2015 වසරේ පොහොර සංස්ථාවේ සිදුවූ බව කියන රුපියල් මිලියන 8ක මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන්
වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) තීරණය කර ඇත.
අමාත්‍යවරයා ඇතුළු තවත් දෙදෙනෙකුට එරෙහිව අධිචෝදනා පත්‍ර සකස් කරන ලෙස කොමිසම සිය නිලධාරීන්ට මේ වන විටත් නියෝග කර තිබේ.
මෙම චෝදනාවට පදනම් වී ඇත්තේ 2015 වසරේදී අමාත්‍යවරයා පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී සිදුවූ බව කියන සිදුවීමකි. අදාළ මතභේදයට තුඩු දුන් ටෙන්ඩරය ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ද ඔහු විසිනි.
රුපියල් මිලියන 8ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව අදාළ පාර්ශ්වයන්ට එල්ල වී ඇත.
අමාත්‍යවරයා සිය නීතිඥවරයා හරහා කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියද, කොමිසම ලබා දී ඇත්තේ ලිඛිතව කරුණු දැක්වීමේ අවස්ථාව පමණි.
එම ලිඛිත කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව, අමාත්‍යවරයා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගනිමින් මහාධිකරණයේ නඩු පැවරීමට කොමිසම අවසන් තීරණයට එළඹ තිබේ.

