SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හදිසි මිලදී ගැනීමේ මුවාවෙන් යළිත් ගල් අඟුරු ගේම් ගහනවද? තොරතුරු පනත හරහා දයාසිරිගෙන් ලංකා ගල් අඟුරු සමාගමට ප්‍රබල අභියෝගයක්!

 

 

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ, විශේෂයෙන්ම ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන්

නිරන්තරයෙන් දූෂණ හා අක්‍රමිකතා චෝදනා එල්ල වේ. බොහෝ අවස්ථාවලදී 'හදිසි අවශ්‍යතා' පෙන්වා දෙමින් විධිමත් ටෙන්ඩර් පටිපාටිවලින් බැහැරව මහජන මුදල් අවභාවිත කිරීමේ දේශපාලන හා නිලධාරී මාෆියාවක් ක්‍රියාත්මක වන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා නැඟෙයි. මෙම පසුබිම තුළ, මෑතකදී ගෙන එන ලද ගල් අඟුරු නෞකා දෙකක් සම්බන්ධයෙන් පවතින සැක සංකා මතු කරමින්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලංකා ගල් අඟුරු සමාගමෙන් තීරණාත්මක තොරතුරු සහ ලේඛන රැසක් ඉල්ලා සිටීම දේශපාලන තලයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.

 

 

 

2026 මැයි මස 05 වන දින මන්ත්‍රීවරයා විසින්, ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරී නාමල් හේවගේ මගින් එහි තොරතුරු නිලධාරී දර්ශන තන්ත්‍රිගේ වෙත මෙම විද්‍යුත් තැපැල් අයදුම යොමු කර ඇත.

 
 දයා_ගල්_අගුරු_2.jpeg
 
මෙහිදී මන්ත්‍රීවරයාගේ විමර්ශනයට ලක්ව ඇත්තේ මෑතකදී පුත්තලමට ගොඩබෑම් කළ පහත සඳහන් නෞකා ද්විත්වයයි:
 
  • 2026/04/27 වන දින ගොඩබෑම් කරන ලද Taranjoth MV Josco Huizhou නෞකාව.

     
  • 2026/04/29 දින සිට ගොඩබෑම් කරන MV Port Osaka නෞකාව.

     

 

මෙම ඉල්ලීමේ මූලික අරමුණ මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පැහැදිලිව දක්වා ඇත්තේ මෙලෙසිනි:

 

"ලංකා ගල් අඟුරු සමාගම මහජන බදු මුදලින් ආනයනය කර ගොඩබෑම් කරන ලද... ගල් අඟුරු නැව් 02 ආනයනය සඳහා වන පිරිවැය සහ එහි ප්‍රමිතීන් සහ ගුණාත්මක භාවය පිළිබඳව දැනගැනීම පිණිස... තොරතුරු පනතේ විධිවිධාන වලට අනුව විද්‍යුත් තැපැල් අයදුම් ලිපිය යොමු කරමින් ඉල්ලා සිටිමි."

 

 

'Unsolicited' හෙවත් පිළිගත් ක්‍රමයෙන් බැහැර වූ මිලදී ගැනීම්වල රහස කුමක්ද?

 

මෙම ලිපියේ ඇති වඩාත්ම දේශපාලනික හා නීතිමය වශයෙන් බරපතලම කාරණය වන්නේ විධිමත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මෙම ගල් අඟුරු ආනයනය කර ඇතිද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා මතුකරන ප්‍රශ්න කිරීමයි. හදිසි අවශ්‍යතා මත යැයි පවසමින් කැබිනට් අනුමැතිය හරහා ගෙන එන මෙවැනි මිලදී ගැනීම් බොහෝවිට මහා පරිමාණ දූෂණයන්ට තෝතැන්නකි. ඒ සම්බන්ධයෙන් ලිපියේ අංක 06 සහ 07 යටතේ සෘජු තොරතුරු ඉල්ලා ඇත:

 

"06) Unsolicited (පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර හදිසි මිලදී ගැනීම් සඳහා ක්‍රමවේදය ) ක්‍රමවේදයට ගල් අඟුරු ආනයනය කිරීම සඳහා ලබාගත් කැබිනට් අනුමැතිය."

"07) Unsolicited ක්‍රමවේදයට ගල් අඟුරු ආනයනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කල සැපයුම් සමාගම් වල නාම ලේඛනය."

 

 

මීට අමතරව, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූල්‍ය සහ කාර්යසාධන විනිවිදභාවය පරීක්ෂා කිරීම සඳහා මන්ත්‍රීවරයා විසින් සැපයුම්කාර සමාගම් වෙත ලබා දුන් ටෙන්ඩර් ප්‍රදානය තහවුරු කිරීමේ ලේඛන, සියලුම කොමර්ෂල් ඉන්වොයිස් (Commercial Invoice) සහ ණයවර (LC) ලිපිවල සහතික කළ ඡායා පිටපත් ද ඉල්ලා තිබේ. ඇගයීම් කමිටුව (BID evaluation Committee) විසින් තෝරාගත් සැපයුම් සමාගම් ලබාදුන් මිල ගණන් සහිත ලේඛන සහ කාර්යසාධන ඇගයීම් කමිටුව තෝරාගත් සමාගම් නාම ලේඛනයද ඒ අතර වේ.

 

 

ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ සැකය

 

ලංකාවට ගෙන එන ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අතීතයේ සිටම විශාල අර්බුද පවතී. බාල ගල් අඟුරු හේතුවෙන් බලාගාර අක්‍රිය වීම් පවා වාර්තා වී ඇත. මේ හේතුවෙන් මෙම නැව් දෙකෙහිම අන්තර්ගතය පිළිබඳ නිශ්චිත තාක්ෂණික දත්ත මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි:

 

"05) ඉහත කී ගල් අඟරු නැව් 02 ආනයනය කර ගොඩබෑම් වලට අදාල 01) Load port Quality Report, 02) Discharge port Quality Report, 03) Out turn Report සහතික කළ ඡායා පිටපත්."

 

 

මහජන මුදල් බිලියන ගණනින් සංසරණය වන ගල් අඟුරු ගනුදෙනුවල රහස්‍යභාවයේ තිරය ඉරා දැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  විසින් තොරතුරු පනත භාවිත කරමින් දියත් කර ඇති මෙම මෙහෙයුම ඉතා කාලීනය. අදාළ ලිපිය අවසන් කරමින් ඔහු අවධාරණය කරන්නේ තොරතුරු ලබා ගැනීමේ පුරවැසි අයිතියයි:

 

"ඉහතින් ඉල්ලුම් කරන ලද තොරතුරු සහතික කළ ඡායා පිටපත් ලෙස මුදල් ගෙවා තොරතුරු පනතේ විධිවිධාන වලට අනුව ලබා දීමට කටයුතු කරන්න."

 

 

දැන් පන්දුව ඇත්තේ ලංකා ගල් අඟුරු සමාගම අතේය. පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව ගෙන ආ බවට සැක කෙරෙන මෙම නෞකා ද්විත්වයේ කැබිනට් පත්‍රිකා, මිල ගණන් සහ ප්‍රමිති වාර්තා මහජනතාවට විවෘත කිරීමට බලධාරීන් කටයුතු කරන්නේද, නැතහොත් සුපුරුදු පරිදි නීතියේ හිඩැස් සොයමින් තොරතුරු වසන් කරන්නේද යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇත.

 

 

# නිරොමි සුබ්‍රමනියම් (SRI LANKAN LEADER)

නවතම ලිපි