ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය මූල්‍ය විනය රකින මුරදේවතා ලෙස සැලකෙන
'විගණකාධිපති' ධුරය මාස දහයකට අධික කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවතීම පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණකාරී ස්වභාවය දැන් කරළියට පැමිණෙමින් තිබේ.
මෙම වගකිවයුතු තනතුරට නුසුදුසු පුද්ගලයෙකු පත් කිරීමට ආණ්ඩුවේ ප්‍රබල 'ගජමිතුරු' හස්තයක් ක්‍රියාත්මක වන බවට එල්ල වන සැකය හමුවේ, ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා දැන් ඍජුවම ජනාධිපතිවරයා වෙත රතු එළියක් දල්වා ඇත.
මහානායක හිමිවරුන්ගේ හදිසි මැදිහත්වීම
පවතින දේශපාලන වටපිටාව තුළ රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන්හි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් 2026 ජනවාරි 04 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
2025.04.08 දින හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු ඇති වූ පුරප්පාඩුවට, එම දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා පත් කිරීමේ වැදගත්කම උන්වහන්සේලා එමගින් අවධාරණය කරති. 2025 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා වැඩබලන විගණකාධිපතිවරයා ලෙස සාර්ථකව කටයුතු කළ, අත්දැකීම් බහුල නිලධාරියෙකු සිටියදී පිටස්තර පුද්ගලයින් පත් කිරීමට උත්සාහ කිරීම රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සමාජයේ ඍණාත්මක ආකල්ප ඇති කිරීමට හේතුවන බව මහානායක හිමිවරු පෙන්වා දෙති.
කවුද මේ යෝජිත 'වික්‍රමසිංහ'?
මහා සංඝරත්නයේ සහ සිවිල් සමාජයේ විරෝධය නොතකා, වත්මන් පාලනයේ ඇතැම් පාර්ශවයන්ට හිතවත් 'කැලණිය විශ්වවිද්‍යාල කල්ලියේ' සහාය ඇතිව මෙම තනතුරට ගෙන ඒමට උත්සාහ කරන්නේ යැයි කියවෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මූල්‍යාධිකාරී (Bursar) ලෙස කටයුතු කරන ඩබ්ලිව්. එම්. කේ. ජී. ඒ. වික්‍රමසිංහ මහතාය.
වෘත්තීයභාවය පිළිබඳ බරපතල ගැටලු
වික්‍රමසිංහ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ වෘත්තීය සමිති ප්‍රශ්න කරන්නේ කරුණු දෙකක් පදනම් කරගෙනය:
- අත්දැකීම් මදිකම: රාජ්‍ය විගණනය පිළිබඳ දශක ගණනාවක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ ඕනෑතරම් සිටියදී, මීට පෙර කිසිදු දිනක එම දෙපාර්තමේන්තුවේ සේවය නොකළ, රාජ්‍ය විගණන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් අත්දැකීම් නොමැති අයෙකු පත් කිරීම ගැටලු සහගතය.
- වෘත්තීය සුදුසුකම්: වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු (ACA) වුවද, ඔහු තවමත් එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වය (FCA) ලබා නොමැති, සාපේක්ෂව කනිෂ්ඨ මට්ටමක පසුවන්නෙකි. විගණකාධිපති වැනි ඉහළම තනතුරකට එවැනි කනිෂ්ඨ වෘත්තීය මට්ටමක අයෙකු පත් කිරීම එම තනතුරේ ගෞරවයට මෙන්ම වෘත්තීයමය පිළිගැනීමටද බරපතල බාධාවකි.
'සිස්ටම් චේන්ජ්' සහ දේශපාලන පරීක්ෂණය
රජයේ විගණකාධිපති යනු ආණ්ඩුවක මූල්‍ය හැසිරීම විවේචනාත්මකව විමසා බැලිය යුතු ස්වාධීන නිලධාරියාය. එවැනි තනතුරකට වෘත්තීයමය සුදුසුකම් අඩු සහ දේශපාලන හිතවත්කම් මත පදනම් වූ පුද්ගලයෙකු පත් කිරීම, රජය පොරොන්දු වූ "සුදුස්සාට සුදුසු තැන" දීමේ ප්‍රතිපත්තිය හෑල්ලුවට ලක් කිරීමකි.
සුදුසුකම් ලත් සහ නිර්දේශිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පසෙකට දමා 'ගජමිතුරන්' රජ කරවීමට ගන්නා මෙවැනි උත්සාහයන්, වත්මන් පාලනය කෙරෙහි ජනතාව තබා ඇති බලාපොරොත්තු බිඳ වැටීමට හේතු වනු ඇත. රජයේ විනිවිදභාවය සහ මූල්‍ය පාලනය පිළිබඳව ජනතාවට සහ ජාත්‍යන්තරයට ලබා දෙන පණිවිඩය කුමක්ද යන්න පිළිබඳව රජය නැවත සිතා බැලිය යුතුය. මෙම 'ඩීල්' දේශපාලනය පරාජය කර ජාතික විගණන පද්ධතියේ ස්වාධීනත්වය රැක ගැනීමට ජනතාව අවදියෙන් සිටිය යුතුය.

