බන්ධයෙන් පරිසරවේදී තිස්ස සෙනෙවිරත්න මහතා විසින් අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත සහ අනෙකුත් වගකිව යුතු ආයතන වෙත දැඩි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අනාවරණය වී ඇති කරුණු අනුව මෙහි සිදුවී ඇති විනාශය සුළුපටු නැත:

 

තිස්ස_1.jpeg

තිස්ස_2.jpeg
 
 WhatsApp_Image_2026-05-16_at_17.26.jpeg
 
 
  • ග්‍රාන්ඩිස් වර්ගයේ විශාල ගස් පහක් කපා බිම හෙලා, එම දැව ගෘහ භාණ්ඩ හා වහල ඉදිකිරීම සඳහා යොදාගෙන ඇත.

  • මීට අමතරව ගස් 60 කට අධික සංඛ්‍යාවක (ප්‍රදේශවාසීන්ගේ ගණනයන්ට අනුව 52ක් පමණ) පොතු හා කැම්බියම් කොටස වලයාකාරව ඉවත් කර "Ring Barking" ක්‍රමය හරහා ගස් මරා දැමීමට කෘර උත්සාහයක නිරත වී තිබේ.

  • මෙය අඩි 5000 ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයක් වන බැවින් කිසියම් හෝ කටයුත්තක් සඳහා හග්ගල උද්භිත උද්‍යානයේ උපදෙස් ලබා ගත යුතු බවට දිස්ත්‍රික් කමිටු තීරණයක් පවතින නමුත්, එය සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇත.

  • රාජ්‍ය භූමියක කිසිදු අවසරයකින් තොරව අනවසර දැව ඉරුම් මඩුවක් පවත්වා ගෙන ගොස් ඇත.

  • මෙලෙස රාජ්‍ය දේපළ අනීතික ලෙස භාවිතා කරමින්, විශාල වටිනාකමක් ඇති දැව පෞද්ගලික ප්‍රයෝජනයට යොදාගෙන තිබේ.

මීට අමතරව, මෙය පුරාවිද්‍යා වටිනාකමක් ඇති සංරක්ෂිත භූමියක් ලෙස ගැසට් කර ඇති බවට තොරතුරු පවතින අතර, ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද කිසිදු අවසරයක් ගෙන නොමැත. මේ කිසිවක් සඳහා නුවරඑළිය නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කිසිදු ලිඛිත අවසරයක් මෙන්ම පරිසර ශක්‍යතා වාර්තාවක්ද ලබාගෙන නොමැත.

 

WhatsApp_Image_2026-05-16_at_17.26.jpeg

 

බලධාරීන්ගේ ඇස් අන්ධ කළේ කවුද? පොලීසියේ "සුළු අලාභ" නාඩගම

 

මෙවැනි දැවැන්ත පරිසර විනාශයක් කරමින් තුරුලතා පනත උල්ලංඝනය කරද්දී, ඊට අදාළ වීඩියෝ සාක්ෂි (නීති විරෝධී ලී මෝල සහ ලී ඉරන ආකාරය) පවා පොලීසියට ලබා දී තිබියදීත්, අදාළ යන්ත්‍රෝපකරණ හෝ සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට බලධාරීන් අපොහොසත් වී ඇත.

 

 

වඩාත් කනගාටුදායක කරුණ නම්, මෙවැනි බරපතල කරුණු අනාවරණය වී තිබියදීත් 2024.11.20 දින අධිකරණයට ඉදිරිපත් කළ B වාර්තාව මගින් (නඩු අංක බී/2312/24), පොලීසිය මෙම මහා පරිසර අපරාධය දණ්ඩ නීති සංග්‍රහයේ "සුළු වරදක්" (අනර්ථයක් කිරීම) ලෙස පමණක් ලඝු කර වාර්තා කර තිබීමයි.

 

 

WhatsApp_Image_2026-05-16_at_17.26.jpeg

 

බුරියානි පිඟානට සහ තුටු පඬුරු වලට යටවූ විමර්ශන?

නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිහඬ ඇයිද යන්නට සහ ප්‍රදේශවාසීන්ගේ සැකය සනාථ කරන කදිම සිදුවීමක් 2026.03.06 දින වාර්තා වේ. මෙම ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්, අදාළ විමර්ශනය නිසි පරිදි සිදු කරනවා වෙනුවට චූදිත පාර්ශවය විසින් ලබාදුන් දිවා ආහාර (බුරියානි) අනුභව කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.

 

මෙලෙස විමර්ශනයක් සිදු කරන රාජ්‍ය නිලධාරීන් විසින් අල්ලස් ලබා ගැනීම හෝ අනීතික ප්‍රතිලාභ ලබා ගැනීම මත සම්පූර්ණ නීති ක්‍රියාවලියම විහිළුවක් බවට පත්වෙමින් පවතින බවට බරපතල සැකයක් මතුවේ. මෙම අපරාධය වසන් කිරීම සඳහා අදාළ ස්ථානයේ ඇති CCTV දර්ශන දින තුනක් ඇතුළත ස්වයංක්‍රීයව මැකී යන බවට ද තොරතුරු ඇති බැවින්, ඒවා වහාම සුරක්ෂිත කිරීමට පියවර ගත යුතුව ඇත.

 

WhatsApp_Image_2026-05-16_at_17.26.jpeg

 

නිගමනය

ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ලේකම් සහ කමිටුව රටේ නීතියට වඩා බලවත්ද? සංග්‍රහ සහ තුටු පඬුරු ලබා දී රාජ්‍ය නිලධාරීන්ගේ කටවල් වැසිය හැකි නම්, ජනාධිපතිතුමා පවසන "සැමට එක නීතියක්" යන සංකල්පයට සිදුවී ඇත්තේ කුමක්ද? පරිසරවේදී තිස්ස සෙනෙවිරත්න ඉල්ලා සිටින පරිදි, අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ දූෂිත හැසිරීම් පිළිබඳව විමර්ශනයක් ඇරඹිය යුතු අතර, මෙම පරිසර සංහාරයට සම්බන්ධ සියලුම පාර්ශවයන්ට එරෙහිව අල්ලස් හා දූෂණ නීති යටතේ දැඩි නීතිමය පියවර ගත යුතුව ඇත.

 

 

ජනතාව වත්මන් ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ හොරුන් ඇල්ලීමට, එම මුදල් නැවත භාණ්ඩාගාරයට ගැනීමට, සොරකම් හා දූෂණ නතර කිරීමට මෙන්ම පෙර සිටි දේශපාලකයින් රට පුරා කැලෑ කපමින් සිදුකළ මහා පරිසර විනාශයට එරෙහිව නිසි හඬක් නැගේවි යැයි විශ්වාස කරමිනි. එහෙත් මෙවන් දැවැන්ත අපරාධ හමුවේ බලධාරීන් අනුගමනය කරන නිහඬ පිළිවෙත දකින විට, "ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ", නැතිනම් "කබලෙන් ලිපට වැටුණා වාගේ" වැනි ඕනෑම පිරුළක් යොදා ඔවුන්ගේ ගුණ වැයීමට දැන් කදිම අවස්ථාවක් උදා වී තිබේ.

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

 

 

නවතම ලිපි