SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලංකා කෝල් සමාගමේ හදිසි ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළව මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන

ආන්දෝලනාත්මක හඬපටය 'විකෘති කරන ලද්දක්' බව ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal Company) සභාපති ජයන්ත රත්නායක පවසයි. සභාපතිවරයාගේ අත්සනින් යුතුව අද (13) දින නිකුත් කළ නිල නිවේදනයක් හරහා ඔහු මේ බව සඳහන් කර ඇත.

 

 

සභාපතිවරයාගේ නිවේදනය

 WhatsApp_Image_2026-04-13_at_12.17.02.jpeg

 


2026 මාර්තු 25 වැනි දින තමා, සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා සහ ගල් අඟුරු සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අතර සිදුවූ දුරකථන සංවාදයක් විවිධ අයුරින් විකෘති කර අර්ථ ගැන්වෙන අයුරින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව සභාපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. කැබිනට් අනුමැතිය සහිතව නිසි ටෙන්ඩර් පටිපාටියක් යටතේ තෝරාගත් සැපයුම්කරුගේ දේශීය නියෝජිතයාට, බැංකුව විසින් නිකුත් කරන කාර්යසාධන ඇපකරය (Performance Bond) එදිනම ලබා දෙන ලෙස කළ දැනුම්දීමක් මෙලෙස විකෘති කර ඇති බව ඔහු අවධාරණය කරයි. ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව සිදුවන බැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

සීල් තැබූ කාර්යාලයෙන් ලිපිශීර්ෂ එළියට ආවේ කොහොමද?

 

එහෙත්, සභාපතිවරයාගේ මෙම නිවේදනයත් සමග බරපතල තාර්කික ගැටලුවක් සහ සාධාරණ සැකයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. ඊයේ දින අධිකරණ නියෝගයක් මත ලංකා කෝල් සමාගමට සීල් තබා පොලිස් ආරක්ෂාව යොදවා තිබියදී, සභාපතිවරයාට සිය අත්සනින් යුතුව ආයතනයේ නිල ලිපිශීර්ෂයකින් (Letterhead) අද (13) දිනයේ නිවේදනයක් නිකුත් කිරීමට හැකිවූයේ කෙසේද යන්න බලවත් ප්‍රශ්නයකි.

 

WhatsApp_Image_2026-04-13_at_13.32.37.jpeg

ප්‍රකට මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ද සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම ප්‍රශ්නය මතුකරමින්, සීල් තැබූ කාර්යාලයක ලිපිශීර්ෂ පිටතට ආවේ කෙසේදැයි ප්‍රශ්න කර ඇත. එමෙන්ම මෙම මතභේදාත්මක නිවේදනය ජනාධිපති මාධ්‍ය අංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීම ද දැඩි විවේචනයට ලක්ව තිබේ.

 

 

මුජිබර් රහ්මාන්ගෙන් CID පැමිණිල්ලක්

 

WhatsApp_Image_2026-04-13_at_11.02.42.jpeg

 

මේ අතර, ගල් අඟුරු ටෙන්ඩරය සහ අදාළ හඬපටය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

 

අදාළ හඬපටයේ කතා කරන පුද්ගලයා විසින් ජනාධිපතිවරයා, ධම්මික පෙරේරා, මොහාන්, නාමල් වැනි නම් කිහිපයක් ප්‍රකාශ කරන බවත්, මේ හරහා ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවත් මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලෙන්  පෙන්වා දී ඇත. එබැවින් මෙම මහා පරිමාණ වංචාව සහ කූට ලේඛන සැකසීම් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු CID යෙන් ඉල්ලා සිටී.

 

 

අධිකරණය මැදිහත් වී ආයතනයට සීල් තබා ඇති පසුබිමක, රජයේ නිල යාන්ත්‍රණය භාවිතා කරමින් සැකකටයුතු ලෙස නිවේදන නිකුත් කිරීම හරහා මෙම හදිසි ගල් අඟුරු ගනුදෙනුව පිටුපස ඇති සැඟවුණු හස්තයන් පිළිබඳව සමාජය තුළ තවදුරටත් දැඩි සැකයක් මතුකරයි.

 

නවතම ලිපි