පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මේ වන විට දැඩි
මතභේදාත්මක තත්ත්වයකට පත්ව තිබේ. විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමත් සමඟ, මෙම විමර්ශනවල පදනම පිළිබඳව බරපතල නෛතික සහ සදාචාරාත්මක ගැටලු මතු වෙමින් පවතී.
පාස්කු ප්‍රහාරයට පෙර වව්නතිව් හිදී සිදුවූ පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන නොමඟ යැවූ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සුරේෂ් සලේ තෙවන සැකකරු ලෙස නම් කර ඇත. කෙසේ වෙතත්, මෙම සමස්ත චෝදනාවේ ප්‍රධාන පදනම වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ (Channel 4) නාලිකාවට සහ ජාත්‍යන්තරයට අසාද් මවුලානා (පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්) විසින් ලබා දුන් ආන්දෝලනාත්මක ප්‍රකාශයයි.
නමුත් අද අප හමුවේ ඇති ප්‍රධාන මාධ්‍ය හා නෛතික ප්‍රශ්නය වන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශානි අබේසේකර ඇතුළු පිරිස සහ පැමිණිලි පාර්ශ්වය වන කතෝලික සභාව අසාද් මවුලානාගේ මෙම ප්‍රකාශය පරම සත්‍යයක් ලෙස පිළිගන්නේ නම්, එම ප්‍රකාශය තුළම අඩංගු අනෙකුත් බරපතල සහ අන්තවාදී කරුණු ද ඔවුන් එලෙසම පිළිගන්නේද යන්නයි.
අභියාචනාධිකරණයේදී මතු වූ නීතිමය තර්ක
තමාට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේ ගොනු කළ රිට් පෙත්සම අද (මැයි 07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණි. එහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මූලික විරෝධතා දැක්වීමට අපේක්ෂා කරන බව සඳහන් කළාය.
එහෙත්, සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, අධිකරණය හමුවේ තීරණාත්මක කරුණු කිහිපයක් අනාවරණය කළේය:
-
සාක්ෂි නොමැති වීම: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ කිසිදු ජනාධිපති කොමිසමකින් හෝ කමිටුවකින් සුරේෂ් සලේ ට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැත.
-
රටේ නොසිටීම: ප්‍රහාරය එල්ල වන සමයේ (2019 ජනවාරි සිට නොවැම්බර් දක්වා) සලේ ශ්‍රී ලංකාවේ නොසිටි අතර, ඔහු ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාවකට සහභාගී වෙමින් සිටියේය.
-
ප්‍රකාශයේ නෛතික වටිනාකම: සමස්ත චෝදනාවම ගොඩනඟා ඇත්තේ අසාද් මවුලානාගේ ප්‍රකාශය මත පමණක් වන අතර, නීතිමය වශයෙන් ඊට කිසිදු සාක්ෂිමය වටිනාකමක් නොමැත.
මෙහිදී ජනාධිපති නීතිඥවරයා මතු කළ ප්‍රබලතම තර්කය වූයේ, අසාද් මවුලානා විසින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට කර ඇති බරපතල අපහාසය පිළිබඳවයි. "මේ පුද්ගලයාට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් නොකරන්නේ ඇයි?" යනුවෙන් ඔහු විවෘතව ප්‍රශ්න කළේය.
සාක්ෂියේ දෙබිඩි ස්වභාවය: සහරාන් 'වීරයෙක්' ද? අධිකරණය 'දූෂිත' ද?
අසාද් මවුලානා විසින් ජාත්‍යන්තරයට ලබා දුන් පිටු 18කින් යුත් ලිඛිත ප්‍රකාශය අපගේ දැඩි විමර්ශනයට ලක් විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සලේ ට එරෙහිව මෙම සාක්ෂිය විශ්වාස කරන්නේ නම්, පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය කුමක්ද යන්න රටට හෙළි කළ යුතුය.
1. අධිකරණය ඉහළ සිට පහළටම දූෂිත බවට කරන ප්‍රකාශය
මවුලානා සිය ප්‍රකාශයේ 14 වැනි පිටුවේ මෙසේ සඳහන් කරයි:
"The Sri Lankan Judiciary is corrupt from top to bottom." (ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිට පහළටම දූෂිතය).
ඔහු තවදුරටත් එහි මෙසේද සඳහන් කරයි:
"Sri Lanka's judiciary and judges and lawyers are easily buyable for money or favour." (ශ්‍රී ලංකාවේ අධිකරණය, විනිසුරුවන් සහ නීතීඥයින් මුදලට හෝ වරප්‍රසාදවලට පහසුවෙන් මිලදී ගත හැකිය).
නීතියේ ආධිපත්‍යය සුරැකිය යුතු CIDය සහ යුක්තිය පතන කතෝලික සභාව මෙම සාක්ෂිකරුවාව හිස් මුදුනින් පිළිගන්නේ නම්, ඔවුන්ද වක්‍රාකාරයෙන් පිළිගන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත අධිකරණයම සහ විනිසුරුවරුන් මුදලට ගත හැකි දූෂිතයන් බවද? මෙම අතිශය බරපතල අධිකරණ අපහාසය හමුවේ නීතිපතිවරයා නිහඬ ඇයි?
2. ත්‍රස්තවාදී සහරාන්ව 'වීරයෙකු' ලෙස වර්ණනා කිරීම
මෙම ප්‍රකාශයේ ඇති වඩාත්ම කම්පන සහගත කරුණ හමුවන්නේ 10 වැනි පිටුවේය. මවුලානා, සහරාන්ගේ සහෝදරයෙකු ගැන විස්තර කිරීමේදී මෙසේ සටහන් කර ඇත:
"(Note:- He is the brother of Sahun Maulavi, the hero of the Ester Sunday blasts.)" (සටහන:- ඔහු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වීරයා වූ සහරාන් මවුලවිගේ සහෝදරයාය).
අහිංසක ජීවිත 270ක් බිලිගත්, කතෝලික පල්ලි ලේ විලක් කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදියා "පාස්කු ප්‍රහාරයේ වීරයා" ලෙස හඳුන්වන පුද්ගලයෙකුගේ සාක්ෂියක් මත, කතෝලික සභාව යුක්තිය බලාපොරොත්තු වන්නේ කෙසේද? ත්‍රස්තවාදියෙකුව වීරයෙකු ලෙස උත්කර්ෂයට නංවන මනෝභාවයක් ඇති අසාද් මවුලානා වැනි පුද්ගලයෙකුගේ ප්‍රකාශයකින් කොටසක් පමණක් තමන්ට වාසිදායක ලෙස තෝරා බේරා ගැනීම (Cherry-picking) කෙතරම් සදාචාරාත්මකද?
නිගමනය
මාධ්‍යයක් ලෙස අපගේ වගකීම වන්නේ පවතින නෛතික රාමුවට ගරු කරමින්, සිදුවීම් පිටුපස ඇති තාර්කික පරස්පරතා මතු කිරීමයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවන මහලේ මිනිස් වාසයට නුසුදුසු කුඩා කාමරයක සුරේෂ් සලේ ව රඳවා තැබීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් දකුණු ආසියානු රාජ්‍යයකට ආදර්ශමත් ප්‍රකාශයක් කර ඇත. එනම්, සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විත ආකාරයේ සැලකීමක් අවශ්‍ය බවයි. එය නීතියේ ආධිපත්‍යයේ මූලික ලක්ෂණයකි.
එහෙත් ඊටත් වඩා විශාල ඛේදවාචකය වන්නේ, සහරාන්ව "වීරයෙකු" ලෙස දකින, සම්පූර්ණ අධිකරණ පද්ධතියම "දූෂිත සහ මුදලට ගත හැකි" තැනක් ලෙස හංවඩු ගසන පුද්ගලයෙකුගේ වචන මත පදනම්ව රාජ්‍ය බුද්ධි නිලධාරීන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කිරීමට දරන උත්සාහයයි. මේ සාක්ෂිය නිවැරදි නම් ඉහත කී කරුණුත් නිවැරදි විය යුතුය; නැතහොත් මේ සමස්ත සාක්ෂියම ද්වේශ සහගත කුමන්ත්‍රණයක කොටසක් ලෙස ප්‍රතික්ෂේප කළ යුතුය. නීතියට සහ යුක්තියට ස්ථාවර දෙකක් තිබිය නොහැක.
#සමාරා පරණවිතාන

