පෙබරවාරි 20, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ:
නොරොච්චලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට බාල ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු ගෙන්වීම හරහා වත්මන් ආණ්ඩුව යටතේ
සිදු කර ඇති අතිවිශාල මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුව දැඩි ලෙස උණුසුම් විය. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පසුගිය සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ බලශක්ති ප්‍රතිපත්තිය සහ මෙම ප්‍රසම්පාදන මාෆියාව දැඩි ලෙස විවේචනය කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද ප්‍රකාශිත මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම් සහ යෝජනාවට අනුව, රජයේ මුදල් කාරක සභාවේ උපදෙස් පවා තුට්ටුවකට මායිම් නොකර මෙම ගල් අඟුරු මිලදී ගැනීම සිදු කර ඇත.
ආණ්ඩුවේ දූෂණ විරෝධී වෙස් මුහුණ ගැලවෙයිද?
පාර්ලිමේන්තුව අමතමින් ඉතා වේගවත් කතාවක් සිදු කළ මරික්කාර් මන්ත්‍රීවරයා ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් මෙසේ පැවසීය:
"රුපියලක්වත් හොරකම් කරන්නේ නැති බව ප්‍රකාශ කළ ජාතික ජන බලවේග ආණ්ඩුවේ කෙරුවාව හොදින්ම දැන් පැහැදිලි වී තිබෙනවා. ජනතාවට කුණු ගල් අඟුරු ගෙනත් ජනතාවගේ මුදල් සාක්කුවට දාගන්න එපා! ගල් අඟුරු ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන මොහොතේ සිට විශාල වංචා දූෂණ අක්‍රමිකතා රැසක් සිදුවී තිබෙනවා."
"2025 - 2026 ගල් අඟුරු වාරය" සඳහා මෙට්‍රික් ටොන් මිලියන 12.32ක් සපයා ගැනීමේ මෙම ප්‍රසම්පාදන ක්‍රියාදාමය රජයේ මාර්ගෝපදේශවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව ඔහු පෙන්වා දුන්නේය. සැපයුම්කරුවන්ගේ මූල්‍ය සක්‍යතාව, පලපුරුද්ද හෝ ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ කිසිදු තැකීමක් කර නැත.
බාල ගල් අඟුරු නිසා ලක්විජයට දැඩි හානි
මන්ත්‍රීවරයා සභාගත කළ යෝජනාවට අනුව, කිසිදු ගුණාත්මකභාවයක් නොමැති මෙම බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් මේ වන විටත් ලක්විජය බලාගාරයේ ප්‍රධාන උපාංග රැසකට බරපතළ හානි සිදුව තිබේ. ඒ අනුව බලාගාරයේ ටර්බයින් නල (Turbine Last Stage Blade), වායු පූර්ව තාපකය (APH), බොයිලේරු නල (Boiler tube) සහ FGD පද්ධතිය දැඩි ලෙස හානියට පත්ව ඇති අතර, ඒවා අළුත්වැඩියා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අතිවිශාල මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුව ඇත. එපමණක් නොව, තුන්වැනි නැවේ ගල් අඟුරුවල ප්‍රමිතිය පළමු නැවේ ප්‍රමිතියටත් වඩා පහළ මට්ටමක පවතින බවට ද එහිදී කරුණු අනාවරණය විය.
අමාත්‍යවරයාට සෘජු චෝදනා
මෙම දූෂිත ගනුදෙනුව පිටුපස සිටින බලශක්ති විෂය භාර අමාත්‍යවරයා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් මෙය අනුමත කරගෙන ඇති බවට මන්ත්‍රීවරයා ආණ්ඩුවට සෘජුවම චෝදනා කළේය. නියමිත වේලාවට ගල් අඟුරු සැපයීමට සැපයුම්කරුවන් අපොහොසත් වීම නිසා වර්තමාන රජය විසින් සමස්ත ශ්‍රී ලංකාවේම "බලශක්ති සුරක්ෂිතභාවය" දැඩි අනතුරකට හෙළා ඇති බවද ඔහු අවධාරණය කළේය.
මෙම අර්බුදය හමුවේ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් මරික්කාර් මන්ත්‍රීවරයා, ප්‍රධාන ඉල්ලීම් 3ක් පාර්ලිමේන්තුව හමුවේ තැබීය:
- ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව කඩිනමින් ආරක්ෂා කර ගැනීම.
- මෙම දූෂිත ප්‍රසම්පාදනය හේතුවෙන් ජනරජයට සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය අලාභය වගකිවයුත්තන්ගෙන් අයකර ගැනීම.
- මෙම අනීතික ක්‍රියාදාමයට වගකිව යුතු සෑම තරාතිරමකම පුද්ගලයන්ගේ "වගවීම" තහවුරු කිරීමට නීතිමය පියවර ගැනීම.
දුෂණය තුරන් කරන බවට පාරම්බාමින් බලයට පැමිණි ආණ්ඩුවක් යටතේම මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදුවීම පිළිබඳව දැඩි පිළිකුල පළ කළ මන්ත්‍රීවරයාගේ මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්වත් සමඟ, ගල් අඟුරු මාෆියාව පිළිබඳව ඉදිරි දිනවලදී දේශපාලන කරළිය තවත් උණුසුම් වනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

