බටහිර ආසියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස,
ඉදිරි අප්‍රේල් සහ මැයි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව රජයන් අතර (G2G) පදනම මත ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය සැලසුම් කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ, පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් දාමයට සහ නිෂ්පාදනයට බාධා එල්ල වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වෙනසක්
මෙම යෝජනාව නුදුරේදීම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන ටෙන්ඩර් කැඳවීම සහ ලංසු ඇගයීම වැනි ප්‍රසම්පාදන රෙගුලාසි මඟහැර සෘජුවම ඉන්දියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කෙරේ.
අමාත්‍ය විජිත හේරත් පසුගිය මාර්තු 6 වැනිදා නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ඉන්දියාව ඒ සඳහා යහපත් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඇස්තමේන්තු කරන ලද අප්‍රේල් සහ මැයි මාසවලට අවශ්‍ය ඩීසල්, පෙට්‍රල් සහ ෆර්නස් ඔයිල් ප්‍රමාණයන් පිළිබඳ දත්ත දැනටමත් ඉන්දියාව වෙත යොමු කර ඇත.
රුසියාව සමඟ ද සාකච්ඡා
ඉන්දියාවට අමතරව රුසියාව සමඟ ද මෙවැනිම එකඟතාවයකට එළඹීමට රජය මේ වන විට අවධානය යොමු කර තිබේ. අමාත්‍ය විජිත හේරත් සහ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් අතර පසුගිය බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවකට මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා ද සහභාගී වූහ.
රුසියානු බලශක්ති අමාත්‍යවරයා ද ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබා දීමට එකඟතාව පළ කර ඇති බව තානාපතිවරයා මෙහිදී දැනුම් දී ඇත.
ගෙවීම් සම්බන්ධ ගැටලුව
දැනට පවතින එකම බාධකය වන්නේ ගෙවීම් සිදු කරන මුදල් ඒකකය (Currency) තීරණය කිරීමයි. 2022 යුක්රේන යුද්ධයෙන් පසු රුසියාවේ ඩොලර් සහ යුරෝ ගිණුම් බටහිර රටවල් විසින් අත්හිටුවීම නිසා ඔවුන් ජාතික මුදල් ඒකක හරහා ගනුදෙනු කිරීමට උත්සාහ කරයි. මේ පිළිබඳව සාකච්ඡා කර විසඳුමකට එළඹෙන ලෙස රජය විසින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ට උපදෙස් දී තිබේ.

