SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින බව පවසමින්

බලයට පත් වූ කිසිදු ව්‍යාපාරයක්, බලය ලබා ගැනීමෙන් පසු එම පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන බවට කටුනායක ගුවන්තොටුපළෙන් අලුත්ම උදාහරණයක් වාර්තා වේ.

 

එය නම්, නීතිය අකුරට ඉටුකිරීමට ගිය රාජ්‍ය නිලධාරීන් පසෙකට තල්ලු කර, දේශපාලන හා ආගමික බලවතුන්ගේ වරප්‍රසාද සුරැකීමට රජය පෙළ ගැසීමයි.

 WhatsApp Image 2026 01 28 at 11.57.48

 

 

නීතිය පසෙකලා ‘ප්‍රසාදය’ තේරීම

2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රමිති (ICAO) අනුව, ගුවන්තොටුපළක ආරක්ෂිත කලාපයකට (Security Restricted Area) ඇතුළු වීමට අවසර ඇත්තේ වලංගු ගුවන් ටිකට් පතක් සහිත මගීන්ට හෝ එහි සේවය කරන, නියමිත ආරක්ෂක නිෂ්කාශනයන් (Security Clearance) සහිත පුද්ගලයින්ට පමණි.

 

සිවිල් ගුවන් සේවා පනතේ 5 වන කොටස (ගුවන් සේවා ආරක්ෂාව) මගින් ගුවන්තොටුපළ ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරා ඇති බලතල සහ ජාතික සිවිල් ගුවන් සේවා ආරක්ෂක වැඩසටහන (NCASP) අනුව, කිසිදු ‘පිටස්තර’ පුද්ගලයෙකුට (ඔවුන් කොතරම් උසස් තනතුරු දැරුවද) රාජකාරී අවශ්‍යතාවයකින් තොරව පර්යන්තය තුළ සැරිසැරීමට අවසර පත්‍ර (Passes) නිකුත් කිරීමට නීත්‍යානුකූල ඉඩක් නැත.

 

නිවැරදි නිලධාරියා සහ වැරදි දේශපාලන මැදිහත්වීම

ගුවන්තොටුපළ සභාපති එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ඉල්ලීමට ලබාදුන් පිළිතුර නීතියට අනුකූල එකකි. ඔහු පෙන්වා දෙන්නේ "පර්යන්තයට ඇතුළු වීමේ අවසර පත් නිකුත් කරනු ලබන්නේ එම පරිශ්‍රය තුළ රාජකාරී අවශ්‍යතාවයන් වෙනුවෙන් ඇතුළු වන පුද්ගලයින් සඳහා පමණක්" බවයි.

 

WhatsApp Image 2026 01 28 at 11.57.481

 

 

පෙර රජයන් විසින් නීතිය උල්ලංඝනය කරමින් සිදු කළ වැරදි පූර්වාදර්ශ නිවැරදි කිරීමට උත්සාහ කළ සභාපතිවරයාගේ ක්‍රියාව අගය කළ යුතු වුවත්, අමාත්‍ය අනුර කරුණාතිලක ඇතුළු වත්මන් පාලනය තෝරාගෙන ඇත්තේ නීතිය නොව ‘බලවතුන්ගේ සතුටයි’.

 

භික්ෂු බලයට බිය වූ ‘විප්ලවීය’ ආණ්ඩුව

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් මෙම රජය බලයට පත් වූයේ "සැමට සමාන නීතියක්" සහ "ප්‍රභූ සංස්කෘතිය අහෝසි කිරීම" යන සටන් පාඨ පෙරදැරි කරගෙනය. එහෙත්, ප්‍රබල භික්ෂූන් වහන්සේ නමකගේ ඉල්ලීමක් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය නිලධාරියා අර්බුදයට ලක් කිරීමෙන් පෙනී යන්නේ, ඔවුන් ද පෙර පාලකයින් සේම තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් අනුමත කිරීමට සූදානම් බවයි.

 

"ආණ්ඩුව බියෙන් පසුවන්නේ මහජනතාවට නොව, බලපෑම් කළ හැකි ආගමික සහ සමාජයීය බලවේග වලටය. සභාපතිවරයා ඉල්ලා අස්වීමෙන් පෙනී යන්නේ නීතිගරුක නිලධාරීන්ට මෙම 'අලුත්' පාලනය යටතේ ද ඉඩක් නොමැති බවයි."

 

ලංකාවේ දේශපාලන චලනයක් සිදුව තිබේද?

 

ඇත්ත වශයෙන්ම මෑතකාලීනව ලංකාවේ කිසිදු ගුණාත්මක දේශපාලන වෙනසක් සිදුව නැත. සිදු වී ඇත්තේ මුහුණු මාරුවක් පමණි. පෙර පාලකයින් මෙන්ම, වත්මන් පාලකයින් ද උත්සාහ කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තම බලය තහවුරු කරගැනීමේ මෙවලමක් කර ගැනීමටයි.

 

නීතිගරුක නිලධාරීන් රාජකාරී වලින් ඉවත් වීම හෝ ඉවත් කර දැමීම ආරම්භ වී ඇත. ඒ වෙනුවට ‘දේශපාලන නියෝග’ සහ ‘අවනීතිය’ හිස නමමින් පිළිගන්නා කණ්ඩායමක් පද්ධතිය තුළ ඉතිරි වෙමින් පවතී. අවසානයේ ඉතිරි වන්නේ, නීතිය අකුරට ඉටු කරන සභාපතිවරුන් නොව, ඇමතිගේ අත්සනට බයේ නීතිය නමන ‘අතකොලු’ පමණි.

 

#සමාරා පරණවිතාන

[සංවාදයට විවෘතය.

ඔබගේ මේ වෙනුවෙන් ඇති ඔිනෑම ප්‍රතිචාරයක් අප වෙබ් අඩවියේ පලකිරීමට ඉඩ කඩ වෙන්කර ඇත].

නවතම ලිපි