SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

[විශේෂ වාර්තාකරු විසිනි]

 

ලෝකයේ විශේෂයෙන් සංවර්ධිත රටවල් පුනර්ජනනීය බලශක්තිය (Renewable Energy) සිය ප්‍රධාන බලශක්ති ප්‍රභවය ලෙසත්,

ආර්ථික අර්බුදවලට විසඳුම ලෙසත් වැළඳ ගනිද්දී, ශ්‍රී ලංකාව ඊට හාත්පසින්ම වෙනස් ගමනක් අරඹා ඇත. වත්මන් රජය විසින් ක්‍රියාවට නංවමින් සිටින අවිධිමත් බලශක්ති ප්‍රතිපත්තිය හේතුවෙන් රට නැවතත් අඳුරු යුගයකට ඇද වැටීමේ බරපතල අවදානමක් මතුව තිබේ.

 

රිලවාට හසුවූ විදුලි පද්ධතිය සහ

'පද්ධති පාලකගේ' අනතුරු ඇඟවීම

 

 

පසුගිය කාලය පුරාම විහිළුවට ලක්වූ "විදුලි රිලවා" නැවත වරක් කරළියට පැමිණ ඇත. මෙවර එය හුදු විහිළුවක් නොව, සමස්ත විදුලි පද්ධතියම බිඳ වැටීමේ තාක්ෂණික අනතුරකි.

 

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වැඩ භාරගෙන සති දෙකක් ගතවීමටත් මත්තෙන්, ලංවිම පද්ධති පාලකවරයා (System Controller) විසින් ඉතා තීරණාත්මක ලිඛිත අනතුරු ඇඟවීමක් සිදු කරනු ලැබීය. එනම්, මෙරට විදුලි පද්ධතියේ ආරක්ෂිත රිලේ (Safety Relays) යාවත්කාලීන කර නොමැති බවත්, එමනිසා ඕනෑම මොහොතක පද්ධතිය බිඳ වැටිය හැකි බවත්ය. කෙසේ වෙතත්, බලධාරීන් මෙම අනතුරු ඇඟවීම නොසලකා හැරීමේ ප්‍රතිඵලය වූයේ 2025 පෙබරවාරි 09 වන දින මුළු රටම අඳුරේ ගිල්වූ හදිසි විදුලි බිඳ වැටීමයි.

 

පානදුර උප පොළෙන් (GS) ආරම්භ වූ මෙම තාක්ෂණික දෝෂය, නිසි ආරක්ෂණ පද්ධතියක් (Protection System) ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සමස්ත රටටම බලපෑ අතර, ලක්විජය බලාගාරයට පවා හානි සිදු කළේය. මෙය හුදෙක් අහඹු සිදුවීමක් නොව, පද්ධතිය යාවත්කාලීන නොකිරීමේ පාපයයි.

 

ඩීසල් මාෆියාවේ ජයග්‍රහණය:

රු. 27 ට එපා කියා රු. 70 ට ගැනීම

 

 

ආණ්ඩුවේ නව බලශක්ති ප්‍රතිපත්තිය පිටුපස ඇත්තේ බිහිසුණු ආර්ථික ඛේදවාචකයකි. හිරු එළියෙන් සහ සුළඟින් ලැබෙන විදුලිය ඒකකයක් රුපියල් 27ක් වැනි අඩු මුදලකට ලබා ගත හැකිව තිබියදී, ඩීසල් බලාගාරවලින් ඒකකයක් රුපියල් 70කට (හෝ ඊටත් වඩා වැඩි) මිලදී ගැනීමට කටයුතු කිරීම පුදුම සහගතය.

 

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) දත්තවලට අනුව ඩීසල් මගින් විදුලිය නිෂ්පාදනයට රු. 72.11 ක පිරිවැයක් (Scenario 3) යන විට, ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) මගින් එය රු. 43.25 කට (Scenario 2) කළ හැකිය. එහෙත් මේ සියල්ලටම වඩා ලාභදායී පුනර්ජනනීය බලශක්තිය පසෙක ලා, අධි මිල ඩීසල් ගිවිසුම් අත්සන් කිරීම හරහා 'මාෆියාව' සවිබල ගැන්වෙන බවට චෝදනා එල්ල වේ.

 

බැටරි (BESS) නැතිව සූර්ය බලය වලපල්ලට

 

පුනර්ජනනීය බලශක්තියේ කොඳු නාරටිය වන්නේ එය ගබඩා කිරීමේ හැකියාවයි (Battery Energy Storage Systems - BESS). වසර ගණනාවක සිට විදුලි ඉංජිනේරුවන් මෙම අවශ්‍යතාව පෙන්වා දුන්නද, වත්මන් ආණ්ඩුව ඊට අදාළ ටෙන්ඩර් කැඳවීම දිගින් දිගටම පමා කරමින් සිටී.

 

මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ:

  • සූර්ය පැනල මගින් නිපදවන විදුලිය පද්ධතියට ලබා ගැනීම (Grid Connection) අත්හිටුවීම.
  • පැවති සූර්ය බලශක්ති සමාගම් 1000ක් පමණ ප්‍රමාණයක් 50-80 දක්වා අන්තයටම කඩා වැටීම.
  • ක්ෂේත්‍රයේ පුහුණු රැකියා 60,000ක් පමණ අහිමි වීම.

 

නව විදුලි පනත: "අවම පිරිවැය" වෙනුවට "ආරක්ෂාව"

 

 

මේ අතර කරළියට පැමිණ ඇති නව විදුලි පනත (Electricity Amendment Bill) හරහා බරපතල ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ පෙරමුණේ සම කැඳවුම්කරු සංඛ චන්දිම මහතා පෙන්වා දෙන පරිදි, මෙම පනතේ 9 වන වගන්තිය මගින් "අවම පිරිවැය ජනනය" (Least Cost Dispatch) යන සංකල්පය ඉවත් කර, ඒ වෙනුවට "ආරක්ෂාව පදනම් කරගත් ජනනය" (Security Constrained Dispatch) ආදේශ කර ඇත.

 

මෙය ඉතා භයානක සංශෝධනයකි. මන්දයත්, "පද්ධතියේ ආරක්ෂාව" යන වචනය පාවිච්චි කරමින් ඕනෑම අධි මිල ඩීසල් බලාගාරයක් ක්‍රියාත්මක කිරීමට මෙමගින් නීතිමය ඉඩක් ලැබෙන බැවිනි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත.

 

ජනතා සන්දේශය සහ ඉල්ලීම්

මෙම අර්බුදයට එරෙහිව පසුගියදා ජනාධිපතිවරයා වෙත භාර දුන් ජනතා සන්දේශයෙන් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත:

  1. රු. 70ක් ගෙවා ඩීසල් ගැනීම නවතා, රු. 27 සූර්ය බලශක්තියට ඉඩ දීම.
  2. බැටරි ගබඩා පද්ධති (BESS) සඳහා වහාම ආයෝජනය කිරීම.
  3. මන්නාරම සුළං බලය අදානි සමාගමට පැවරීම සහ ඉන්දියා-ශ්‍රී ලංකා අධි වෝල්ටීයතා රැහැන් ව්‍යාපෘතිය අහෝසි කිරීම (බලශක්ති ස්වෛරීභාවය රැක ගැනීම).

 

 

අවසාන වශයෙන් කිව හැක්කේ, 'විදුලි රිලවා' යනු සතෙකු නොව, නිසි සැලසුමක් නොමැති පාලන තන්ත්‍රය බවයි. පුනර්ජනනීය බලශක්තිය විනාශ කරමින්, රට ණය උගුලක සිරකරන මෙම ගමන නතර නොකළහොත්, හෙට දිනයේ මුළු රටම අඳුරේ ගිලී යාම වැළැක්විය නොහැකි වනු ඇත.

 Peoples letter Renuwable energy protection protest 1Peoples letter Renuwable energy protection protest 2

නවතම ලිපි