(දේශපාලන විචාරකයෙකුගෙනි)
ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් සමගි ජන බලවේගය (සජබ) සහ
එක්සත් ජාතික පක්ෂය (එජාප) එකට එක්විය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා කොළඹදී කළ ප්‍රකාශයක් කළේය.
දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක ගේ 84 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව අවධාරණය කළේය. පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක, ඒ වැරදි තීන්දුවල අමිහිරි ප්‍රතිඵල ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාව අත්විඳින බවත්, දැන් අවශ්‍ය වන්නේ දක්ෂිණාංශික හෝ වාමාංශික කඳවුරු නොව පොදු ජන කඳවුරක් ශක්තිමත් කිරීම බවත් ඔහු එහිදී පැවසීය.
ගාමිණී දිසානායක අපේක්ෂා කළ අන්දමට කෘෂිකර්මාන්තය නඟා සිටුවමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන, ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ලබා දී ශක්තිමත් කරන පොදුජන කඳවුරක් නිර්මාණය කළ යුතු බවත්, එවැනි එකතුවකට සජබය සහ එජාපය එක්ව මුලපුරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ අදහස විය.
සජිත්ගේ සුබවාදී අරමුණ සහ රනිල්ගේ දේශපාලන යථාර්ථය
විපක්ෂ නායකවරයාගේ මෙම අදහස බැලූ බැල්මට යහපත් වුවද, ඊට පසුබිම් වන දේශපාලන යථාර්ථය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන උපායමාර්ග පිළිබඳව ගැඹුරින් විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ මෙය සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන ගමනට එල්ල විය හැකි මාරාන්තික උගුලක් විය හැකි බවයි.
රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගය බිහිවූ දා පටන්ම කටයුතු කළේ එක් ප්‍රධාන න්‍යාය පත්‍රයකට අනුවය. එනම්, "වෙන කාට බලය ගියත් කමක් නැහැ, සජිත්ට නම් බලය යන්න දෙන්නේ නැහැ" යන දෘඪ ප්‍රතිපත්තියයි. පසුගිය කාලය පුරාවටම ඔහුගේ ක්‍රියාකලාපය තුළින් මෙම යථාර්ථය මොනවට පැහැදිලි විය. එය අද වනවිටද කිසි ලෙසකින් වෙනස් වී නැත.
ජනාධිපතිවරණයේ දී එජාප නායකයාගේ හැසිරීම
පසුගිය ජනාධිපතිවරණය මෙයට කදිම නිදසුනකි. මැතිවරණ සටන අතරතුරදීම තමන්ට කිසිදු ජන බලයක් හෝ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහ ට හොඳින්ම අවබෝධ විය. ඉන් අනතුරුව ඔහු සිය උපරිම ශක්තිය යෙදවූයේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නොව, සජිත් ප්‍රේමදාස ගේ පරාජය තහවුරු කිරීම වෙනුවෙනි. සජබයේ ඡන්ද පදනම කඩාකප්පල් කරමින්, වක්‍රාකාරයෙන් අනුර කුමාර දිසානායක ගේ ජයග්‍රහණයට පාර කැපුවේ රනිල්ගේ මෙම උප්පරවැට්ටි බව මෙරට දේශපාලනය තේරුම් ගත් කිසිවෙකුට රහසක් නොවේ.
මෙම සත්‍යය නොදන්නා කෙනෙකු නැති තරම්ය. එය නොදන්නා බව හඟවමින්, තවමත් රනිල් වික්‍රමසිංහ යනු දේශපාලන ඥානවන්තයෙකු ලෙස පින්තාරු කරන්නේ සමාජ මාධ්‍ය තුළ (Facebook) සැරිසරන අතලොස්සක් වූ රනිල්වාදී 'සේදුම් බලකාය' (Washing Brigade) පමණි. සැබෑ මහපොළොවේ යථාර්ථය නම්, එජාප නායකත්වය සැමවිටම සජිත්ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීමට මාන බැලූ බවයි.
ඉදිරි මාවත කුමක්ද?
මෙවන් පසුබිමක් තුළ, තමන්ගේ පරාජය වෙනුවෙන්ම සැලසුම් සහගතව ක්‍රියා කළ, කිසිදු ජන පදනමක් නොමැති නායකයෙකුගේ පක්ෂයක් සමඟ යළිත් සන්ධානගත වීමට සජිත් ප්‍රේමදාස දරන උත්සාහය කෙතරම් දුරට ප්‍රායෝගිකද?
- එජාපය සමග එක්වීමෙන් සැබවින්ම පොදුජන කඳවුරක් ශක්තිමත් කළ හැකිද?
- එසේත් නොමැති නම්, රනිල් වික්‍රමසිංහගේ පැරණි දේශපාලන උප්පරවැට්ටිවලට යළිත් වරක් හසුවී සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ජීවිතය මුළුමනින්ම අවසන් වී යනු ඇත්ද?
ජනතාවාදී කඳවුරක් ගොඩනැගීමට පෙර, තමන් සමඟ එක්වන්නේ සැබෑ මිතුරෙකුද නැතහොත් තමන්ව දේශපාලනිකව ඝාතනය කිරීමට සැරසෙන ප්‍රතිවාදියෙකුද යන්න පිළිබඳව සමගි ජන බලවේගයේ නායකත්වයත්, එහි පාක්ෂිකයනුත් දෙවරක් නොව කීප වරක්ම සිතා බැලිය යුතු කාලය එළඹ ඇත.

