SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ආණ්ඩුව විසින් සිදුකළ බාල ගල් අඟුරු ගනුදෙනුවල පාඩුව වසා ගැනීම සඳහා වික්ටෝරියා ඇතුළු ප්‍රධාන ජලාශවල ජලය

අවිධිමත් ලෙස විදුලි උත්පාදනයට යොදා ගැනීම හේතුවෙන්, ඉදිරියේදී මෙරට බරපතළ පානීය ජල හා ආහාර අර්බුදයකට මුහුණ දෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව අනාවරණය කරයි.

 

 

අප්‍රේල් 15 වනදා පස්වරුවේ නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

 

විද්‍යුත් බලය වෙනුවෙන් ගත් "මුග්ධ" තීරණය

දුමින්ද නාගමුව පෙන්වා දුන්නේ පසුගිය මාර්තු 24 වැනිදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේදී අමාත්‍යවරුන් වන ලාල්කාන්ත සහ කුමාර ජයකොඩි ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ඉතා විනාශකාරී තීරණයක් ගෙන ඇති බවයි.

 

එම තීරණයට අනුව, රුපියල් මිලියන 7,260ක මුදලක් ඉතිරි කර ගැනීමේ අරමුණින් කෘෂිකාර්මික හා පානීය ජල අවශ්‍යතා නොසලකා හරිමින් වික්ටෝරියා ජලාශයේ ජලය දැවැන්ත ලෙස විදුලි උත්පාදනයට මුදා හැරීමට පියවර ගෙන ඇත.

 

 

"වික්ටෝරියා ජලාශයේ මුළු ධාරිතාව ඝනමීටර් මිලියන 405ක්. නමුත් මේ තීරණය නිසා එය ඝනමීටර් මිලියන 75 දක්වා අඩු කිරීමට ඔවුන් සූදානම් වෙනවා. මෙය ඉදිරි කන්නයේ වගා කටයුතු සහමුලින්ම අඩාල කරන තීරණයක්," යැයි නාගමුව සහෝදරයා පැවසීය.

 

මහනුවර දහස් ගණනකට ජලය අහිමි වෙයි

මෙම අවිධිමත් ජල මුදාහැරීම නිසා දැනටමත් මහනුවර දිස්ත්‍රික්කයේ පානීය ජල සැපයුමට දැඩි බලපෑම් එල්ල වී තිබේ. වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත වැටීම හේතුවෙන් ජල සබඳතා 17,000කට ජලය සපයන බලගොල්ල ජල පොම්පාගාරය මේ වන විට අකර්මණ්‍ය වී ඇත.

 

මේ හේතුවෙන්:

  • බලගොල්ල, කුණ්ඩසාලේ සහ දිගන ප්‍රදේශවල දසදහස් සංඛ්‍යාත ජනතාවකට පානීය ජලය අහිමි වී තිබේ.

  • පල්ලේකැලේ ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවලට ජලය නොමැති වීමෙන් ඇණවුම් ඉටු කරගත නොහැකිව ඇතැම් කර්මාන්තශාලා වසා දමා ඇත.

  • පල්ලේකැලේ බන්ධනාගාරයේ රැඳවියන්ට පවා ජල හිඟයක් නිර්මාණය වී තිබේ.

 

ආණ්ඩුව මේ සඳහා විකල්ප ලෙස බවුසර් මගින් ජලය බෙදා හැරියත්, දෛනික අවශ්‍යතාව වන ඝනමීටර් 12,000ක ප්‍රමාණය පියවා ගැනීමට බවුසර් මගින් ලබා දෙන ඝනමීටර් 500ක ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔහු අවධාරණය කළේය.

 

 

එල්නිනෝ අවදානම සහ ඉදිරි ආහාර අර්බුදය

ලෝක කාලගුණ අනාවැකි මගින් 'එල්නිනෝ' බලපෑමක් ගැන අනතුරු අඟවා තිබියදී, ආණ්ඩුව මෙලෙස ජලාශ හිස් කිරීම "මුග්ධ" ක්‍රියාවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ජලාශවල ජලය මෙලෙස අවසන් කිරීම නිසා ඉදිරි මාස කිහිපය තුළ රටේ කෘෂිකර්මාන්තය බිඳ වැටී දැවැන්ත ආහාර අර්බුදයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බව නාගමුව පෙන්වා දුන්නේය.

 

 

"කඩතොලු වසා ගන්න ගොස් තව සියයක් හදාගෙන"

ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය විවේචනය කරමින් ඔහු කියා සිටියේ බාල ගල් අඟුරු ගෙන්වීමෙන් සිදු වූ පාඩුව හා අර්බුදය වසා ගැනීමට ගොස් ආණ්ඩුව ජනතාවගේ බොන වතුරට සහ කන බතට විදින බවයි.

 

 

"අවුරුදු 76ක සාපය අවසන් කරන්න ආපු ආණ්ඩුව, මෙතෙක් ඉතිහාසයේ කිසිදු පාලකයෙක් නොකළ ආකාරයට පායන කාලයේදී ජලාශ හිස් කරමින් ඉන්නවා. කුමාර ජයකොඩි ඇමතිවරයාගේ වැරදි තීරණ බේරා ගන්න මුළු රටක්ම පාවා දෙන්න සූදානම් වෙන්න එපා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 

පෙරටුගාමීන්ගේ බල කිරීම

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම ජල කළමනාකරණ සාකච්ඡාවක් නැවත කැඳවන ලෙසත්, කෘෂිකර්මය, පානීය ජලය සහ විදුලිය යන අංශ සමබර වන පරිදි නව ජල කළමනාකරණ සැලැස්මක් සකස් කරන ලෙසත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය බලකර සිටියි. මෙම විනාශකාරී තීරණය වහාම හකුළා නොගන්නේ නම් ඉදිරියේදී ඇතිවන සමස්ත අර්බුදයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව දුමින්ද නාගමුව වැඩිදුරටත් අවධාරණය කළේය.

 

 

 

 

නවතම ලිපි