නව මාලිමා රජය යටතේ පත්කළ සාමාජිකයින් ඇතුළත් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම අද (30)
පස්වරු 2.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ ආන්දෝලනයට තුඩු දී ඇති රජයේ විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන නාමය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත.
සුදුස්සා පසෙකලා නුසුදුස්සන් කරලියට?
විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මීට පෙර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. (L.S.I.) ජයරත්න මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් අද දිනයේ නැවත වරක් යෝජනා කිරීමට සූදානම්ව සිටින බවයි.
පසුගිය දිනවල විවෘත විශ්වවිද්‍යාලයේ බර්සර්වරයෙකු වන ආචාර්ය අනුර වික්‍රමසිංහගේ නම මේ සඳහා යෝජනා වී ඇති බවට රාවයක් පැතිර ගියද, ඔහුට අදාළ වෘත්තීය සුදුසුකම් නොමැති බව හෙළිවීමත් සමඟ එම උත්සාහය ව්‍යර්ථ වී ඇති බව පෙනේ.
එල්.එස්.අයි. ජයරත්නට එරෙහි බරපතල චෝදනා
ජනාධිපතිවරයා නැවත යෝජනා කිරීමට සැරසෙන එල්.එස්.අයි. ජයරත්න මහත්මිය මේ වන විටත් බරපතල චෝදනා සහ විමර්ශනවලට ලක්ව සිටින නිලධාරිනියකි.

- අල්ලස් කොමිසමේ විමර්ශනය:
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2025.08.04 දිනැතිව (ලිපි අංක: AC/0205/2025 බී-228) ජාතික විගණන කාර්යාලය වෙත ලිපියක් යොමු කරමින් ඇයට එරෙහිව විමර්ශනයක් අරඹා ඇත. එම විමර්ශනයට පදනම් වී ඇත්තේ 2024.12.08 දින සිට 2024.12.21 දක්වා ඇය විසින් සිදුකළ ඉන්දීය සංචාරයක් සඳහා ගුවන් ටිකට්පත් (UL121 සහ UL124) ලබා ගැනීමේදී ඒවා පෞද්ගලික මුදලින් ලබා ගත්තේද නැතහොත් වෙනත් පාර්ශවයකින් අනුග්‍රහයක් ලැබුණේද යන්නයි. ලංකා බැංකු ශාඛාව විගණනය සඳහා යැයි පවසමින් සිදුකළ මෙම ගමන පිළිබඳව මේ වන විට බරපතල සැකයක් මතු වී තිබේ.
- රාජකාරි වේලාවේ පෞද්ගලික වැඩ:
මීට අමතරව, 2014 සැප්තැම්බර් මස ඇය විගණන අධිකාරීවරියක ලෙස කටයුතු කරන සමයේදී රාජකාරි වේලාව තුළ රාජකාරියෙන් පරිබාහිර කටයුතු වල යෙදීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඇයට ලිඛිතව දැඩි අවවාද කර ඇත (ලිපි අංක: S1/22/එම/06/2014).

ධර්මපාල ගම්මන්පිල කැපුවේ ඇයි?
දේශපාලන සම්බන්ධතාවලින් තොර යැයි වාර්තා වන, චෝදනා රහිත වාර්තාවක් සහිතව රාජකාරි කරන ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ධර්මපාල ගම්මන්පිල මහතාගේ නම විගණකාධිපති ධුරය සඳහා යෝජනා කිරීමට සියලු සුදුසුකම් තිබියදීත්, ඔහුව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් දූෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරිනියක් පත් කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය බොහෝ විචාරකයින්ගේ විමතියට හේතු වී ඇත.
මහනායක හිමිවරුන් පවා මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර තිබියදීත්, ආණ්ඩුව මෙවැනි අත්තනෝමතික තීරණයක් ගැනීමට සැරසෙන්නේ කාගේ වුවමනාවටද? විගණකාධිපති වැනි අතිශය වගකිවයුතු තනතුරක් හෑල්ලුවට ලක් කරමින් ආණ්ඩුව පිරිමසා ගැනීමට හදන අරියාදුව කුමක්ද යන්න රටට හෙළි විය යුතුව තිබේ.

