SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

දශක ගණනාවක් තිස්සේ දේශපාලනඥයින්ගේ ගොදුරු බිමක්ව, පෞද්ගලික බස් මාෆියාවේ ග්‍රහණයට නතුව

පණ අදිමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) යළිත් හුස්ම වැටෙන ලකුණු පහළ වී තිබේ. ඒ, සුදුසුකම් හා කුසලතා මත පදනම්ව කාර්ය මණ්ඩලය විධිමත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අරඹා ඇති නවතම සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියත් සමඟිනි.

 

 

අතීතයේ ශ්‍රී ලාංකිකයින්ට 'ලංගමය' යනු හුදු ප්‍රවාහන සේවයක් පමණක් නොවීය. නියමිත වේලාවට ධාවනය වන, විනයගරුක රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් යුත්, ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ අභිමානවත් රාජ්‍ය ආයතනයක් විය. එහෙත් කාලයත් සමඟ ලංගමයට දේශපාලන අතපෙවීම් නැමැති පිළිකාව වැළඳුණි. ආයතනයේ ගෞරවනීයත්වය ක්‍රමයෙන් මැකී ගොස් එය දේශපාලන හිතවතුන්ට පඩි ගෙවන 'පිනට කන' ආයතනයක් බවට පත්කෙරුණි. අද වන විට ලංගමය යළිත් ඒ අතීත ස්වර්ණමය යුගය කරා ගෙන යාමේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට අප පැමිණ සිටිමු.

 

 

දේශපාලන පත්වීම් සහ පරිපාලන ඛේදවාචකය

 

ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි, ලංගමයේ වර්තමාන පරිපාලන ව්‍යුහය පවතින්නේ දැඩි අර්බුදයකය. සභාපතිවරයා හැර අනෙකුත් සියලුම තනතුරු පාහේ ක්‍රියාත්මක වන්නේ 'වැඩබලන' පදනම මතය. වසර ගණනාවකින් කිසිදු ස්ථිර පත්වීමක් සිදුකර නොමැත.

 

 

වඩාත් කණගාටුදායක තත්ත්වය වන්නේ ලංගමයේ 'කෘත්‍රිම සේවක හිඟයයි'. කඩදාසි මත හෝ නිල වාර්තාවලට අනුව බස් රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ කිසිදු හිඟයක් නොමැත. එහෙත් ප්‍රායෝගිකව බස් රථයක් ධාවනය කිරීමට සේවකයින් නැත. ඊට හේතුව කුමක්ද? බස් රථයේ සුක්කානම අතට ගත යුතු, ටිකට් යන්ත්‍රය ක්‍රියාත්මක කළ යුතු බොහෝ දෙනෙක් දේශපාලන බලපෑම් මත කඩදාසි ගොනු කරමින් වායුසමනය කළ කාමරවල කළමනාකරණ තනතුරුවල (අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් පවා නොමැතිව) වැජඹීමයි.

 

 

නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන ගේ මැදිහත්වීමෙන් පසුගිය 16 වැනිදා ආරම්භ කළ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය හරහා මෙම ඛේදවාචකයට තිත තැබීමට නියමිතය. මෙහි ඇති විශේෂත්වය වන්නේ කිසිවෙකුගේ රැකියා අහිමි නොකර, ඔවුන්ගේ සැබෑ සුදුසුකම් මත නිවැරදි ස්ථානයට අනුයුක්ත කිරීම හරහා ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සැලසුම් කර තිබීමයි.

 

 

පෞද්ගලික බස් මාෆියාව සහ අමාත්‍යවරුන්ගේ ඉතිහාසය

 

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අපකීර්තිමත් ඉතිහාසය දෙස බලන විට එක් සත්‍යයක් පැහැදිලි වේ. එනම්, මීට පෙර පත්වූ සෑම ප්‍රවාහන අමාත්‍යවරයෙක්ම පාහේ අවසානයේ 'පෞද්ගලික බස් මාෆියාවේ' අතකොළුවක් බවට පත්වීමයි. ලංගමය දුර්වල කරන තරමට පෞද්ගලික බස් රථ හිමියන්ට වාසිදායක විය. ඒ වෙනුවෙන් ඇමතිවරුන්ට ද නොයෙකුත් වරදාන ලැබුණි. ලංගමය ගොඩනැගීමට පැමිණි බොහෝ දෙනා අවසානයේ ලංගමයේ මිනී පෙට්ටියට ඇණ ගසා ගෙදර ගියහ.

 

 

අභියෝග ජයගත හැකි එකම සුසංයෝගය

 

වත්මන් ආණ්ඩුව තුළ ද විවිධ ඩීල් කාරයින් සහ ව්‍යාපාරික ජාවාරම්කරුවන් නැතුවා නොවේ. එහෙත්, මෙම සියලු බලවේග සහ මාෆියාවන් පරයා යමින් අභියෝගාත්මකව ඊට මුහුණ දිය හැකි ශක්තිමත් නායකත්වයක් මෙවර ප්‍රවාහන අමාත්‍යාංශයට ලැබී ඇත. ඒ වත්මන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සහ ඔහුගේ අගනා සහයකයා වන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන යන සුසංයෝගයයි.

 

 

බිමල් රත්නායක අමාත්‍යවරයාගේ දේශපාලන දැක්ම සහ ආචාර්ය ප්‍රසන්න ගුණසේනගේ වෘත්තීය කළමනාකරණ පරිචය එකතුවීම, පණ අදිමින් තිබූ ලංගමය යළි පණ ගැන්වීමට ලැබුණු රන් අවස්ථාවකි. ඔවුන් මේ සිදු කරන්නේ හුදෙක් සේවකයින් පුටු මාරු කිරීමක් නොව, මුළුමනින්ම කුණු වී ගිය පද්ධතියක් පිරිසිදු කිරීමේ දැවැන්ත ශල්‍යකර්මයකි.

 

 

පොදු ප්‍රවාහනයේ විප්ලවය කරා...

 

ලංගමය යළි ගොඩනැගීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින අපකීර්තිමත් ඉතිහාසය වෙනස් කළ හැකි එකම සහ අවසාන අවස්ථාව මෙය බව අවිවාදිතය. ජනතාවට අහිමි වූ ඒ ගෞරවනීය රාජ්‍ය ප්‍රවාහන සේවය යළි ස්ථාපිත කිරීම යනු හුදෙක් ප්‍රවාහන අමාත්‍යාංශයේ ජයග්‍රහණයක් පමණක් නොව, එය මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැබෑ විප්ලවයක ආරම්භය වනු ඇත. දේශපාලන පත්වීම් වලින් තොර, කුසලතාවයට තැන දෙන අභිමානවත් ලංගමයක් යළි දැකීම සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම එකම ප්‍රාර්ථනාවයි.

 

නවතම ලිපි