ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (IVIG) ගෙන්වා රෝගී ජීවිත අවදානමේ හෙළීම සහ රජයේ මුදල් කෝටි ගණනක්
වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට එරෙහිව පවතින නඩුව, ඊයේ (11) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ අවස්ථාවේදී අතිශය තීරණාත්මක කරුණු රැසක් අනාවරණය විය.
අධිකරණයේදී හෙළි වූ සාක්ෂි සහ ඊට සමගාමීව හෙළිදරව් වෙමින් පවතින ලේඛන සාක්ෂිවලට අනුව, මෙම වංචාව හුදෙක් හදිසි මිලදී ගැනීමක් නොව, ඉහළම පරිපාලන සහ විධායක බලධාරීන්ගේ මැදිහත්වීම මත ඖෂධ නියාමන ක්‍රියාවලිය (NMRA Process) බිඳ දැමීමට ගත් සංවිධානාත්මක උත්සාහයක් බව තහවුරු වෙමින් පවතී.

අධිකරණයේ හෙළි වූ "විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය"
ඊයේ (11) සාක්ෂි ලබා දුන් ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීම් නිලධාරිනී නිශාණි ලංකා කරුණාතිලක මහත්මිය පෙන්වා දුන්නේ, ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා සාමාන්‍ය නීතියට පරිබාහිරව "විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදයක්" (Special Fast-Track Mechanism) සකස් කර තිබූ බවයි.
මෙම ක්‍රමවේදය සඳහා අනුමැතිය ඉල්ලා ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ එවකට සභාපතිවරයා (12 වන විත්තිකරු) විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් (06 වන විත්තිකරු) ය. පුදුමයට කරුණ නම්, එම ඉල්ලීමේ "කුමන ආයතනයකින් ඖෂධ ගෙන්වන්නේද?" යන්න සඳහන් නොකර, පොදු අවසරයක් (Blanket Approval) ලබා ගැනීමට කටයුතු කිරීමයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සෙවනැලි සහ සෞඛ්‍ය ලේකම්ගේ බලපෑම
අධිකරණයේදී මෙම "සීඝ්‍රගාමී ක්‍රමය" ගැන සාකච්ඡා වෙද්දී, ඊට සමාන්තරව හෙළි වී ඇති රාජ්‍ය ලේඛන (Documentary Evidence) මගින් මෙම ක්‍රියාවලියට ලබා දී ඇති ඉහළ දේශපාලන හා නිලධාරිවාදී අනුග්‍රහය මැනවින් පැහැදිලි කරයි. විශේෂයෙන්ම 'අයිසොලෙස් බයෝටෙක්' (Isolez Biotech Pharma AG Ltd) නම් දේශීය සමාගම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙම අතපෙවීම් කැපී පෙනේ.
අපගේ අවදානයට ලක්වූ ලේඛනවලට අනුව:
- ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම:
ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කිරීම යනු පූර්ණ තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රියාවලියකි. එහෙත්, මෙම සමාගම සම්බන්ධයෙන් 2023 ජනවාරි 26 දින පැවති තීරණාත්මක රැස්වීමට සහ 2023 පෙබරවාරි මාසයේ පැවති කර්මාන්ත ශාලා පරීක්ෂාවට (Inspection) "නිරීක්ෂකයෙකු" (Observer) ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයෙකු වන ශ්‍රීනාත් ගමගේ (Mr. Srinath Gamage) මහතා සහභාගී වී ඇත. විද්‍යාත්මක පරීක්ෂාවකට විධායකයේ නියෝජිතයෙකු සහභාගී වීම මගින් මෙම ව්‍යාපෘතිය පසුපස තිබූ "අදිසි හස්තය" පිළිබඳ බරපතල සැක මතු කරයි.
- ප්‍රතික්ෂේප වූවන් කැඳවූ සෞඛ්‍ය ලේකම්:
2022 අගෝස්තු මාසයේදී ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම සමාගම නුසුදුසු බවට ප්‍රතික්ෂේප කර තිබුණි. එසේ තිබියදීත්, 2023 ජනවාරි 17 දින සෞඛ්‍ය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව, මෙම සමාගම සමග නැවත සාකච්ඡා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා (06 වන විත්තිකරු) විසින් ඖෂධ නියාමන අධිකාරියට බලපෑම් සහගත ඉල්ලීමක් කර ඇත.
තාක්ෂණික නිලධාරීන්ගේ ස්ථාවරය සහ අවසන් ප්‍රතිඵලය
කෙසේ වෙතත්, මෙම ඉහළ බලපෑම් හමුවේ වුවද ඖෂධ නියාමන අධිකාරියේ පරීක්ෂක මඩුල්ල සිය තාක්ෂණික අඛණ්ඩතාව රැකගෙන ඇති බව පෙනේ. 2023 අප්‍රේල් 18 දින නිකුත් කළ අවසන් වාර්තාව මගින් (CEO අත්සනින් යුතුව) ඔවුන් නිගමනය කර ඇත්තේ, මෙම සමාගම එන්නත් නිෂ්පාදනය සඳහා නුසුදුසු (Not suitable for manufacturing sterile injections) බවයි.
නීතිමය විග්‍රහය: හදිසියක්ද? කුමන්ත්‍රණයක්ද?
මහාධිකරණය හමුවේ විත්තිය දිගින් දිගටම තර්ක කරන්නේ මෙය "රටේ පැවති අර්බුදය (Crisis)" නිසා ගත් හදිසි තීරණ බවයි. එහෙත්, සාක්ෂි සහ ලේඛන විශ්ලේෂණයේදී පෙනී යන්නේ:
- ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් මැදිහත් වීම.
- සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රතික්ෂේප වූ සමාගම් නැවත නිර්දේශ කිරීම.
- සැපයුම්කරුවන්ගේ නම නැතිව "විශේෂ සීඝ්‍රගාමී අනුමැතියක්" ඉල්ලා සිටීම.
යන කරුණු තුළින් මෙය හුදෙක් හදිසියට ගත් තීරණයක් නොව, නිශ්චිත අරමුණක් සහිතව රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමක් (State Mechanism Manipulation) බවට පැමිණිල්ලට ප්‍රබල තර්ක ගොඩනැගිය හැකි බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නම සෘජුව ලිපිගොනුවල නොතිබුණද, අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වූ මෙම "බලපෑම" දේශපාලන අධිකාරියේ ආශිර්වාදය නොමැතිව සිදුවිය නොහැක්කක් බව නීති විශාරදයින්ගේ මතයයි.
නඩුව අද (12) තෙවන දිනටත් විභාගයට ගැනේ.
සටහන: මෙම ලිපිය අධිකරණ වාර්තා සහ ඊට අදාළ නිල ලේඛන පදනම් කරගෙන, නඩුවේ කරුණු විකෘති නොවන පරිදි ඒ හා සම්බන්ධ කරුණු ගවේෂණය ඇසුරින් සැකසූ මහජන දැනුවත්භාවය උදෙසා සම්පාදනය කරන ලද ලිපියකි.)
නඩු වාර්තාව
11/02/2026
ඖෂධ ආනයනය කරන සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වී නොමැති ආයතනවලින් (සැපයුම්කරුවන්ගෙන්) ඖෂධ මිලදී ගැනීම සඳහා විශේෂ සීග්‍රගාමී ක්‍රමවේදයක් සම්බන්ධයෙන් මෙම නඩුවේ 12 වන විත්තිකරු එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හය වන විත්තිකරු වෙත ඉල්ලීමක් කොට තිබූ බවත් තමා එම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ බවත් ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීම් නිලධාරිනියක ලෙස රාජකාරි කරන නිශාණි ලංකා කරුණාතිලක මහත්මිය ඊයේ (11) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසුවාය.
එම ඉල්ලීම කළ එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 12 වන විත්තිකාර වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මෙන්ම එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හයවන විත්තිකාර ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාද අධිකරණයේ විත්ති කූඩුවේ සිටින්නේ යයිද එම සාක්‍ෂිකාරිය දෙවන දිනටත් පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දෙමින් පැවසුවාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (11) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ එම සාක්ෂිකාරිය සාක්ෂි ලබා දුන්නාය.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඔබතුමිය පෙර දිනයේ දී සාක්ෂි ලබා දෙමින් කීවා ඔබ ඔය තනතුරේ රාජකාරි භාර භාර ගත් පසුව ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව ඔබගේ නව රාජකාරියට අදාළ වගකීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා ඖෂධ ඇනවුම් සඳහා ඉදිරිපත් වන ලිපිගොනු අධීක්ෂණය කළා කියලා?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැතිව ඖෂධ ආනයනය කිරීම සඳහා තිබූ කාර්ය පටිපාටියත් ඔබ නිරීක්ෂණය කළා කීවනේ ? පැමිණිල්ලේ 67 වන සාක්ෂිය ලෙස නම් කර ඇති ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම සිදු කළේ ඔබ කියලා කීවනේ ? ඔබට ඒ ලේඛනය ලිපිය දුටුවොත් හඳුනාගන්න පුළුවන්ද?
විත්තියේ නීතිඥවරයා ; එම ලේඛනයේ මුල් ලේඛනය තිබෙනවාද?
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය ; ඔව් ඒක අධිකරණය හමුවේ ලකුණු කරලා තියෙන්නේ? ඔබතුමිය පෙර සඳහන් කළ හයවන හා දොළොස්වන විත්තිකරුවන් අඳුරනවාද? ඔවුන්ගේ අත්සන් පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවාද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී, පෙර මා සඳහන් කළ ලිපිය මගින් දොළොස්වන විත්තිකරු හය හයවන විත්තිකරුගෙන් ඉල්ලා තිබුනේ ලියාපදිංචිය මගහැර ඖෂධ ලබා ගැනීම සඳහා පෙර කී විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය හඳුන්වා දීමට අනුමැතිය ඉල්ලා තිබුනා. කුමන ආයතනයක් මගින් එම ඖෂධ ආනයනය කරන්නේද කියලා එහි සඳහන් කර තිබුණේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ විශේෂ අවස්ථාවලදී එකී නව ක්‍රමවේදය යටතේ මිලදී ගැනීමටයි එමගින් අවසර ඉල්ලා තිබුණේ. එම ලිපිය ලැබුණ පසු හිටපු සෞඛ්‍ය ලේකම්තුමා එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස රාජකාරී කළ වෛද්‍ය සමන් රත්නායක මහතා වෙත සටහනක් යොදා තිබුණා එකී ඉල්ලීම ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. වෛද්‍ය සමන් රත්නායක මහතා මෙම නඩුවේ දස වන විත්තිකරු ලෙස මෙම අධිකරණයේ සිටිනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; 10 වන චූදිත වන වෛද්‍ය සමන් රත්නායක මහතා ලබා දී තිබෙන නිර්දේශය ඔබට කියවන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී, මෙම අවස්ථාවේදී සාක්‍ෂිකාරිය සාක්ෂි කූඩුවේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර තිබූ එම නිර්දේශ කියවා ප්‍රකාශ කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එහි සිංහල තේරුම මොකක්ද ?
සාක්ෂිකාරිය ; එතුමා නිර්දේශ කර තිබෙන්නේ අභ්‍යන්තර විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය මාස හයක කාලයකට යටත්ව ක්‍රියාත්මක කිරීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයට යටත්ව ක්‍රියාත්මක කළ යුතු බවටත් එතුමා එමඟින් වැඩිදුරටත් නිර්දේශ කර තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දොළොස්වන චූදිත යම් සටහනක් තබා තිබුණා නේද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි. එතුමා නීති නිලධාරිනියට සහ පරිපාලන නිලධාරිනියට දන්වා තිබුණා ඒ පිළිබඳව අදාළ අංශවලට උපදෙස් ලබාදෙන ලෙසට. ඖෂධ නියාමන අධිකාරිය මගින් සකස් කර ඇති මාර්ගෝපදේශ මත කොන්දේසිවලට යටත්ව සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඒ සඳහා ඉල්ලුම් කිරීම් සිදු කළ යුතු බවත් එහි සඳහන්ව තිබුණා. ඇගයීම් කමිටුවේ නිර්දේශ මත ලියාපදිංචිය ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව ඖෂධ සැපයුම්කරුවන්ට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හා අවසරය ලබා දෙන බවද විවෘත අධිකරණය හමුවේදී සාක්ෂි දෙමින් පැවසූ එම සාක්ෂිකාරිය වෙත ලිපිගොනු සහ ලේඛන විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඒවා පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට පියවර ගත් නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරිය නියෝජනය කළ ඇගයීම් කමිටුවේේ ලේඛන විශාල ප්‍රමාණයක් අධිකරණය හමුවේ ලකුණු කිරීමටද පියවර ගත්තාය.
දින දෙකක් පුරා පැවති එම සාක්‍ෂිකාරියගේ මූලික සාක්ෂි විමසීම තෙවන දිනටත් අද (12) දක්වා කල්තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ප්‍රධාන කොට එම සාක්ෂිකාරිය මගින් පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති සාක්‍ෂි සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛන සාක්‍ෂි අධිකරණය හමුවේ ලකුණු කිරීමට උත්සුක වීම නිසා පෙර දිනවල මෙන් දෙපාර්ශ්වය අතර වාද විවාද මත ගැටුම් ගෙවුණ දින දෙක තුළ මතු නොවීම විශේෂත්වයක් ලෙස දැක්විය යුතුය.
වැඩිදුර විභාගය අද දක්වා කල් තැබිණි.
සටහන -අචලා

