රුහුණේ සුගලාගේ සටහන:
රටක ඉරණම තීරණය වන්නේ එහි රජවරුන්ගේ කඩුවලින් පමණක් නොවේ;
ඒ කඩුව මුවහත් කරන,භාණ්ඩාගාරයේ යතුරු කැරැල්ල දරා සිටින මහ ඇමතිවරුන්ගේ සහ වෙළඳ ප්‍රජාවගේ අවංකභාවය මතය. වර්ෂ දෙදහස් විසිහතරක් වූ සැප්තැම්බර් මාසයේ දී මේ රටේ ජනතාව පාලන තන්ත්‍රයේ මහා පෙරළියක් ඇති කළේ, කුණුවී ගිය පාලන ව්‍යුහය පවිත්‍ර කිරීමේ අභිලාෂයෙනි. එහි එක් පියවරක් ලෙස ජාතික ගුවන් සේවයට නව මුලාදෑනියෙකු පත් කරන ලදී. එය හඳුන්වා දුන්නේ බරපතල කළමනාකරණ ප්‍රතිසංස්කරණයක් ලෙසිනි.
නමුත්, රුහුණේ සිට බලන මට පෙනෙන්නේ මෙය ප්‍රතිසංස්කරණයක් නොව, අපේ රාජ්‍ය ව්‍යවසාය ඉතිහාසයේ මා දුටු දරුණුතම පාවාදීමක් බවයි. සතුරාට තම බලකොටුවේ ප්‍රධාන දොරටුවේ යතුරු භාරදීමක් වැනි, ව්‍යුහාත්මකව අතිශය ගැටලු සහගත පාලක මණ්ඩල සැකැස්මක් අද එහි නිර්මාණය වී ඇත.
ජාතික ගුවන් සේවයේ සුක්කානම භාරගත් නව සභාපතිවරයා, මෙරට ප්‍රබලතම ව්‍යාපාරික සමූහයක් වන ‘ද කෝපරේට්’ නමැති සමාගම සමඟ ඇති සිය අතීත වාණිජ සබඳතා තවමත් අත්හැර නැත. මෙය අතීතයට අයිති කතාවක් නොවේ; අදටත් රාජ්‍යයේ රුධිරය උරා බොන සක්‍රීය සබඳතාවකි. ‘ද කෝපරේට්’ හි ගුවන් සේවා අංශය යනු ජාතික ගුවන් සේවය සමඟ කරට කර ගැටෙන විදේශීය අහස් යාත්‍රා වල ප්‍රධාන විකුණුම් නියෝජිතායතනයයි. ලන්ඩන්, සිංගප්පූරුව සහ මෙල්බර්න් වෙත අපේ ගුවන් යානා පියාසර කරන විට, එම ගමනාන්තවලටම පියාසර කරන වෙනත් සමාගම්වල ආසන අලෙවි කරන්නේ මේ කියන 'ද කෝපරේට්' ආයතනයයි.
තම රාජ්‍යයේ බලකොටුව බිඳලීමට මාන බලන සතුරු කඳවුරේ ඔත්තුකරුවෙකුම තම මාලිගයේ මුල් පුටුවේ අසුන් ගැන්වූ කල, එහි රහස්‍යභාවය සුරැකෙන්නේ කෙසේද? තීරණාත්මක මන්ත්‍රණ සභාවලදී මෙවැනි පරස්පර බැඳියාවන් ඇති පුද්ගලයින් ඉවත් කිරීමේ කිසිදු යුක්ති සහගත සිරිතක් අද එහි නැත. ඒ වෙනුවට සිදුවන්නේ රාජ්‍යයේ අතිශය රහසිගත තොරතුරු නිර්බාධිතව සතුරු කඳවුරට ගලා යාමයි. අපේ අහස් යාත්‍රා නව ගමන් මාර්ග සොයා පියාසර කිරීමට පෙරම, සතුරා ඒ බව කල්තියා දැනගනී. එපමණක් ද නොව, වෙළඳ සටනේ දී අපේ අවම මිල ගණන් සහ සියලු උපාය මාර්ග කිසිදු ආයාසයකින් තොරවම සතුරාගේ දෝතටම පත්වේ. අනෙක් පසින්, දසලක්ෂ ගණනක් වටිනා භූමි මෙහෙයුම් සහ නඩත්තු ගිවිසුම් පිළිබඳ රහස් ද අද අමු අමුවේම විවෘතව පවතී. මේ සියල්ලෙන් සිදුවන්නේ අපේම අසිපතින් අපේම ගෙල සිඳගැනීමට සතුරාට ඉඩ හසර සලසා දීම නොවේද?
වරක් ඉන්දියානු අහස් තලයේ රජ කළේ අපේ ජාතික ගුවන් සේවයයි. දෙදහස් හත වසරේ සතියකට ගුවන් ගමන් සියයක් ද, දෙදහස් දහනවය වන විට එය එකසිය හතළිහක් දක්වා ද වර්ධනය වී තිබුණි. ඉන්දියාව යනු අපේ ජාලයේ කොඳුනාරටියයි. නමුත් අද? අද අපේ ගුවන් ගමන් සතියකට අනූවකටත් වඩා අඩුය. අපේ කිරීටය ගැලවී ගොසිනි. ඒ හිඩැස පුරවා ගත්තේ ඉන්ඩිගෝ සහ එයාර් ඉන්ඩියා විසිනි. මෙය අහම්බයක්ද? කිසිසේත්ම නැත! අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි, ඉන්දියානු මෙහෙයුම් පුළුල් කිරීමට එරෙහිව පාලක මණ්ඩලය තුළ සිටි ‘ද කෝපරේට්’ හා සම්බන්ධ නියෝජිතයින් දිගින් දිගටම තර්ක කළහ. ඔවුන් එය හැඳින්වූයේ පාඩු ලබන මාර්ග ලෙසිනි. අපේ සේවය ඉන්දියාවෙන් පසුබසිද්දී, විදේශීය 'එයාර් ඉන්ඩියා' සමාගම අපේ දේශය තුළ සිය ආධිපත්‍යය පැතිරවීය. ඒ වෙනුවෙන් මෙරට තුළ ප්‍රවේශ පත්‍ර අලෙවි කර ලාභ ඉපැයූයේ කවුද? ඒ අන් කිසිවෙකු නොව එම සමාගමේ මෙරට නියෝජිතයා වූ 'ද කෝපරේට්' ආයතනයයි. මේ සමස්ත කාලය පුරාවටම අපේ ජාතික ගුවන් සේවයේ මුල් පුටුවට අරක්ගෙන සිටියේ මේ කියන සභාපතිවරයාමය.
දැන් මේ පාවාදීමේ ප්‍රතිඵල භුක්ති විඳීමට කාලය එළඹ ඇත. එළඹෙන අප්‍රේල් මාසයේ සිට ජාතික ගුවන් සේවයට අමතර ඇමරිකානු ඩොලර් මිලියන විස්සත් විසිදෙකත් අතර ඉන්ධන බරකට මුහුණ දීමට සිදුවනු ඇත. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළම මට්ටමක තිබියදීත් බොහෝ මාර්ගවල පාඩු ලැබූ මේ ආයතනයට, මෙය හුදෙක් සුළඟක් නොව මහා සුනාමියකි.
ජාතික උරුමය අද බිඳවැටීමේ අද්දරටම පැමිණ ඇත. වසරක සිට ආයතනයට ප්‍රධාන විධායක නිලධාරියෙකු නැත. තත්ත්වය මෙතරම් දරුණු වෙද්දී, සභාපති ගනේගොඩ අදාළ පුටුව අතහැර පසුගිය සතියේ ඉල්ලා අස්වී, ගිලෙන නැවෙන් පැන ගිය බව වාර්තා වේ. ආණ්ඩුව මේ කිසිවක් නොදන්නා ගානට නිදිමරගාතේ පසුවේ. මේ විනාශයට වගකිවයුත්තන් පසුව නොව, දැන්ම මේ භූමිකාවෙන් ඉවත් විය යුතුය.
ජාතික ගුවන් සේවය යනු පෞද්ගලික බූදලයක් නොව, මේ රටේ ලේ කඳුළු හලන බදු ගෙවන්නන්ගේ දහඩිය මතින් දිවෙන මහජන දේපළකි. එබැවින්, රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වහා ක්‍රියාත්මක විය යුතුය. පාලකයන් දිවුරුම් දීමක් යටතේ කැඳවා, ඔවුහු අතට පත් වූ රහස් තොරතුරු ‘ද කෝපරේට්’ වෙත ගලා යාම වැළැක්වූයේ කෙසේදැයි තදින් ප්‍රශ්න කළ යුතුය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවදි විය යුතුය. දූෂණ විරෝධී නීති යටතේ මෙම බැඳියාවන්ගේ ගැටුම වහාම විමර්ශනයට ලක් කළ යුතුය. විගණකාධිපතිවරයාගේ විශේෂ පරීක්ෂණයක් වහා ඇරඹිය යුතුය. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට අද දක්වා ගත් සෑම මිලකරණ සහ ගමන් මාර්ග තීරණයක්ම ‘ද කෝපරේට්’ හි තරඟකාරී වාසියට හේතු වීදැයි සෙවිය යුතුය.
බලවතුන්ට එක් නීතියකුත්, සාමාන්‍ය ජනයාට තව නීතියකුත් ක්‍රියාත්මක වන්නේ නම්, සැප්තැම්බරයේ ජනවරම යනු හුදු විහිළුවක් පමණි. ගිලෙන ජාතික ගුවන් සේවයේ සේවකයින්ටත්, එහි බර කරගහන ජනතාවටත් අවසාන වශයෙන් ඇසිය යුතු එකම එක ප්‍රශ්නයක් ඇත. එය සෘජුය. එය තියුණුය.
"නුඹ ජාතික ගුවන් සේවයේ පාලක මණ්ඩලයේ අසුන් ගන්නා විට, නුඹ සැබැවින්ම සේවය කළේ කාටද?"
අතීතයේ ද්‍රෝහීන්ට දුන් දඬුවම් අද නැති විය හැකිය. නමුත් පරීක්ෂණ ආරම්භ කරන දාට, පළමුවෙන්ම විවෘත කළ යුත්තේ ඉන්දියානු ගුවන් මාර්ග පාවාදීමේ ලියවිල්ලයි. එතෙක් රුහුණේ සුගලා කඩුව අමෝරාගෙන බලා සිටී!
#SUGALAA

