SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක්‍රියාවලියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(GMOA) අද (09) උදෑසන 8.00 සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර, ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ එම සංගමය සමග අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කරන බවයි.

 

 

අර්බුදයේ පසුබිම සහ පාර්ශ්වයන්ගේ ස්ථාවරය

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ස්ථාවරය: සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම් කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට නව සේවා ස්ථාන ප්‍රකාශයට පත් කිරීමේදී කලින් එකඟ වූ කොන්දේසි අමාත්‍යාංශය විසින් උල්ලංඝනය කර ඇති බවයි.

 

  • සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ස්ථාවරය: අද පාර්ලිමේන්තුවේදී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳව කරුණු දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම වර්ජනය දැඩි ලෙස විවේචනය කළේය.

"මේ විදියට නම් හැසිරෙන්නේ තවදුරටත් අද ලබාදුන්න සාකච්ඡාව මම කරන්නේ නෑ... මේ වැඩවර්ජනය අසාධාරණයි. එයට අපි රජය විදියට මුහුණදෙන්න සුදානම්."

යනුවෙන් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

 

GMOA strike 2

 

සාමාන්‍ය ජනතාව බිලිගන්නා සුපුරුදු කඹ ඇදිල්ල

 

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ආණ්ඩුව අතර මෙම සුපුරුදු කඹ ඇදීම මේ වන විට යළිත් ආරම්භ වී ඇත. කුමන ආණ්ඩුවක් බලයේ සිටියද, මෙම වෘත්තීය ගැටුම්වල අවසන් ප්‍රතිඵලය වන්නේ රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අහිංසක, සාමාන්‍ය පන්තියේ රෝගීන් දැඩි අපහසුතාවට පත්වීම සහ ඇතැම් විට තම ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවීමයි.

 

මෙම අර්බුදය හමුවේ ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව සමාජයේ අවධානය යොමු විය යුතුව තිබේ:

 

  1. විධිමත් සැලැස්මක අවශ්‍යතාව: ආණ්ඩුව විසින් මෙම තත්ත්වය තේරුම් ගෙන වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවය බාධාවකින් තොරව ලබා ගැනීමේ සහ ඔවුන්ගේ ගැටලු විසඳීමේ නිශ්චිත ක්‍රමවේදයක් (Plan) කඩිනමින් සකස් කළ යුතුව ඇත.

 

  1. ර්ජනය සහ පෞද්ගලික වෛද්‍ය සේවය (Channeling): සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනය ලබා වෛද්‍යවරුන් බවට පත් වූ පිරිසක්, තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් රජයේ රෝහල්වල වැඩ වර්ජනය කරන කාලසීමාව තුළ පෞද්ගලික රෝහල්වල මුදලට ප්‍රතිකාර කිරීම නතර කර දැමීමට සදාචාරාත්මකව කටයුතු කළ යුතුය.

 

  1. බලපෑම යොමු විය යුත්තේ කාහටද?: රජයන්ට සැබැවින්ම පීඩනයක් එල්ල වන්නේ කිසිදු විකල්පයක් නොමැති සාමාන්‍ය ජනතාව නොසලකා හැරීමෙන් නොව, මධ්‍යම සහ ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ අවශ්‍යතාවලට හරස් කැපීමෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ද වටහා ගත යුතුය.

 

 

කෙසේ වුවද, "පහත් තැනින් ජලය ගලා යන්නා සේ" මෙම සියලු වෘත්තීය අරගලවල සහ අයිතිවාසිකම් දිනාගැනීමේ සටන්වල සම්පූර්ණ බර සහ පීඩාව අවසානයේ පටවනු ලබන්නේ, ජීවන බරින් සහ බදු බරින් දැනටමත් හෙම්බත්ව සිටින, මෙන්ම වරින් වර මේ රටේ පාලකයින් බලයට පත් කිරීමට වැඩිම දායකත්වයක් සැපයූ සාමාන්‍ය ජනතාවගේම කර මතට බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

 

 

#නිරෝමී සුබ්‍රමනියම්

 

නවතම ලිපි