SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මාස් කන්නයේ අස්වනු නෙළීම ඇරඹීමත් සමඟම, සිරිත් පරිදි වී අලෙවිය සම්බන්ධ ගැටලු යළිත් කරළියට පැමිණ තිබේ.

අතරමැදියන් සහ මෝල් හිමියන් අඩු මිලට වී මිලදී ගැනීමට මාන බලන බවට ගොවි සංවිධාන මැසිවිලි නඟයි. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික වාද විවාදවලින් ඔබ්බට ගොස් මෙම ගැටලුවට ප්‍රායෝගික සහ ආර්ථිකමය විසඳුමක් සෙවීම කාලීන අවශ්‍යතාවකි.

 

 

කෘෂිකාර්මික ඉඩම් කුඩා කැබලි බවට පත්වීම, බාල ගණයේ කෘෂි යෙදවුම්වල හානිකර ප්‍රතිවිපාක, යන්ත්‍රෝපකරණ සපයා ගැනීමේ දුෂ්කරතා සහ ණය බර වැනි අභියෝග රැසක් මධ්‍යයේ ගොවියාගේ එකම අපේක්ෂාව තම අස්වැන්නට "හොඳ මිලක්" ලබා ගැනීමයි.

 

 

වී මිල තීරණය වන වෙළඳපොළ සාධක

වෙළඳපොළට ඉදිරිපත් කරන වීවල මිල කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ එහි අඩංගු තෙතමනය සහ කාටු, බොල්, රොඩු වැනි අපද්‍රව්‍ය ප්‍රමාණයයි. මීට අමතරව පහත සාධක ද මිල කෙරෙහි සෘජුවම බලපායි:

  • අස්වනු නෙළන සමයේ ඉහළ යන වී සැපයුම.
  • විවිධ සහල් වර්ග (නාඩු, සම්බා, කීරි සම්බා) සඳහා පවතින පාරිභෝගික ඉල්ලුම.
  • ගැනුම්කරුවන්ගේ මූල්‍යමය හැකියාව සහ ඔවුන් අතර පවතින තරගය.
  • ගබඩා පහසුකම්, ගනුදෙනු පියවීමේ වේගය සහ ප්‍රවාහන ගාස්තු.

 

බොහෝ ආණ්ඩු මඟින් මෙයට ලබාදුන් සාම්ප්‍රදායික විසඳුම වූයේ වී සඳහා අවම මිලක් නියම කිරීමත්, සහල් සඳහා පාලන මිලක් පැනවීමත්ය. කෙසේ වෙතත්, වී සඳහා නියමිත අවම මිල ලැබෙන්නේ තෙතමනය 14% නොඉක්මවන වියළි වී සඳහා පමණි. වී වියළා ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ සහ පහසුකම් සෑම ගොවියෙකුටම නොමැති අතර, මහපාරේ වී වියළීම ආර්ථික වශයෙන් ද ඵලදායී ක්‍රියාවලියක් නොවේ.   

 

 

ගළපන ලද මිලකට (Adjusted Price) තෙත වී විකිණීම

 

ගොවියාට ඇති ප්‍රායෝගිකම විකල්පය වන්නේ අස්වැන්න නෙළාගත් සැණින්, තෙතමනය හා අපද්‍රව්‍ය සහිතවම වී තොගය විකිණීමයි. මෙහිදී ගොවියාට ලැබෙන්නේ වී තොගයේ අඩංගු තෙතමනයට සහ අපද්‍රව්‍ය ප්‍රමාණයට අනුව ගණනය කළ වට්ටම් කරන ලද මිලක් හෙවත් 'ගළපන ලද මිලකි'.   

 

 

වියළි වී (තෙතමනය 14%) කිලෝවක අවම මිල රු. 120 ක් ලෙස ගත් විට, විවිධ තෙතමනයන් හා අපද්‍රව්‍ය මට්ටම් යටතේ ගොවියාට ලැබෙන මිල පහත වගුවෙන් පැහැදිලි වේ:  

 

තෙතමනය (%)

අපද්‍රව්‍ය 0% සඳහා ගළපන ලද මිල (රු.)

අපද්‍රව්‍ය 1% සඳහා ගළපන ලද මිල (රු.)

අපද්‍රව්‍ය 2% සඳහා ගළපන ලද මිල (රු.)

14.0%

120.00

118.80

117.60

18.0%

114.42

113.27

112.13

21.0%

110.23

109.13

108.03

24.0%

106.05

104.99

103.93

28.0%

100.47

99.46

97.45

(මූලාශ්‍රය: තෙත වී විකිණීම - මිල වගුව)

 

ප්‍රායෝගික නිදසුනක්:

ඔබ විකුණන වී තොගයේ තෙතමනය 24% ක් සහ අපද්‍රව්‍ය 1% ක් යැයි සිතමු. එවිට එම වී කිලෝවක් සඳහා වගුවට අනුව ගළපන ලද මිල රු. 104.99 කි.   

  • වී සඳහා ගළපන ලද මිල: රු. 104.99    
  • අඩු කිරීම (ශුද්ධ කිරීමේ හා වේළීමේ ගාස්තු): රු. 1.00    
  • ගොවියාට ගෙවන අවසන් මිල: රු. 103.99    

 

මෙම ක්‍රමවේදයට අනුව ගනුදෙනු කරන සෑම අවස්ථාවකදීම, ගොවියා විකුණන්නේත් මෝල් හිමියා මිලදී ගන්නේත් වියළි වී කිලෝවක් රු. 120 ක් වන පදනම මත බැවින් දෙපාර්ශවයටම සාධාරණයක් ඉටුවේ.   

 

 

කාර්යක්ෂමතාව සඳහා 'සහය දිවීම' (Relay Race)

 

ගොවියා විශාල පිරිවැයක් දරමින් වී වියළනවාට වඩා, මහා පරිමාණ පහසුකම් ඇති වී මෝල් වෙත එම කාර්යය පැවරීම ආර්ථිකමය වශයෙන් වඩා ලාභදායී වේ. මධ්‍යම පරිමාණයේ වී මෝලකට වී ශුද්ධ කිරීම හා වේළීම සඳහා කිලෝවකට වැය වන්නේ රු. 1.00 ක් වැනි සුළු මුදලකි. මෙය එකම කර්මාන්තයක අංශ දෙකක් අතර සිදුවන සහය දිවීමේ තරගයක් (Relay Race) වැනිය. මෙහි අවසන් ප්‍රතිලාභය ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද හිමිවේ.   

 

මෙම ක්‍රමය සාර්ථක වීමට නම්:

  1. විනිවිදභාවය: තේ කර්මාන්තයේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මාසිකව මිල ප්‍රසිද්ධ කරන්නාක් මෙන්, වී අලෙවි මණ්ඩලය විසින් ද මෙම ගළපන ලද මිල දර්ශකය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රසිද්ධ කළ යුතුය.
  2. බිල්පත් පැහැදිලි බව: ගොවියාට ලැබෙන බිල්පතේ වී තොගයේ දළ බර, තෙතමනය හා අපද්‍රව්‍ය ප්‍රතිශතය, ගළපන ලද මිල, ප්‍රවාහන ගාස්තු සහ වේළීමේ ගාස්තු වෙන් වෙන්ව සඳහන් විය යුතුය. (ප්‍රවාහන ගාස්තුව දැරිය යුත්තේ ගොවියා විසිනි ).   
  3. නිවැරදි මිනුම්: දුම් සහතිකයක් මෙන්, විකුණන වී තොගයේ තෙතමනය සහ අපද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව තහවුරු කෙරෙන විශ්වාසදායක සහතිකයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

 

'එක යායක් - එක කළමනාකරණයක්' සහ අනාගතය

 

තනි තනිව කුඩා වී තොග විකුණනවාට වඩා, යායක ගොවීන් එක්වී 'එක යායක් - එක කළමනාකරණයක්' යටතේ විශාල වී තොගයක් (උදාහරණයක් ලෙස ටොන් 40ක් පමණ) එකවර වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ නම්, ගොවියාගේ කේවල් කිරීමේ බලය විශාල වශයෙන් ඉහළ යයි. එමගින් අතරමැදියන් මඟහැර සෘජුවම මෝල් හිමියන් සමඟ වාසිදායක ගනුදෙනුවකට එළඹිය හැකිය.

 

අවසාන වශයෙන් කිව යුත්තේ, ගොවියාගේ ලාභය තීරණය වන්නේ හුදෙක් වී මිල ඉහළ දැමීමෙන් පමණක් නොවන බවයි. වී මිල ඉහළ යන සෑම විටම සහල් මිල ද ඊට සමානුපාතිකව ඉහළ ගොස් පාරිභෝගිකයා පීඩාවට පත්වේ. සැබෑ ලාභයට මඟ ඇත්තේ අස්වැන්න (පලදාව) වැඩි කර ගැනීම, වගා පිරිවැය අවම කර ගැනීම, ප්‍රවාහන යටිතල පහසුකම් දියුණු කිරීම සහ සහල් කර්මාන්තශාලා නිසි පිරිවැය විගණනයකට ලක් කිරීම තුළය.

 

 

@ ආර්. ඒ. ජයවීර

(වරලත් ගණකාධිකාරී, අර්ථ ගවේෂකයෝ)

නවතම ලිපි