SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මෑතකදී මෙරට බැංකු ක්ෂේත්‍රය දැඩි කම්පනයකට ලක් කළ නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් (NDB) හි සිදුවූ

රුපියල් බිලියන 13.2ක දැවැන්ත අභ්‍යන්තර මූල්‍ය වංචාව මේ වන විට මෙරට ආර්ථික කතිකාව තුළ දැඩි අවධානයක් දිනාගත් මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සෘජු මැදිහත්වීම සහ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර මට්ටමේ වෝහාරික විගණන (Forensic audit) ක්‍රියාවලියක් දක්වා දුරදිග ගිය මෙම සිදුවීම, මෙරට මූල්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන ව්‍යූහයන්ගේ විනිවිදභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කළේය.

 

 

මෙම දැවැන්ත අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස, 2026 වසරේ පළමු කාර්තුව (1Q) සඳහා බැංකුවේ මූල්‍ය කාර්යසාධනයටද සෘජු බලපෑමක් එල්ල වී ඇති බව කොළඹ කොටස් හුවමාරුව වෙත නිකුත් කළ නවතම වාර්තා මගින් තහවුරු වේ.

 

 

වංචාවේ මූල්‍යමය බලපෑම සහ ලාභාංශ

2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ පළමු කාර්තුව සඳහා NDB බැංකුව රුපියල් බිලියන 3.47 ක බදු පෙර ලාභයක් වාර්තා කර ඇත. කෙසේ වෙතත්, අදාළ අභ්‍යන්තර වංචාව හේතුවෙන් මෙම කාර්තුව තුළ පමණක් සිදුව ඇති මූල්‍යමය බලපෑම රුපියල් බිලියන 2.67ක් ලෙස ගණනය කර තිබේ.

 

2026 පළමු කාර්තුවේ බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම රුපියල් බිලියන 7.54ක් වන අතර, ඉහත කී වංචාවෙන් වූ රු.බි. 2.67ක බලපෑම ද මෙම සමස්ත මෙහෙයුම් වියදම් යටතේ 'වෙනත් වියදම්' ලෙස සටහන් කර ඇත.

 

  • ශුද්ධ මෙහෙයුම් ආදායම: රුපියල් බිලියන 11.01

  • මූල්‍ය සේවා මත බදු පෙර මෙහෙයුම් ලාභය: රුපියල් බිලියන 3.47 (මෙහෙයුම් වියදම් අඩු කිරීමෙන් පසු)

  • 2026 පළමු කාර්තුවේ බදු පසු ලාභය: රුපියල් බිලියන 1.75

 

වසර අනුව මූල්‍ය බලපෑමේ බෙදී යාම

රුපියල් බිලියන 13.2ක් වන මෙම සමස්ත වංචාවේ මූල්‍ය බලපෑම අදාළ මූල්‍ය වර්ෂයන් අනුව වෙන් කර දැක්වීමට බැංකුව පියවර ගෙන ඇත:

  • 2025 ජනවාරි 01 ට පෙර: රුපියල් බිලියන 0.91

  • 2025 මූල්‍ය වර්ෂය තුළ: රුපියල් බිලියන 9.62

  • 2026 පළමු කාර්තුව (මාර්තු 31 තෙක්): රුපියල් බිලියන 2.67

 

මෙම තත්ත්වය හේතුවෙන් පෙර වසරවල ලාභයන් යළිත් ප්‍රකාශයට පත් කිරීමට බැංකුවට සිදුව ඇත. ඒ අනුව, 2024 මූල්‍ය වර්ෂයේ බදු පෙර ලාභය රුපියල් බිලියන 9.03 සිට 8.54 දක්වාත්, 2025 මූල්‍ය වර්ෂයේ බදු පෙර ලාභය රුපියල් බිලියන 11.04 සිට 5.90 දක්වාත් සංශෝධනය කර තිබේ.

 

 

නෛතික පියවර සහ විමර්ශන ක්‍රියාවලිය

අදාළ අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුව ඇතුළු නියාමන ආයතන සමගින් සමීපව කටයුතු කරන බව NDB බැංකුව අවධාරණය කරයි. මේ වන විට ඉන්දියාවේ ප්‍රකට Deloitte Touche Tohmatsu India LLP (Deloitte) ආයතනය විසින් සිදුකරන වෝහාරික පරීක්ෂණයට (Forensic Audit) බැංකුවේ පූර්ණ සහයෝගය හිමිවී ඇත.

 

"මෙම වංචාව සම්බන්ධයෙන් වගකිව යුතු සියලු‍ දෙනා වෙතම නීතිය මගින් ගත හැකි දැඩි පියවර ගැනීමට බැංකුව කටයුතු කරනවා. නීතිමය ක්‍රියාමාර්ග හරහා වංචා කළ අරමුදල් නැවත අයකර ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ පිළිබඳව ඉදිරි මූල්‍ය ප්‍රකාශන හරහා ජනතාව දැනුවත් කරනවා," යනුවෙන් බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

අභියෝග මධ්‍යයේ ආදායම් වර්ධනයක්

මෙම බරපතළ අභ්‍යන්තර අර්බුදය මධ්‍යයේ වුවද, 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී යම් ධනාත්මක ආදායම් වර්ධනයක් පෙන්නුම් කිරීමට බැංකුව සමත්ව ඇත:

 

  • දළ ආදායම: රුපියල් බිලියන 26.4 (15% ක වර්ධනයක්)

  • ශුද්ධ පොලී ආදායම: රුපියල් බිලියන 9.05 (14% ක වර්ධනයක්)

  • ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම්: රුපියල් බිලියන 2.19 (25% ක වර්ධනයක්)

  • සමස්ත මෙහෙයුම් ආදායම: රුපියල් බිලියන 12.76 (21% ක වර්ධනයක්)

  • ශුද්ධ මෙහෙයුම් ආදායම: රුපියල් බිලියන 11.01 (31% ක වර්ධනයක්)

 

ආයතනික ව්‍යුහය තුළ වූ මෙම බරපතළ කඩාවැටීම නිවැරදි කර ගනිමින්, පාරිභෝගික විශ්වාසය යළි තහවුරු කිරීම සඳහා බැංකුව ඉදිරියේදී ගන්නා පියවර පිළිබඳව මූල්‍ය වෙළෙඳපොළ දැඩි අවධානයෙන් පසුවේ.

 

#නිරෝමි සුබ්‍රමනියම්

 

නවතම ලිපි