SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විග්‍රහය: සමාරා පරණවිතාන

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා කළ

පෞද්ගලික ලන්ඩන් සංචාරයට රුපියල් ලක්ෂ 162කට අධික මහජන මුදල් අවභාවිත කළ බවට වන නඩුව අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබේ.

 

මෙම නඩු කටයුත්ත හුදෙක් මුදල් අවභාවිතය පිළිබඳ නෛතික ක්‍රියාවලියකට එහා ගිය, වත්මන් ආණ්ඩුවේ පැවැත්ම සහ ඔවුන්ගේ ‘දූෂණ විරෝධී’ ප්‍රතිරූපය තීරණය කරන තීරණාත්මක දේශපාලන සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

 

 

නඩුව අද කොයිබටද?

 

අද දින අධිකරණයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් එංගලන්තයට ගොස් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේදී ලබාගත් ප්‍රකාශ සහ විමර්ශන වාර්තාව කෙරෙහිය. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ‘ආරාධනා පත්‍රය’ සත්‍ය එකක්ද නැතහොත් පෞද්ගලික ගමනක් රාජ්‍ය තාන්ත්‍රික ගමනක් ලෙස පෙන්වීමට කළ අසත්‍ය ලේඛනයක්ද යන්න මෙහිදී තීරණාත්මක වනු ඇත.

 

 

කෙසේ වෙතත්, ලංකාවේ ඉහළ දේශපාලනඥයන් සම්බන්ධ නඩු කටයුතු වල ස්වභාවය අනුව, අද දින ද විමර්ශනවල තවදුරටත් ප්‍රගතිය වාර්තා කිරීමට කාලය ඉල්ලා සිටීම හෝ විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කරන මූලික විරෝධතා හේතුවෙන් නඩුව මාස ගණනාවකින් ඉදිරියට කල් යාමේ වැඩි සම්භාවිතාවක් පවතී. නීතිපතිවරයා මීට පෙර පවසා තිබූ ‘මාසයක් ඇතුළත විමර්ශන අවසන් කිරීමේ’ පොරොන්දුව අද දින ප්‍රායෝගිකව පරීක්ෂාවට ලක් වනු ඇත.

 

 

 

ද්විත්ව තලයක අන්තරාය: රනිල්ට එරෙහි වන නීතිය වත්මන් ජනපතිට බලපාන හැටි

 

මෙම නඩුව මගින් ස්ථාපිත කිරීමට උත්සාහ කරන ‘පූර්වාදර්ශය’ වත්මන් ජනාධිපතිවරයාට ද කවදා හෝ දවසක තර්ජනයක් විය හැකිය. ජනාධිපතිවරයකු සිය නිල සංචාරයකට සමගාමීව කරන පෞද්ගලික කටයුතු (Side trips) රාජ්‍ය මුදලින් වැය කිරීම ‘අපරාධ වරදක්’ ලෙස තීන්දු වුවහොත්, අනාගතයේදී ඕනෑම රාජ්‍ය නායකයෙකුගේ විදෙස් සංචාරයක සෑම විනාඩියක්ම සහ සෑම ශතයක්ම මෙලෙසම අන්වීක්ෂයකින් පරීක්ෂා කිරීමට මග පෑදෙනු ඇත. බලයේ සිටින විට ගන්නා තීන්දු තීරණ, බලයෙන් බැස ගිය පසු තමා දෙසටම එල්ල වන ‘බූමරංගයක්’ විය හැකි බව වත්මන් පාලකයින් අමතක නොකළ යුතුය.

 

 

දූෂිත නාමය දෙසට වේගයෙන් ඇදී යන ආණ්ඩුව

 

‘දූෂිතයින් අල්ලන’ සහ ‘හොරා කෑ මුදල් නැවත ලබාගන්නා’ පොරොන්දුව මත බලයට පැමිණි වත්මන් ආණ්ඩුව, මේ වන විට එම සටන් පාඨයම පාරාවළල්ලක් කරගෙන සිටී. රනිල් වික්‍රමසිංහ වැනි ප්‍රබල දේශපාලන චරිතයකට එරෙහි නඩු කටයුතු ප්‍රමාද වීම හෝ ඒවා දේශපාලන ඩීල් ලෙස මහජනයාට හැඟී යාම ආණ්ඩුවේ දූෂණ විරෝධී ලේබලය ගලවා දැමීමට සමත් වේ.

 

 

අනෙක් අතට, ආර්ථික අර්බුදයක සිටින රටක මෙවැනි නාස්තිකාර වියදම් පිළිබඳව හිටපු පාලකයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක නොවීම තුළින් ‘සියල්ලෝම එකම මල්ලේ දූෂිතයෝ’ යන මතය ජනගත වෙමින් පවතී. මීළඟ මැතිවරණය ඉලක්ක කරගනිමින් විරුද්ධ පක්ෂය මේ වන විටත් ආණ්ඩුවට එරෙහිව ‘දූෂණ සහයෝගිතා’ (Corruption Collaboration) චෝදනා එල්ල කරමින් සිටී.

 

 

අද දින කැඳවන මෙම නඩුව, හුදෙක් ලක්ෂ 162ක මුදලක් පිළිබඳ ප්‍රශ්නයක් නොව, ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පාරදෘශ්‍යභාවය සහ වත්මන් ආණ්ඩුවේ විශ්වාසනීයත්වය මැන බලන උෂ්ණත්වමානයක් වනු නිසැකය.

 

නවතම ලිපි