SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) රුපියල් බිලියන 13.2 ක දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විදේශීය

විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පුළුල් වෝහාරික විගණනයක් (Forensic Audit) පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය වෙනුවෙන් ගත් ධනාත්මක පියවරක් ලෙස මෙය හුවා දැක්වීමට බලධාරීන් උත්සාහ කළද, ජාත්‍යන්තර ආයතනික නීතිය සහ මූල්‍ය නියාමන සම්මතයන් (International Financial Regulatory Standards) ඔස්සේ විශ්ලේෂණය කිරීමේදී මෙය හුදෙක් තාර්කික පරස්පරතාවලින් පිරුණු නෛතික ප්‍රෝඩාවක් බව පැහැදිලි වේ.

 

 

තමන්ගේ නඩුවට තමන්ම විනිසුරුවරයා වීම: ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම

 

මෙම ක්‍රියාවලියේ ඇති විශාලතම තාර්කික හා නෛතික දෝෂය වන්නේ, අදාළ වංචාව සිදුවන සමයේ බැංකුවේ අභ්‍යන්තර පාලනයට සහ අවදානම් කළමනාකරණයට සෘජුවම වගකිව යුතු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය තවමත් සිය තනතුරුවල එලෙසම රැඳී සිටීමයි.

 

 

  • බැසල් කමිටු මාර්ගෝපදේශ (Basel Committee Guidelines):

බැංකු අධීක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර බැසල් කමිටුව විසින් හඳුන්වා දී ඇති 'බැංකු සඳහා වූ ආයතනික යහපාලන මූලධර්ම' (Corporate Governance Principles for Banks) අනුව, මෙවැනි පද්ධතිමය බිඳවැටීමකදී ඊට අදාළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙන විට, ගැටුම්කාරී අවශ්‍යතා (Conflict of Interest) වළක්වා ගැනීම සඳහා අදාළ බලධාරීන් පරීක්ෂණ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඈත් කළ යුතුය.

 

 

  • ස්වාභාවික යුක්තියේ මූලධර්මය (Natural Justice):

ගෝලීය නීති පද්ධතියේ මූලිකාංගයක් වන "Nemo iudex in causa sua" (කිසිවෙකුට තමන්ගේම නඩුවක විනිශ්චයකරුවෙකු විය නොහැක) යන න්‍යාය මෙහිදී අමු අමුවේ උල්ලංඝනය වේ. චූදිතයින් යැයි සමාජය සැක කරන පිරිසකගේ පාලනය යටතේ පවතින ආයතනයක් තුළට විදේශ විගණකවරුන් ගෙන්වා, ඔවුන්ගේම ඩිජිටල් දත්ත, අභ්‍යන්තර ඊමේල් සහ මූල්‍ය වාර්තා පරීක්ෂා කිරීම කිසිසේත්ම ස්වාධීන ක්‍රියාවලියක් නොවේ. සාක්ෂි විනාශ කිරීමේ සහ සේවකයින්ට බලපෑම් කිරීමේ පූර්ණ නිදහස මෙහිදී සැකකරුවන්ට ලැබී ඇත.

 

 

  • සර්බේන්ස්-ඔක්ස්ලි පනතේ ආදර්ශය (Sarbanes-Oxley Act - SOX):

ජාත්‍යන්තර මූල්‍ය වංචා වැළැක්වීමේ රන් සම්මතය ලෙස සැලකෙන ඇමරිකානු SOX පනතට අනුව, ආයතනයක අභ්‍යන්තර මූල්‍ය පාලන පද්ධති (Internal Financial Controls) බිඳ වැටීමක් සඳහා ප්‍රධාන විධායක නිලධාරියා (CEO) සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා (CFO) සෘජුවම අපරාධ වගකීමකට (Criminal Liability) යටත් වේ. අපගේ නියාමකයින් ජාත්‍යන්තර විශේෂඥයින් ගෙන්වීමට පෙර, මෙම ජාත්‍යන්තර නීතිමය සම්මතයන් මෙරට බලධාරීන්ට ආදේශ නොකරන්නේ මන්ද?

 

 

"බැංකුව සුරක්ෂිතයි" කීවත්, ජනතාවට අහිමි වූ සැබෑ වත්කම

මහ බැංකුව මෙම සිදුවීමෙන් තැන්පත්කරුවන්ට බලපෑමක් වී නැතැයි දිගින් දිගටම නිවේදනය කරයි. නමුත්, මහ බැංකුවේ මැදිහත්වීම මත අත්හිටුවන ලද අප්‍රේල් 06 වෙනිදා ගෙවීමට නියමිතව තිබූ NDB ලාභාංශ (Cash Dividends) හරහා, මෙරට සමස්ත වැඩකරන ජනතාව දැනටමත් මෙම මහා බැංකු මංකොල්ලයේ සෘජු වින්දිතයින් බවට පත්වී හමාර බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් ගේ මතය වී ඇත.

 

 

මහජන මුදල් වලින් යැපෙන ප්‍රධාන ආයතනවලට අහිමි වූ මුදල සුළුපටු නැත:

  • EPF අරමුදලට අහිමි වූ මුදල: රුපියල් මිලියන 260 යි

  • ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට (SLIC) අහිමි වූ මුදල: රුපියල් මිලියන 305 යි

  • ලංකා බැංකුවට (BOC) අහිමි වූ මුදල: රුපියල් මිලියන 218 යි

  • ETF අරමුදලට අහිමි වූ මුදල: රුපියල් මිලියන 93 යි

 

සංයුක්ත පොළියේ ඛේදවාචකය:

මෙය හුදෙක් අද දවසේ අහිමි වූ මිලියන ගණනක මුදලක් පමණක් නොවේ. EPF සහ ETF වැනි අරමුදල් ක්‍රියාත්මක වන්නේ සංයුක්ත පොළිය (Compound Interest) පදනම් කරගෙනය. අද අහිමි වූ මෙම මුදල, වසර 20 කින් හෝ 30 කින් විශ්‍රාම යන මෙරට මිලියන 10 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයින්ට අහිමි කර ඇත්තේ රුපියල් බිලියන ගණනක අනාගත විශ්‍රාම ප්‍රතිලාභයකි.

 

නිගමනය

මහ බැංකුව මැදිහත්වීමෙන් සිදු කරන මෙම වෝහාරික විගණනය සැබවින්ම ඵලදායී වීමට නම්, ජාත්‍යන්තර මූල්‍ය අපරාධ විමර්ශන සම්මතයන්ට අනුකූලව මූලික පියවර කිහිපයක් වහාම ගත යුතුය. වංචාව සිදුවූ කාලසීමාව තුළ ඊට වගකිව යුතු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිය යුතු අතර, ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනම් පැනවිය යුතුය.

 

 

එසේ නොමැතිව, චූදිතයින්ට තම පුටුවල උණුසුම විඳිමින් සාක්ෂි පාලනය කිරීමට ඉඩ දී ගෙන්වන විදේශීය විගණකවරුන් යනු, මහජනතාවගේ ඇස්වලට වැලි ගැසීමේ නෛතික සහ තාර්කික ප්‍රෝඩාවක් (Legal and Logical Fallacy) පමණක් වනු ඇත.

 

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි