චීන රාජ්‍ය පාලනයේ හරය ගැන ෂී ගෙන් ට්‍රම්ප්ට පණිවිඩයක්!
ස්වර්ගය කිව්වම කෙනෙක්ට ඇත්ත දෙයක්. තවත් කෙනෙක්ට මිත්‍යාවක්. තවත් විදිහකින් ඒක සංකල්පයක්. භාෂාවේ වචනයක්.
ආගමේ මුලාවක්. ඔය ඕනෑම විදිහකින් මේ ලෝකයේ මිනිස්සු ස්වර්ගය ගැන අදහස් මතිමතාන්තර දරනවා. මේ කියන්නේ දේශපාලන කරළියේ ප්‍රබලතම චරිත ද්විත්වයක් වන චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා බීජිං අගනුවර පිහිටි ඓතිහාසික 'ස්වර්ගයේ දේවාලයේදී' (Temple of Heaven) විශේෂ හමුවකට එක් වීමක් ගැනයි.
මෙම ඓතිහාසික භූමියේ පිහිටි 'යහපත් අස්වැන්නක් උදෙසා යාච්ඤා කරන ප්‍රධාන ශාලාව' අබියසදී අමෙරිකානු ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට චීන ජනාධිපතිවරයා කටයුතු කළේය. අනතුරුව නායකයින් දෙපළ එම අතිවිශාල ඓතිහාසික ගෘහනිර්මාණ ශිල්පය පසුබිම් කරගනිමින් සමරු ඡායාරූපයකට පෙනී සිටි අතර, පසුව ශාලාව අභ්‍යන්තරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ.

මෙම රාජ්‍යතාන්ත්‍රික හමුව හුදෙක් සංචාරයක්ම පමණක් නොවීය. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත චීන ශිෂ්ටාචාරයේ ගැඹුරු දේශපාලනික දර්ශනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සුවිශේෂී සිදුවීමක් විය. අතීතයේදී චීන පාලකයින් විසින් ජාතියේ සෞභාග්‍යය, සමාජ සමගිය සහ සරු අස්වැන්නක් සඳහා යහපත් කාලගුණයක් ප්‍රාර්ථනා කරමින් මෙම 'ස්වර්ගයේ දේවාලයේදී' රාජ්‍ය චාරිත්‍ර ඉටු කළ ආකාරය ඔහු ට්‍රම්ප් වෙත විස්තර කළේය.
"මහජනතාව යනු රාජ්‍යයක සැබෑ පදනම වන බවත්, එම පදනම ශක්තිමත් වූ විට පමණක් රාජ්‍යය ස්ථාවර වන බවත් අපගේ සාම්ප්‍රදායික චීන සංකල්පයෙන් පිළිඹිබු වනවා,"
යැයි ජනාධිපති ෂී එහිදී අවධාරණය කළේය.
තවදුරටත් භූදේශපාලනික සහ මතවාදී අදහස් දක්වමින් චීන නායකයා ප්‍රකාශ කළේ, වසර දහස් ගණනක් පැරණි චීන ශිෂ්ටාචාරය තුළ මුල් බැසගත් මෙම අගනා 'ජනතා-කේන්ද්‍රීය' දර්ශනය වත්මන් චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ද එලෙසම උරුම කරගෙන ඉදිරියට ගෙන යන බවයි. ජනතාවට පූර්ණ කැපවීමෙන් සේවය කිරීමේ තම මූලික ප්‍රතිපත්තිය තදින්ම ආරක්ෂා කිරීම හරහා, චීන කොමියුනිස්ට් පක්ෂය සමස්ත චීන ජනතාවගේම නොසැලෙන විශ්වාසය සහ දැඩි සහයෝගය දිනාගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

