SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

 ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වන ඉන්දියාව, මේ දිනවල දැඩි

ගෝලීය භූ දේශපාලනික සුළි කුණාටුවකට මුහුණ දෙමින් සිටී. ඉන්දීය මහ බැංකුව (RBI) විසින් නිකුත් කරන ලද නවතම දත්ත සහ විදෙස් මූල්‍ය මාධ්‍ය වාර්තා විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අඛණ්ඩව දෙවන සතියටත් දැඩි පසුබෑමකට ලක්ව ඇති බවයි.

 

 

මෙය හුදෙක් ඉලක්කම්වල සිදුවූ වෙනසක් පමණක් නොව, ගෝලීය බල අරගලය, යුදමය තත්ත්වයන් සහ බලශක්ති අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

දත්තවලින් කියවෙන කතාව: සංචිතවල සීඝ්‍ර පහත වැටීම

 

ඉන්දීය මහ බැංකුව (RBI) සිකුරාදා නිකුත් කළ වාර්තාවලට අනුව, ඉන්දීය ආර්ථිකයේ ප්‍රධාන ආරක්ෂක දැල වන විදේශ විනිමය සංචිතය පහත අගයන්ගෙන් වෙනස් වී ඇත:

 

  • සමස්ත සංචිතය පහත වැටීම: මාර්තු 13 න් අවසන් වූ සතිය තුළ ඩොලර් බිලියන 7.05 කින් පහත වැටී සමස්ත සංචිතය ඩොලර් බිලියන 709.76 ක් දක්වා අඩුවී ඇත. මීට පෙර සතියේද එය ඩොලර් බිලියන 11.68 ක දැවැන්ත කඩාවැටීමක් වාර්තා කළේය.

 

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ස්ථාපිතය: වාර්තාකරණ සතිය තුළ IMF හි ඉන්දියාවේ සංචිත තත්ත්වය ඩොලර් මිලියන 15 කින් අඩුවී ඩොලර් බිලියන 4.814 ක් දක්වා පහත වැටී තිබේ.

 

  • විදේශ ව්‍යවහාර මුදල් වත්කම් (FCA): මෙහි අඩුවීමක් දක්නට ලැබෙන අතර, ඩොලර්වලින් ප්‍රකාශ කළද, යුරෝ, පවුම් සහ යෙන් වැනි වෙනත් ප්‍රධාන මුදල් ඒකකවල සිදුවූ අගය අවප්‍රමාණය වීම් හෝ ඉහළ යාම් මෙයට බලපා ඇත.

 

  • රන් සංචිතවල ඉහළ යාම: සමස්ත සංචිතය පහත වැටුණද, සතිය තුළ ඉන්දියාවේ රන් සංචිතවල වටිනාකම ඩොලර් මිලියන 664 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 130.681 ක් වී ඇත.

 

සංචිත දියවීමට සැබෑ හේතුව කුමක්ද?

 

ජාත්‍යන්තර "Economy Review" මාධ්‍ය වාර්තා සහ ගෝලීය දත්ත පදනම් කරගනිමින් මෙම තත්ත්වය පිටුපස ඇති භූ දේශපාලනික සාධක ත්‍රිත්වය මෙසේ පෙළගැස්විය හැක.

1. මැදපෙරදිග අර්බුදය සහ බලශක්ති වෙළෙඳපොළේ උච්චාවචනය

ඉන්දියාව යනු සිය බලශක්ති අවශ්‍යතාවයෙන් 80% කට වඩා ආනයනය කරන රටකි. විශේෂයෙන් ඉරානය සහ ඊශ්‍රායලය අවට නිර්මාණය වී ඇති දැඩි යුදමය සහ දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. තෙල් මිල ඉහළ යන විට ඉන්දියාවට සිය ආනයන වෙනුවෙන් වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙවීමට සිදුවන අතර, එය සංචිත මත දැඩි පීඩනයක් එල්ල කරයි.

 

2. ඉන්දීය රුපියල (INR) ආරක්ෂා කිරීමේ මහ බැංකු මෙහෙයුම

විදේශ සංචිත මෙතරම් විශාල ප්‍රමාණයකින් අඩුවීමට ප්‍රධානතම හේතුව වන්නේ, ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල කඩාවැටීම වැළැක්වීම සඳහා මහ බැංකුව (RBI) ඩොලර් බිලියන ගණනින් විදේශ විනිමය වෙළෙඳපොළට මුදා හැරීමයි. ගෝලීය ආයෝජකයින් අර්බුදකාරී අවස්ථාවලදී සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිය ආයෝජන ඉවත් කරගන්නා විට, රුපියල ස්ථාවරව තබා ගැනීමට මහ බැංකුවට මැදිහත් වීමට සිදුවේ.

 

3. අර්බුදයේ රන් ආවරණය (Gold as a Safe Haven)

මුදල් සංචිත අඩුවෙද්දී රන් සංචිතවල වටිනාකම ඩොලර් මිලියන 664 කින් ඉහළ යාම ඉතා වැදගත් දර්ශකයකි. ලෝක දේශපාලනය අස්ථාවර වන විට සහ ඇමරිකානු ඩොලරය පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතුවන විට, ලොව පුරා මහ බැංකු ආරක්ෂිත වත්කමක් ලෙස රන් මිලදී ගැනීමට යොමු වේ. ඉන්දීය මහ බැංකුව ද සිය සංචිත විවිධාංගීකරණය කරමින් රන් මත වැඩි විශ්වාසයක් තබන බව මින් පැහැදිලි වේ.

 

ඉන්දියාවේ වත්මන් තත්ත්වය දෙස බැලීමේදී පැහැදිලි වන ප්‍රධානතම සත්‍යය නම්, ගෝලීය යුදමය තත්ත්වයක් ඇරඹි සැණින් කඩා වැටෙන හෝ දෙදරුම් කන ආර්ථිකයක් යනු කිසිසේත්ම ස්ථාවර ආර්ථිකයක් නොවන බවයි. පසුගිය වසර කිහිපය තුළ ඉන්දීය ආර්ථිකයේ දක්නට ලැබුණු සීඝ්‍ර වර්ධනය පිටුපස, රුසියානු-යුක්‍රේන සහ ඊශ්‍රායල-පලස්තීන යුද ගැටුම්වල සෙවණැලි පවතින බව රහසක් නොවේ. විශේෂයෙන්ම බටහිර සම්බාධක මධ්‍යයේ රුසියානු බොරතෙල් මිලදී ගෙන, ඒවා පිරිපහදු කර යුරෝපයට අලෙවි කිරීමේ අතරමැදි භූමිකාව හරහා ඉන්දියාව විශාල ආර්ථික වාසියක් ලබා ගත්තේය. වෙනත් රටවල අර්බුද මත යැපෙන මෙවැනි වර්ධනයන් තාවකාලික බව වත්මන් සංචිත කඩාවැටීම මනාව ඔප්පු කර පෙන්වයි.

 

 

මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ඇතැම් බුද්ධිමතුන් සහ ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව ද ඉන්දියානු ආර්ථික ආකෘතිය හෝ තමිල්නාඩු වෙළෙඳපොළ පසුපස යා යුතු බවයි. එහෙත් මේ මොහොතේ අප උගත යුතු ප්‍රබලම පාඩම වන්නේ, වෙනත් රටවල ආකෘති හිස් මුදුනින් පිළිගන්නවාට වඩා, රටක ආර්ථිකය ඒ රටේම ස්වාභාවික සහ මානව සම්පත් මත ස්වාධීනව ගොඩනැගිය යුතු බවයි. එවිට ගෝලීයව පැනනඟින කුමන අර්බුදයක් මධ්‍යයේ වුවද, බාහිර කම්පනවලට හසු නොවී තමන්ගේම දෙපයින් හිටගෙන ඊට මුහුණ දීමේ හැකියාව එම ජාතියට හිමි වේ.

 

 

අපගේ පරිභෝජනවාදය ද බාහිර ලෝකයේ මිරිඟුවලට නතු නොවී, අපට ගැළපෙන සහ අපගේ දේශීය ආර්ථිකයට ඔරොත්තු දෙන ආකාරයට සකස් කර ගත යුතුය. සැබෑ සංවර්ධනය යනු හුදු ඩොලර් බිලියන ගණනක සංචිත ගොඩගසා ගැනීම හෝ අහස උසට ගොඩනැගිලි ඉදි කිරීම පමණක් නොවේ; එය මිනිසාට කිසිදු පීඩනයකින් තොරව නිදහසේ හුස්ම ගැනීමට සහ නිදහසේ ජීවත් වීමට හැකි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමයි.

 

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි