SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

2026 ගල් අඟුරු වික්‍රමය යනු එක් මොහොතක දේශපාලන නායකයින්ගේ පැත්තටත්, තවත් මොහොතක

නිලධාරීන්ගේ පැත්තටත්, තවත් මොහොතක ව්‍යාපාරිකයින්ගේ පැත්තටත් හැරෙමින් මෙරට බලශක්ති ක්ෂේත්‍රය ගිලගත් මෙගා නාටකයකි.

 

 

එහෙත්, අද(12) දවසේ කරළියට පැමිණ ඇති ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal Company) ඉහළ නිලධාරීන් සහ ටෙන්ඩරය ඉදිරිපත් කළ ව්‍යාපාරික පාර්ශ්වයක් අතර සිදුවූ සාකච්ඡාමය හඬපටය මගින් හෙළිදරව් වන්නේ හුදු ඕපාදූපයක් නොවේ. එය බිලියන ගණනක මහජන මුදල් කොල්ලකෑම සඳහා මෙරට නීති පද්ධතිය අමු අමුවේ උල්ලංඝනය කරන ආකාරය සනාථ කරන භයානක අපරාධමය සාක්ෂියකි.

 

 

පහත දැක්වෙන්නේ එම සජීවී හඬපටයයි. මෙය ශ්‍රවණය කරන ඕනෑම අයෙකුට මේ පිටුපස ඇති දූෂිත දේශපාලන සහ නිලධාරී හස්තය මනාව වටහා ගත හැකිය.

 

 

 

 

 

 

මෙම හඬපටයෙන් හෙළිවන බරපතල ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීම් සහ ඊට අදාළ නෛතික පසුබිම පහත පරිදි පෙළගැස්විය හැක.

 

 

රාජ්‍ය මුදල් කොල්ලයට වැට බඳින නීතිමය පවුර


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පාලනයේ පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. මහජන බදු මුදල් නාස්තිය වළක්වා, විනිවිදභාවයෙන් සහ සාධාරණ තරගකාරීත්වයෙන් යුතුව රාජ්‍ය මිලදී ගැනීම් සිදු කිරීම සඳහා නෛතික රාමුවක් ලෙස 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ (Government Procurement Guidelines - 2006) ක්‍රියාත්මක වේ.

 

 

මහා පරිමාණ ව්‍යාපෘතියකදී තරගකාරී ලංසු තැබීමක් (Bidding) අනිවාර්ය වන්නේ ජාතික ධනය ආරක්ෂා කරගැනීම සඳහාය. එහෙත්, මෙම හඬපටය ඔස්සේ අපට ඇසෙන්නේ එම නීතිමය පවුර රජයේ ඉහළම නිලධාරීන් විසින්ම සුනුවිසුනු කර දමන ආකාරයයි.

 

හඬපටයෙන් තහවුරු වන ප්‍රධාන නීති උල්ලංඝනය කිරීම් 3ක්:

 

1. "කාලය" වෙනස් කරමින් සිදු කරන කූට ලේඛන වංචාව

ටෙන්ඩර් ලියවිලි භාර දීමේ නීත්‍යානුකූල කාලය අවසන් වී තිබියදීත්, ලංකා ගල් අඟුරු සමාගමේ ඉහළම නිලධාරියා ටෙන්ඩරය හිමි සමාගමේ නියෝජිතයා වූ "මයිකල්" නමැත්තාට ලබා දෙන නියෝගය මෙසේය;

නිලධාරියා: "කීයටද ඔයාට දෙන්න පුළුවන් මයිකල් මහත්තයා?"
නියෝජිතයා: "සර් හෙට උදේ 10ට?"
නිලධාරියා: "මේකයි මහත්තයෝ, 9.59. 10 නෙමෙයි, අද දිනය තියෙන්නත් ඕනේ."

 

කැඩූ නීතිය: 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල 6.2 සහ 6.3 වගන්ති.

 

 

නෛතික විග්‍රහය:

මාර්ගෝපදේශයේ 6.3 වගන්තිය (Late Bids) මගින් ප්‍රමාද වී ලැබෙන ලංසු භාරගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. නියමිත වේලාවෙන් පසුව තත්පරයක් හෝ පමා වී ලැබෙන ලංසුවක් විවෘත නොකර ප්‍රතික්ෂේප කළ යුතුමය. එසේ තිබියදී, පසුදින උදෑසන දක්වා කල් ලබා දීම සෙසු ලංසුකරුවන්ට කරන දැවැන්ත වංචාවකි.

 

ඊටත් වඩා භයානක කරුණ වන්නේ "අද දිනය දාලා ගේන්න" (Backdating) යැයි නිලධාරියා ලබා දෙන උපදෙසයි. මෙය හුදු ප්‍රසම්පාදන වරදක් නොව, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි "කූට ලේඛන සකස් කිරීම" (Forgery) නම් වූ සාපරාධී වරදකි.

 

 

2. ඇගයීම් කමිටුවල ස්වාධීනත්වය විනාශ කරන දේශපාලන හස්තය

ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල (මාර්ගෝපදේශ අංක 2 සහ 8 යටතේ) මූලිකම පදනම වන්නේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව, ස්වාධීන තාක්ෂණික ඇගයීම් කමිටු (TEC) සහ කැබිනට් ප්‍රසම්පාදන කමිටු (CAPC) මගින් තීරණ ගැනීමයි. එහෙත් හඬපටයේ ඇසෙන්නේ වෙනත් කතාවකි.

 

නිලධාරියා: "මේක මේ ඇමතිතුමා කිව්ව නිසායි මම බලන්නෙ... මම බේරන්නෙ කාටවත් නෙමෙයි. ජනාධිපතිතුමාවයි, ධම්මික මහත්තයාවයි..."

 

 

නෛතික විග්‍රහය:

බලශක්ති අමාත්‍යවරයාගේ සිට රටේ විධායක ජනාධිපතිවරයා දක්වා නම් මේ තුළ කියැවේ. මෙය අමාත්‍යවරුන් සහ විධායකය සතු බලය ප්‍රසම්පාදන ක්‍රියාවලියට සෘජුවම බලපෑම් කිරීම සඳහා අවභාවිතා කිරීමකි. ජාතික ධනය තීරණය වන ස්වාධීන කමිටුවක් කටයුතු කරන්නේ රාජ්‍යය වෙනුවෙන්ද, නැතහොත් දේශපාලනඥයින් "බේරීමටද" යන්න මෙයින් මනාව පැහැදිලි වේ.

 

 

3. මහජනතාව වෙනුවට ව්‍යාපාරිකයාගේ ප්‍රතිරූපය රැකීම

රාජ්‍ය නිලධාරියෙකුගේ මූලික වගකීම වන්නේ ජනතාවගේ බදු මුදලට උපරිම වටිනාකමක් ලබා දීමයි. එහෙත් හඬපටයේ නිලධාරියා පවසන්නේ මෙවැන්නකි;

 

නිලධාරියා: "අර ධම්මික පෙරේරා මහත්තයාගේ නම කන්න එපා..."

 

 

නෛතික විග්‍රහය:

ටෙන්ඩරය ඉදිරිපත් කරන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුද්ගලික ප්‍රතිරූපය හෝ නම ආරක්ෂා කිරීම රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරිය නොවේ. මෙම ප්‍රකාශය හරහා අදාළ නිලධාරීන් මහජනතාවගේ පැත්තේ නොසිට, ව්‍යාපාරිකයාට පක්ෂපාතීව (Conflict of Interest) කටයුතු කරන බව සැකයකින් තොරව ඔප්පු වේ.

 

 

කෝප් කමිටුව මඟහැරීමේ අභිරහස!
පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විසින් කෝප් (COPE) කමිටුව හමුවේ චෝදනාවක් ගෙන එමින් පැවසුවේ ලංකා කෝල් සමාගමේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවට පෙනී නොසිට මඟහරින බවයි. පාර්ලිමේන්තුවේ මුදල් බලය ක්‍රියාත්මක කරන ප්‍රධානතම කමිටුවක් මඟහැරීමට තරම් රාජ්‍ය නිලධාරියෙකුට හයියක් ලැබෙන්නේ කෙසේද? ඒ හඬපටයෙන්ම කියැවෙන පරිදි "ඇමතිතුමාගේ" සහ ඉහළම දේශපාලන නායකත්වයේ රැකවරණය මෙම ගනුදෙනුවට ලැබී ඇති නිසා ද?

 

 

නිගමනය
ලංකා ගල් අඟුරු සමාගම මෙලෙස ප්‍රසම්පාදන නීති අමු අමුවේ කැඩුවේ ඇයි? ඒ, රටට අඩු මුදලට ගල් අඟුරු ගෙන ඒමට නොව, දේශපාලනඥයින්ගේ ආශිර්වාදය ලත් ඇතැම් ව්‍යාපාරිකයින්ගේ මල්ල තර කිරීම වෙනුවෙනි. රජයේ ලියවිලිවල දින වෙනස් කරමින්, රාත්‍රියට ටෙන්ඩර් සාකච්ඡා කරමින් රහසිගතව සිදු කළ මෙම අපරාධයේ නිරුවත දැන් හඬපටයක් ලෙසම එළියට පැමිණ ඇත.

 

 

මහජන බදු මුදලින් ක්‍රියාත්මක වන ජාතික ප්‍රසම්පාදනයක් "මයිකල් මහත්තයාගේ" හෝ ඉහළ ව්‍යාපාරිකයින්ගේ පුද්ගලික බූදලයක් බවට පත්වීමට ඉඩ නොදීම යුක්තිය ගරු කරන සියල්ලන්ගේම වගකීමකි. අවශ්‍ය සාක්ෂි සියල්ල ජාතිය හමුවේ විවෘතව ඇත; දැන් අවශ්‍යව ඇත්තේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අවදි වීම පමණි.

 

 

# සමාරා පරණවිතාන

 

නවතම ලිපි